වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දවස්වල අපි

මාධ්‍ය දිවියට අවුරුදු පනහයි

මාධ්‍යවේදී, නවකතාකරු

අර්නස්ට් වඩුගේ

මේ වසර මගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂ වසරක්. ඒ වගේම ජනවාරි මාසයත් මට ඉතාම සුවිශේෂයි. මේ දිනවල මම අලුත්ම කෘති දෙකක් රචනා කිරීම ආරම්භ කරන්නයි සූදානම. පනස් වසරක් පිරෙන මගේ මාධ්‍ය ජීවිතයේදී හමු වූ විවිධ චරිතවල අත්දැකීම් ඇසුරින් වූ ‘ජීවිතය’ නම් කෘතියත් නවකතාවකුත් එළි දක්වන්න සූදානම් වෙනවා. මගේ උපන් දිනය යෙදෙන 13 වැනිදා මේ කටයුතු ආරම්භ කරලා මාධ්‍ය දිවියට පනස් වසරක් සපිරෙන වසර අග භාගයේදී මෙම කෘති එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

මගේ උපන් දිනේ අද පුතුගේ දිනේ හෙට

ගායන ශිල්පී

නිහාල් නෙල්සන්

මේ සතියේදීත් මම මගේ කලා කටයුතු සාමාන්‍ය විදියට කරගෙන ගියත් වෙනදාට වඩා වැඩි සුවිශේෂත්වයක් තියෙනවා. මොකද දන්නවාද අද මගේ උපන් දිනය වගේම හෙට මගේ පුතාගේ උපන් දිනය නිසා. හෙට පුතාගේ උපන් දිනය ආගමානුකූලව විශේෂ විදියට ගත කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඒ වගේම අලුත් නිර්මාණ කිහිපයක් කරන්නත් සූදානම් වෙනවා. දැන් මම මගේ ගායන දිවියේ ගෙවන්නේ 51 වැනි වසරයි. මේ දක්වා කාලය තුල මා ඉහළින් ඔසවා තැබූ මගේ රසික රසිකාවන්ට මම හද පිරි ප්‍රණාමය පුද කරන්න කැමැතියි.

දින 45 ක් ෂූටින්

චිත්‍රපට අධ්‍යක්ෂ

සුගත් සමරකෝන්

මේ අලුත් අවුරුද්දේ ආරම්භය සමඟින් මම මගේ අලුත්ම චිත්‍රපටය ‘ඇහැළේපොල කුමාරිහාමි’ චිත්‍රපටයේ වැඩ ආරම්භ කළා. පසුගිය 03 වැනිදා එහි මුහුරත් උළෙල පැවැත්වුණා. ලබන ජනවාරි 16 වැනිදා සිට එහි රූගත කිරීමේ කටයුතු කොළඹ ජාතික කෞතුකාගාරයේදී ආරම්භ කෙරෙනවා. දවස් 45 ක් එක දිගටම ෂූටින් යොදාගෙන තියෙන්නේ.

පරණ චිත්‍රපට අලුත් කරමින්

තිස්ස නාගොඩවිතාන

චිත්‍රපට සංරක්ෂක

මේ ජනවාරි 21 වැනිදාට සිංහල සිනමාවට වසර හැට හතක් සපිරෙනවා. ඒ වෙනුවෙන් එදිනට චිත්‍රපට තුනක් තිරගත කිරීමට සියල්ල සූදානම් කරමින් සිටිනවා. ‘කපටි ආරක්ෂකයා’, ‘හදිසි විවාහය’, ‘චණ්ඩි පුතා’ යන චිත්‍රපට ප්‍රදර්ශනයට සුදුසු ලෙස සකස් කිරීම සිදුවෙන අතරම ඒවා තරංගනී ශාලාවේදී තිරගත වීමට ද නියමිතයි. නව වසරේ මේ සතියෙහි නියැලෙන පළමු වැඩ කටයුත්ත එයයි.

පනාමුරේ කුංචනාද සමඟ

නවරත්න ගමගේ

සංගීතවේදී

උදාවුණු නව වසරේ මගේ මූලික කාර්ය වන්නේ මා කරන්නට යන ‘පනාමුර කුංචනාද’ නම් සංධ්වනි රංගය වේදිකා ගත කිරීමයි. මේ දිනවල පුහුණුවීම් කරගෙන යන මේ කටයුත්ත මැයි මාසයේ වේදිකා ගත කිරීමට මා අදහස් කර තිබෙනවා. ඊට අමතරව දේවින්ද කෝන්ගහගේ අලුත්ම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළා. මා සංගීතය නිර්මාණය කළ ‘උඩු සුළඟ’ වගේම ‘ගිරිකුළ’ කියන ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා.

අන් ප්ලග් වැඩක්

නිරෝෂා විරාජිණී

ගායන ශිල්පිනී

නව වසරේ උදාවත් සමඟම මම තරමක් කාර්යබහුල කෙනෙක් වෙලා. ගීත කිහිපයක්ම පටිගත කිරීම් කළා. ජැක්සන් ඇන්තනීගේ අලුත්ම චිත්‍රපටයේ ගීතයක් ගැයුවා. ඒ වගේම නව වසරේ රූපවාහිනියේ විකාශය වන ‘අන් ප්ලග්’ වැඩසටහනටත් මා සහභාගිවීමට නියමිතයි.

අලුත් ප්‍රසංගයකට සැරැසෙයි

නෙලූ අධිකාරී

ගායන ශිල්පිනී

මා ගීත කිහිපයක්ම පටිගත කිරීම්වල නියැළුණා. ලබන වසරේ මගේම ප්‍රසංගයක් පැවැත්වීමටත් පුංචි අදහසක් තිබෙනවා. ඒ සියලු කටයුතු සඳහා වැඩ කටයුතු බොහොමයක් පෙළ ගැසිලා. ගුරුවරියක් ලෙස මා මගේ කලායතනයේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන අතරම ගෙදර අයගේ දුක සැප සොයා බලන්නත් අමතක කරන්නේ නැහැ.

හඬ කවන වැඩ

කුමාර කරුණානන්ද

රංගන ශිල්පී

මේ දවස්වල මගේ ප්‍රධාන කාරිය වන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ඉසිවර වෙදැඳුරු’ ටෙලි සිත්තම සඳහා හඬ නළුවෙන් දායක වීමයි. ඒ වගේම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘සත්‍ය ගවේෂක’ ටෙලි සිත්තමේ ද හඬ කැවීම්වලට සහභාගි වෙනවා. ඉදිරියේ මා රඟපෑ නාට්‍ය කිහිපයක්ම විකාශය වීමටත් නියමිතයි.

අවුරෝරා සමඟ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ

චාමර පීරිස්

එළැඹුණු මේ සතියේදී මම මගේ අලුත් ටෙලි නාට්‍යය අවුරෝරා විකාශනය කිරීම බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ වගේම ඉදිරියේදී තවත් අලුත්ම ටෙලි නාට්‍ය දෙකක වැඩ කටයුතු ආරම්භ කරන්නත් සූදානම්. එයින් පළමුවැන්න ඒකාංගික ටෙලි නාට්‍යයක්. එය ආදරවන්තයන් වෙනුවෙන් පෙබරවාරි 14 වැනිදා විකාශය කෙරෙනවා. අනෙක් ටෙලි නාට්‍යය විද්‍යාත්මක පැත්තට බර එකක්. ඒ වගේම ලබන මාර්තු මාසයේ තාත්තාගේ අභාවයේ වර්ෂ පූර්ණ පින්කමත් යෙදිලා තියෙනවා.

කැන්ගරු දේශයේ

රංගන ශිල්පිනී

අනූෂා රාජපක්ෂ

මේ සතියේ නිවාඩුව මම ඔස්ට්‍රේලියාවේ තමයි ගත කරන්නේ. විශේෂ වැඩ කටයුතු නම් දැනට යොදාගෙන නැහැ. පෙබරවාරි මාසයේදී යළිත් ලංකාවට පැමිණ සුපුරුදු පරිදි කලා කටයුතුවල නිරත වෙනවා.

ඉරණම කරට අරන් කුලියාපිටියේ

රංගන ශිල්පී

සම්පත් ජයවීර

ලබන 15 වැනිදා දක්වාම මට කුලියාපිටියේ ෂූටින් යෙදිලා තියෙන්නේ. මේ දිනවල විකාශය කෙරෙන ‘සිරීගේ ඉරණම’ ටෙලි නාට්‍යයේ ෂූටින්වලට තමයි දායක වෙන්නේ. ඒ වගේම මේ වසර ආරම්භය මට ගොඩාක් සුවිශේෂ ඉතාම සන්තෝෂ වසරක්. දැන් මම පුංචි පුතෙකුගේ තාත්තෙක්. වෙනදා වගේ නෙමෙයි දැන් පුංචි පුතාගේ සුරතල් බලමින් ඉතාම සතුටින් තමයි ඉන්නේ.

වේදිකා නාට්‍යයක් සමඟ

ප්‍රියනත් සිරිකුමා

රංගන ශිල්පී

ගෙවී ගිය වසර වගේම මේ වසරත් උදා වුණා. සුපුරුදු ලෙසම මෙතෙක් කරගෙන පැමිණි කටයුතු ඒ අයුරින්ම ඉදිරියටත් සිදුවේවි. ඊට අමතරව ස්වතන්ත්‍ර වේදිකා නාට්‍යයක් කරන්නට අවශ්‍ය මූලික කාරණා නිර්මාණය කර ගනිමින් ඉන්නවා. එහි පිටපත ලියන්නේ මගේ යහළුවෙක්. ඔහු අරවින්දයි. ඒ නිසා දවස ගත වෙනවා දැනෙන්නේ නෑ.