වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාල එද්දි රස්සාවත් නැතිවෙලා

රඟපාල එද්දි රස්සාවත් නැතිවෙලා

ඉස්සරහට යන්න රියදුරු අසුනේ හිඳ ඉස්සරහට යන විල්මන්ගේ ජීවිතය

ඇඟ හිරිගඩු පිපෙන සීතල සුළඟට අතවනා නිලට නිලේ දිලෙන ගොයමින් සුසැදි වෙල් යාය හරහා දිවයන දඟකාර කොළු ගැටයෙකි. ඔවුන් වෙල් ඉපනැලි හරහා මේ දිව යන්නේ පහළ ඇලේ දියබුං ගසන්නටයි. එක් පැත්තකින් මහා වනස්පතීන් පිරිවරා ගත් සිංහරාජයත්, මොරවක ගමත් අතරින් ගලා බසිනා සුන්දර දියකඩිති හා පුනාවලවලින් සමන්විත මේ දිය දහරට කොළු නඩයේ සතුට දෙගුණ තෙගුණ කරයි. මේ සිංහාජයට මායිම්ව ඇති මොරවකයි. මේ දඟයාගේ දඟකාරකම් නිසාම මාපිය දෙපොළ අකුරැස්සට පදිංචියට යන්නේ යහපත් අධ්‍යාපනයක් ලබා දීමටයි. අකුරැස්ස පරදූව ගමේද දඟකාරකම්වලින් කෙළවරක් නොවූ මේ කොළු ගැටයා කොළඹ තම ඥාති නිවෙසක රඳවා මෝදර ඩිලාසල් කතෝලික පාසලට ඇතුළත් කරන්නේ නිවැරැදි අධ්‍යාපනයක් ලබා දෙන්නටයි.

විල්මන් සිරිමාන්න

පනහ දශකයේ සිටි ඒ දඟකාර කොළු ගැටයා අද රටම හඳුනන කලාකරුවෙක්. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ඉස්සරහට යන්න’ ටෙලිනාට්‍යයේ රියදුරුගේ භූමිකාවට පණ පොවන්නේද ඔහුයි. පසුගියදා සරසවියට පැමිණි විල්මන් අතීත මතක තොරතුරු අප සමඟ බෙදා ගත්තේ තම ජීවියේ සුන්දර මතකද ස්මරණය කරමින්.

ගමේ දඟ වැඩ නිසාම මාව කොළඹ මෝදර ඩිලාසල් විද්‍යාලයට ඇතුළු කළා. එච්. එස්. සී. විභාගය කළේ බුත්ගමුව රාජසිංහ මහා විද්‍යාලයේ. දෙවැනිවර විභාගය කරන්න ගියේ දෙල්ගොඩ පිරිවෙනට. ඒ කාලේ රඟපෑම, ගීත ගායනය ගෙදරට විතරයි සීමා වෙලා තිබුණේ. කැළණිය බොල්ලෑගල ප්‍රදේශයේ නතර වෙලා ඉන්න කාලේ එහේ හිටියා විමලසේන කියලා ගුරු මහත්තයෙක්. එයා සංගීත ප්‍රසංගයක් සංවිධානය කළා. කොහොම හරි මමත් සිංදුවක් කියන්න වේදිකාවට නැංගා. හතරවටින්ම හූ හඬ. ඒ නිසාම වේදිකාවෙන් පැනලා දිව්වා.

ඊට පස්සේ?

මගේ යාළුවෝ හැමෝම මට සිංදු කියන්න පුළුවන් කියලා උන්නදු කළා. ඒ නිසා වික්ටර් රත්නායක ළඟටයි, ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ළඟටයි ගියා. ඒ දෙන්නම කිව්වේ දැන් පාඨමාලාව පටන් අරන් තියෙන්නේ ඊළඟ සැරේ බලමු කියලා.

සිංදු කියන ආසාව අත් හැරියද?

අපොයි ඔව්. හැබැයි රඟපෑමට ආසාවක් ඇතිවුණා. සෝමරත්න කියන මගේ යාළුවත් එක්ක දවසක් මාලිනි ෆොන්සේකා ඒ දවස්වල නැවතිලා හිටිය පාක් රෝඩ් එකේ ගෙදරටත් ගියා. නමුත් එතුමිය හමුවුණේ නැහැ. ඔය කාලේ මට නැව් සංස්ථාවේ රැකියාවක් ලැබුණා.

රඟපෑමේ ආසාවට මොකද වුණේ?

දවසක් මිතුරෙකුගේ මාර්ගයෙන් දයා වයමන් ව හඳුනා ගන්න ලැබුණා. සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ (සුදර්ශියේ) සංජීව ගුණපාල කියන මගේ මිත්‍රයත් සමඟ දයා වයමන් ළඟ රඟපාන හැටි ඉගෙන ගන්න ගමන් තේ හදන්න, අතුගාන එකේ ඉඳලා අධ්‍යක්ෂණය, රඟපෑම හැර අනෙක් හැමදේම වේදිකාව පිටුපසට වෙලා අවුරුදු දෙකක් කළා. නමුත් මගේ හිතේ ආසාව වුණ රඟපෑම නම් කරන්න ලැබුණේම නැහැ.

එතකොට රඟපෑමේ හීනය සැබෑ වුණේ?

ඒ දවස්වල ලයනල් වෙන්ඩ් එකේ රංග ශිල්ප ශාලිකාවේ ධම්ම ජාගොඩයි, තිලක් ගුණවර්ධනයි නාට්‍ය පුහුණු පාසලක් කරගෙන ගියා. ඒ කාලෙම තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රංශයේ හිටියේ. ඒ නිසාම ධම්ම ජාගොඩ සරච්චන්ද්‍රයන්ගේ මනමේ නැවත නිෂ්පාදනය කළා. මටත් එහි රඟපාන්න ලැබුණා. ඒක තමයි මගේ මුල්ම රඟපෑම.

එතකොට රැකියාව?

මනමේ රටවටේ පෙන්වන නිසා මට මගේ පළමු රැකියාව අහිමි වුණා. හැබැයි ටික දවසකින් ආයෙත් රැකියාවක් ලැබුණා.

ඔය අතරතුර දවසක් වයමන් මට හමුවුණා. ඔහු මගෙන් ඇහුවා ‘දැන් මොකද කරන්නේ?’ කියලා. මනමේ රඟපානවා කියලා මම කිව්වා.

“කොළඹ ගෝල්ෆේස් එකේ කුමාර ආනන්දන් කියලා කෙනෙක් ගිනස් වාර්තාවක් තියනවා. එදාට මගේ නාට්‍යයක් පෙන්වනවා.” එනවාද රඟපාන්න කියලා වයමන් මගෙන් ඇහුවා. මම එක පයින් හා කිව්වා. හරියටම නාට්‍ය පෙන්නුවේ 1977.11.16 හා 17. ඒ නාට්‍ය වුණේ නටඹුන් හා පුනරුත්පත්ති. නාට්‍ය 17 වැනිදා කොළඹ පෙන්නලා 18 වැනිදා හම්බන්තොට පෙන්නන්න තිබුණේ. 17 වැනිදා රෑ ප්‍රේමසිරි කල්පගේ කිව්වා වයමන්ට, “වයමන් උඹට වඩා හොඳට විල්මන් හිඟන්නගේ චරිතේ රඟපානවා. එයාටම ඒ චරිතේ දෙන්න” කියලා.

පස්සේ වයමන් මට කිව්වා “හෙට තමුසේ ස්ටේජ් මැනේජර් මම හිඟන්නට රඟපානවා” කියලා. මම ඇහුවා ඇයි වයමන් අයියේ කියලා. “තමුසෙලාට රඟපාන්න දුන්නම තමුසෙලා අපිට නැතුව යනවා අයිසේ. ඔන්න ඔහේ තව ටිකක් මේක ඉගෙන ගන්නවා” කිව්වා. තාමත් මම මගේ මුල් ගුරුතුමා හැටියට (නාට්‍ය කලාවේ) සලකන්නේ දයා වයමන්ව. හැබැයි ඊට පස්සේ වයමන්ගේ නාට්‍යවල මම රඟපෑවේ නැහැ.

නැවත මනමේට සම්බන්ධ වුණාද?

කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාව විවෘත කරන එකේදි තමයි මම මහාචාර්ය සරත්චන්ද්‍රයන්ව ප්‍රථමයෙන්ම දුටුවේ. එදා ඉඳන් මම සරත්චන්ද්‍රයන් නිර්මාණය කළ බොහෝ නාට්‍යවල රඟපෑවා. වෙස්සන්තර, ලෝමහංස, ප්‍රේමතිජායතෝ ශෝකෝ ආදී නාට්‍යවල. දයානන්ද ගුණවර්ධනයන්ගේ ආනන්ද ජවනිකා නාට්‍යයේත් රඟපෑවා. ඔය කාලේදී විජය නන්දසිරි සිංහබාහු නාට්‍යයේ රඟපානවා. එයාට විදෙස් රටකට යන්න වෙලා විජය රඟපෑ චරිතය මට රඟපාන්න ලැබුණා.

ඒ වෙනකොට රැකියාව?

වරායේ, ගොඩනැගිලි සංස්ථාව ආදී විවිධ තැන්වල රැකියා කිහිපයක්ම කළා. 1984 වසරේ ප්‍රේමදාස අගමැතිතුමාගේ අනුදැනුම මත ‘පණ්ඩුකාභය’ නාට්‍යය නිෂ්පාදනය කළේ සයිමන් නවගත්තේගම. ටවර් එකේ තමයි රිහසල් කළේ. එතකොට මම හොඳට රැකියාව කරනවා. අනේ රජයේ රැකියා කරන හැම කලා කරුවෙකුටම නිවාඩු ලැබුණා. මට ලැබුණේ නැහැ. මේ සිද්ධිය දැනගන්න ලැබිලා එතකොට රජයේ නිසිබලධාරියා වුණ අජන්ත විජේසේන මහත්තයා මගේ ආයතනයේ පිරිස් කළමනාකරු එදිරිසූරිය මහත්තයට කතා කරලා කිව්වා විල්මන්ට නිවාඩු දෙන්න කියාල. එයා මට කිව්වා ඔයාට නිවාඩු ඕන නැහැ. දිගටම නාට්‍යයේ වැඩ කරන්න කියලා. නාට්‍යයේ වැඩ ඉවරවෙලා මම වැඩට ගියාම මට ‘සේවයට නොදන්වා නොපැමිණීම නිසා සේවයෙන් පහ කරනවා’ කියලා එදිරිසූරිය මහත්තයා ලියුමක් දුන්නා. මේ සිද්ධිය දැන ගත්තු නිහාල් ප්‍රනාන්දු, සයිමන් නවගත්තේගම, රෙජිනෝල්ඩ් ජයමාන්න ආදී හිතවතුන් මගේ හිත හැදුවා.

එදා වුණ සංවේදිම සිදුවීම තමයි මගේ බිරිඳ කිව්වා “ඔයා මට නොකිව්වට මම දන්නවා රස්සාව නැතිවුණා කියලා. අපි එන විදියකට මුහුණ දෙමු කිව්වා.”

ඒ වෙනකොට මගේ බිරිඳට දෙවැනි පුතා ලැබෙන්න හිටියේ.

ආයෙත් රස්සාවක් ලැබුණද?

සරච්චන්ද්‍ර මහත්මයයි, ලලිතා සරත්චන්ද්‍ර මහත්මියයි මැදිහත්වෙලා මට නැවත වෙන රස්සාවක් හොයලා දුන්නා. ඒ නිසාම ඒ කාලේ දිගටම මහාචාර්යතුමාගේ නාට්‍යවල රඟපෑවා.

පළමු රූපවාහිනී රඟපෑම?

ඩී. බී. නිහාල්සිංහයන් කල්පනා සඟරාව වෙනුවෙන් කළ වෙළෙඳ දැන්වීමක්. ඒ සමඟම එල්මෝ ප්‍රනාන්දු හෙල්මට් භාවිතය ගැන නිර්මාණය කළ වෙළෙඳ දැන්වීමකත් මමයි, චිත්‍රා කුමාරියි, රම්‍යා වනිගසේකරයි රඟපෑවා.

ඒ වගේම ලංකාවේ රූපවාහිනි මාධ්‍යයෙන් පෙන්නපු පළමු වේදිකා නාට්‍ය වුණ දයානන්ද ගුණවර්ධනගේ ‘ගජමන් පුවත’ නාට්‍යයේ රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා.

ඊට පසසේ ටෙලි නාට්‍යවලින් ජනප්‍රිය වුණාද?

සුසිරත් ද සිල්වාගේ ‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍යයේ බෝඩිම් කාමරයේ ඉන්න කොමියුනිස්ට්වාදියාගේ චරිතය ජනප්‍රිය වුණා. නෙලන්න බැරි මල්, ඉසුරු භවන, මම හින්දා ආදි ටෙලි නාට්‍ය බොහෝමයක් රඟපෑවා.

මේ දිනවල ජනප්‍රිය ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේ රියදුරු කොහොමද?

දවසක් දෙබස් කැවීමක් සඳහා රූපවාහිනියට ගිය වෙලාවක නලින් මාපිටිය හමුවුණා. ඔහු ඇහුවා ඩ්‍රයිවින් පුළුවන්ද කියලා. මම කිව්වා ඔව් කියලා. ඊට පස්සේ තමයි මේ චරිතේ ලැබුණේ.

මොකක්ද මේ චරිතේ විශේෂත්වය?

මේ චරිතේ තියෙන විශේෂත්වය තමයි රූගත කිරීමක් වුණාට සාමාන්‍ය මගී බස් එකක් විදියට මහපාරේ ධාවනය වෙන ගමන් රූගත කිරීම. පරණ කාලේ බස් එකක් නිසා හරිම අමාරුයි. පොලීසියෙන්, මගීන්ගෙන් බැණුම් අහපු අවස්ථා අනන්තවත් තියෙනවා. මේ බස් එකෙ නම තමයි ‘ඇල්පිටිය සීතල වතුර ට්‍රැවල්ස්’ බණ්ඩාරගම ඉඳන් කොළඹ කොටුව, මීගමුව ආදී විවිධ පළාත්වල බස් එක පදවාගෙන යන ගමන් රූගත කිරීම් කරනවා. ශිල්පීන් 60 ක් විතර බස් එකේ දාගෙන සාමාන්‍ය මිනිසුන් අතරේම රූගත කිරීම් කරන්න හරිම අමාරුයි. ඒත් හරිම රසවත්. රඟපාන ගමන් නීත්‍යානුකූලව, මාර්ග නීතිවලට අනුව පදවමින් කැමරාවට මුහුණ දෙන එක අන්තිම දුෂ්කර වැඩක්. ඇත්තටම ඒ දුෂ්කර කාර්ය නලින් ඇතුළු අපි හැමෝම ජය ගත්තා.

චිත්‍රපට මොනවද රඟපාල තියෙන්නෙ?

ගිනි අවි සහ ගිනි කෙළි, සිංහ පැටවු, දියයට ගිනි, කොමන් මෑන් ආදී සිනමාපට කිහිපයකම රඟපෑවා.

සම්මාන ලැබිලා තියෙනවද?

කුසලතා සම්මාන කිහිපයක් ලැබුණා. හොඳම සහාය නළුවටත් නොමිනේට් වෙලා තියෙනවා.

දැන් පදිංචිය.

9 ඕ,85/4, ජාතික නිවාස සංකීර්ණය, මත්තේගොඩ.