වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මට පෙම්වතෙක් ඕනෑ

මට පෙම්වතෙක් ඕනෑ

ශාලිකා එදිරිසිංහ

* කොහාමද ශාලිකා?

හොඳින් ඉන්නවා.

* කෝ ඔබේ රසික රසිකාවන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්නේ නැද්ද?

මොකද නැත්තේ. මං මේ කියන හැදුවා විතරයි. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද මගේ රසික රසිකාවන්ට කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

* ඉතින්?

ඉතින් තමයි. මගේ ඩ්‍රාමා එක හොඳට නැගලා ගියා නේද?

* සංජය ගුණවර්ධනගේ ඉහිරුණු කිරි?

ඔව් එකේ පොඩ්ඩි මං.

* ඒ නමින් වෙන්න ඇති දැන් අමතන්නේ?

නැත්නං කොහේ ගියත් පොඩ්ඩි කියලා ඕන කෙනෙක් කටපුරා කියනවා. නාට්‍ය විකාශය වෙලා ඉවර වුණත් පුදුම විදිහට ප්‍රතිචාර තියෙනවා.

* සතුටුද?

ගොඩක් සතුටුයි. මොකද පොඩ්ඩි කියන්නේ සංකීර්ණ චරිතයක්. මං මගෙ දක්ෂතා හොඳටම ඉදිරිපත් කළා.

* ඇයි අනෙක් නාට්‍යවලට ඔබ බාගෙටද දස්කම් ඉදිරිපත් කරන්නේ?

එහෙම නෙවෙයි මේක හොඳ චරිතයක්නේ.

* ඒ කියන්නේ නරක චරිතවලටත් ශාලිකාට කතා කරනවා?

නිළියක් වුණාම රඟපාන්න ඇරැයුම් ගොඩක් ලැබෙනවා. ඒ හැම චරිතයකටම මං හා කියන්නේ නැහැ.

* වෘත්තීය රංගනය වෙද්දී එහෙම කරන්න පුළුවන්ද?

බැහැ තමයි. ඒ බැරිම අවස්ථාවකදි මුදල් ලැබෙන නිසා කරන්නටම දෙයක් නැති චරිත රඟපාලා තියෙනවා. මොකද මං ජීවත් වෙන්නේ කලාවෙන් නිසා.

* ඔබට සැලුන් එකක් තියෙනවානේ?

නැහැ. ඒක වැහැව්වා.

* ඒ මොකද?

ප්‍රධානම හේතුව මගේ කාර්යබහුලකම. ව්‍යාපාරයක් කරනවා නම් මමම එතන ඉන්න ඕනෑ.

* රංගනයට නෑවිත් වෙනත් වෘත්තියක් කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

මං ඒලෙවල් කරද්දී හිතාගෙන හිටියේ ගුරුවරියක් වන්න. ඒත් අහම්බෙන් රංගනයට යොමුවුණා. හැබැයි දැන් හිතෙනවා රංගනයයි ගුරු වෘත්තියයි සමබරව කරගෙන ගියා නම් හොඳයි කියලා.

* දැන් ප්‍රමාද වැඩියි?

ඔව්. දැන් ප්‍රමාද වැඩියි.

* ශාලිකා එදිරිසිංහ හරි සැරයි වගේ මූණෙන් පෙනෙන්නේ?

මගේ මුහුණෙන් එහෙම පෙනුණට හිත හරිම සුන්දරයි.

* ඒකද නපුරු චරිත වැඩිපුර ලැබෙන්නේ?

වෙන්න ඇති.

* මුහුණේ ස්වරූපය නිසා කනගාටුවට පත්වෙලා නැතිද?

නැහැ. මම ලද දෙයින් සතුටුවන කෙනෙක්.

* නාට්‍ය ක්ෂේත්‍රය එන්න එන්න පිරිහෙනවා නේද?

මෙහෙමයි. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා.

* ඒක හරි. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා කියලා ශාලිකා කියන්න ඕනෑ නැහැ. ඒක අපි හැමෝම දන්නවනේ. මං ඇහැව්වේ වර්තමාන නාට්‍ය කලාව ගමන් කරන පෙදෙස ගැන. මේ හේතුව නිසා ඔබේ වටිනාකමත් අඩු වෙලා ද කියලයි මං ඇහැව්වේ?

ම් ම් ම් . . . මාර අමාරුවකනේ ඔයා මාව දැම්මේ. මෙහෙමයි හම්බු කරන් කන තැන ගැන වැරැදි සොයන්නේ නැහැ මං. අඩුපාඩු තියෙනවා තමයි. ඒත් මං දකින්නේ හැම දෙයකම හොඳ පැත්ත විතරයි.

* ආඳා වගේ ලිස්සුවා නේද?

හරි හරි. මං කොහොම හරි ගැළපෙන උත්තරයක් දුන්නානේ.

* ඔබ රඟපාපු තුෂාරා චිත්‍රපටය ඒතරම් සාර්ථක වුණේ නැහැ?

සමහර අය පැරැණි තුෂාරාට කැමැතියි. සමහර අය අලුත් තුෂාරාට කැමැතියි. ඔන්න ඕකයි සිද්ධ වුණේ.

* ඒත් ඉන් පසුව චිත්‍රපට රංගනයට ඔබට ඇරැයුම් ලැබුණේ හරිම අඩුවෙන්?

ඇරැයුම් ලැබුණා. ඒත් මගේ කාර්යබහුලත්වය නිසා ගොඩක් අතහැරියා.

* හරිම සාම්ප්‍රදායික කාටත් පොදු උත්තරයක්නේ ශාලිකා දුන්නේ?

ඒක මගේ උත්තරය. එහෙම බලන කොට ඔයාත් අහලා තියෙන්නේ සාම්ප්‍රදායික ප්‍රශ්නයක්නේ. මං රඟපාපු චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒක තමයි ලුවී වැන්ඩස්ට්‍රාටන් මහත්මයාගේ බෝනික්කා.

* අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එහෙමත් හිතේ මවාගෙන ඇති?

මේ අවුරුද්දෙත් මගේ ප්‍රාර්ථනාව පොඩ්ඩි වගේ චරිත ලැබෙන්න කියලා.

* එතකොට විවාහය?

අන්න අන්න වැරැදි ප්‍රශ්නයක් ඇහැව්වා.

* ඒක කොහොමද වැරැදි ප්‍රශ්නයක් වෙන්නේ?

කලාවට අදාළ නැති නිසා.

* හරි, කලාවට අදාළ නැති වුණත් කියන්නකෝ මේ අවුරුද්දේවත් බඳින්නේ නැතිද කියලා?

මේ අවුරුද්දේ බඳීන්න ඕනෑ. ඊට කලින් පෙම්වතෙක් හොයා ගන්න වෙනවා.

* ශාලිකාගේ වයස කීයද දැන්?

මං බඳින වයසෙ කෙනෙක්?

* මං ඇහැව්වේ අවුරුදු වලින්?

මගෙ වයස අහන අයට දෙන්නේ මං අර උත්තරය තමයි.

* කොහොමද මෙතරම් හොඳින් ප්‍රශ්නවලින් පැනලා යන්න පුරුදු වුණේ?

නැහැ නැහැ. මං ප්‍රශ්නවලින් පැනලා ගියේ නැහැ. ඔක්කොටම උත්තර දුන්නා.

* මොනවද ශාලිකාගේ ඉදිරි නිර්මාණ?

සංජය අයියගෙම සැලමුතු වෙරළ, වීණාවි, වසන්තයට පෙර, සත්ගුණවත්ලා වගේ නාට්‍ය ගොඩක් එන්න තියෙනවා.