වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් අවුරුද්දේ ආපහු ළං වෙලා

අලුත් අවුරුද්දේ ආපහු ළං වෙලා

සුපිරි නිළි ගායිකා, සෙලීනා ගෝමස්ගේ දෙතැනකට බැඳි ආදරය උදා වූ නව වසරේදී ඒ දෙතැනදීම මල්පල දරන හැඩයි. ජස්ටින් බීබර්, සෙලීනා ගෝමස් සමඟ පෙමින් බැඳුණේ 2010 වසරේදීයි. 2011 වසරේ පැවැති වැනිට් ෆෙයාර් ඔස්කාර් සාදයේදී සිය ආදරය ඔවුන් ලොවට ප්‍රකාශ කරන ලදී. එහෙත් සියල්ලන්ම කම්පනයට පත් කරමින් දෙදෙනා පසුගිය ජනවාරියේදී වෙන් වූහ. හරියටම ඊට වසරකට පසු උදා වූ නව වසරේදී දෙදෙනා එක් වූ සුබ පුවත සියලු මාධ්‍ය මඟින් දැනුම් දෙන්නේ යළි සියල්ලන්ම මවිතයටත්, සතුටටත් පත් කරමිනි.

දහනව හැවිරිදි ජස්ටින්ට සහ විසි එක් හැවිරිදි සෙලීනාට තවදුරටත් වෙන් වී සිටීමට නොහැකි බව හෙළි වූයේ සෙලීනා ඔහුගේ කැලිෆෝනියාවේ, කැලාබැසස් නිවෙස අසළ නිවෙසක් මිල දී ගැනීම නිසයි. ඔවුනගේ අසල්වැසියන් වනුයේ කලා ලොවේම හිත මිතුරන්ය. කර්ට්නි කැඩේෂියන්, ස්කොට් ඩිසික්, ක්‍රිස් ජෙනර්, බ්‍රිට්නි ස්පියර්ස් ඔවුනගේ අසල්වැසියන්ය. මෑතකදී දෙදෙනා සෙග්වේ (රෝද දෙකේ වාහනයක්) පදවන අන්දම ඡායාරූප ශිල්පීන්ගේ උකුසු ඇසට ලක් විය.

ළඟටම පැමිණියත් සෙලීනාට ජනවාරි, පෙබරවාරි මාසවල චිත්‍රපටවල රූගත කිරීම්වලට ජපානයටත්, ඔස්ට්‍රේලියාවටත් යාමට සිදුවන නිසා ඔහු හමුවීමට වැඩි ඉඩක් නොලැබෙයි.

සෙලීනා ගායනයට වඩා ආදරය කරන්නේ රංගනයටයි. රංගනය නිසා ගායනය නතර කරන්න ඇය කොතෙක් උත්සාහ කළත් ඊට ඉඩක් ලැබුණේම නැත.