වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

කලා නිර්මාණයන් ගැන ඔබට දැනෙන වෙනස් අදහස් ක්ෂණිකව 0752805047 අංකයට එවන්න.

තැපැල්පත් නම් ප්‍රතිචාර , සරසවිය, ලේක්හවුස්, කොළඹ 10. සියලු ප්‍රතිචාරයන් අගින් ඔබේ නම සහ ප්‍රදේශය සඳහන් කරන්න.

ආයුබෝවන් කියමු

අපේ රටේ බොහෝ විද්‍යුත් නාලිකා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට පෙරාතුව ආයුබෝවන් කියා ප්‍රේක්ෂක ජනතාව ඇමතීම පුරුද්දකි. එහෙත් සමහර නාළිකා ආයුබෝවන් කියා මුවන් පිට කරනවා විනා තම දෑතින් එය සංකේතවත් කිරීමට මැලිවනු පෙනේ. එහෙයින් දෑත් එක් කොට ආයුබෝවන් කියා ඔවුන් ප්‍රේක්ෂකයාව පිළිගනියි නම් ප්‍රවෘත්තිවල අන්තර්ගතය තරම්ම එය ද වැදගත් වනු ඇත.

උදයන්ත සිරිසේන

රුවන්වැල්ල

අමල් පෙරේරාට,

සුදු කැස්බෑවගේ ප්‍රශ්නයෙන් ඔබට අපහාසයක් සිදු වූයේ නැහැ. අමල් එයින් සිදු වුණේ ඔබේ නම මුලු ලෝකයේම ප්‍රසිද්ධත්වයට පත්වීම පමණයි. ඒ නිසා ඔබ හිත නරක් කර ගන්න එපා.

චන්ද්‍රසිරි මානවඩු

අම්බලන්ගොඩ

කෝරළේ මහත්තයා 2 අප නොසිතූ පරිදි අවසන් වුව ද එහි නිමාව නම් හරිම කදිමයි ඔන්න.

මැණිකේ විල්වල

තටාකය පාර,

කෑගල්ල

සියලු නාළිකාවලට

පසුගිය දෙසැම්බර් මස 25 වැනිදා උදා වූ නත්තල ගැන විශේෂ ආගමික වැඩසටහන් ඉදිරිපත් කරමින් කතෝලික ජනතාවට පමණක් නොව සියලු ශ්‍රී ලාංකික ජනතාවට නත්තලේ අරුත සහ දේව මෙහෙයන් දේවස්ථානවල සිටම විකාශය කරමින් ඉටු කළා වූ අගනා සේවාවට සියලු ජනමාධ්‍යවේදීන්ට තුති පුදමි.

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

ජගත්, සාගර නියමයි

ජගත් ඇපලදෙනිය අයියේ,

ඔයා සිරීගේ ඉරණම නාට්‍යයේ සාගරගේ චරිතය ඉතාම ලස්සනට කරනවා. ඇත්තටම ඔබට ගැළපෙන චරිතයක් හම්බු වෙලා තියෙන්නේ.

මේනුකා නිරෝෂා

කුලියාපිටිය

අප ණයගැතියි

ගම්පෙරළිය, විරාගය, නිධානය, රේඛාව වැනි නිර්මාණයන් එතරම් අනගි සුන්දර ලෙස රූපගත කළේ අපේම සිංහල රටේ අපේම මිනිසෙකුගේ අධ්‍යක්ෂණයට යැයි සිහියට නැගෙන සෑම අවස්ථාවකදී හදවතට දැනෙන්නේ කිව නොහැකි සිසිලසකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණෙනි ඔබතුමාට ලාංකික සිනමාලෝලී අපි ණයගැති වෙමු.

ගිල්බට් පෙරේරා

හෝකන්දර

කපිලට සුබපැතුම්

ජීවිතය මිහිරිතම කවියක් යනු මැයෙන් කාව්‍ය සංග්‍රහයක් කළ එලි දැක් වූ සරසවිය පුවත්පතේ පැරැණිතම පාඨකයයකු වන කුලියාපිටිය් කපිල ජයවිලාල් හේරත්ට මම සුබ පතමි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

මම සහ මගේ මියැසිය වැඩසටහනට,

මම සහ මගේ මියැසිය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ දැකීමත් ඔවුන්ගේ මියුරු හඬ ඇසිමට ලැබීමත් භාග්‍යයකි. එය අගේ කොට සලකමි. ඒ නිසාම එය මෙහෙය වන මහේෂ් නිශ්ශංක මහතාණෙනි, එය නොනවත්වා ඒ හා සමාන මුහුණුවරකින් එවැනිම වැඩ සටහන් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ඉන්ද්‍රානි ආරියවංශ

කොළඹ 05

රොජර් සෙනෙවිරත්නට,

ඔබ විජය කුවේණි චිත්‍රපටයේ විජය රජු ලෙස කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් මෙතෙක් සම්මාන උළෙලයන්වලදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර නොවීම ගැන මා මෙන්ම ඔබේ රසික රසිකාවන් බොහෝ දෙනෙක් පුදුමයට පත්වන අතර අපේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

රංජනී අමරසිංහ

වල්පොල

මර්සිට සුබ වේවා

විනෝද සමය, හන්දියේ ගෙදර මඩේ ලගිනා තාරාවන්ගෙන් අපව රස ගැන් වූ මර්සි එදිරිසිංහ කලාකාරියණේ, ඔබට නීරෝගි සුවය පතමි.

විජයානන්ද පොඩි නිළමේ

නුගේගොඩ

කරුමයක්

අපි ටෙලි නාට්‍ය කියා නරඹන්නේ ඔළුව දෙපැත්තට ගස ගසා හිටගෙන ඉන්න පියරු බබාලා සහ වෙළෙද දැන්වීම් රාශියක් පමණි. අහෝ මෙහෙම කරුමයක්.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

 

S . M . S

අද ගායකයින් පැරැණි ගීත විකෘති කරනවා. විනාශ කරනවා. වහාම මේ ගීත මංකොල්ලය නවත්වන්න බලධාරීන් ක්‍රියාත්මක වෙනාව නම් හොඳයි. අපි හිතාගෙන හිටියේ සංගීත ලෝකයේ ඉන්නේ සුන්දර මිනිස්සු කියලා.

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

සිරස සුපර්ස්ටාර් පස්වැනි අදියරේ කිරුළ දිනූ දසුන් අයියේ, ඔයා ස්වප්නා තේමා ගීතය ගොඩක් හැඟුම්බරව කියනවා. ඒක නැවත, නැවතත් අහන්න ආසයි.

තමාලි

අලව්ව

මාධව විජේසිංහ දැන් නැගී එන නළුවෙක් නෙවෙයි. දක්ෂ නළුවෙකු වෙලා අවසානයි. ඔහු තූර්යා නාට්‍යයේ කරන චරිතය වෙන කෙනෙකුට දුන්නා නම් අනිවාර්යයෙන්ම අනා ගනීවි. ඒක මාධවටමයි ගැලපෙන්නේ.

සඳමාලි

අවිස්සාවේල්ල

පැරැණි ගීත අලුත් පරපුරේ අයගේ හඬින් ගැයීම ඉතා හොඳයි. එමගින්වත් පරපුරක් අතරට එම ගීත යනවා. මාත් පැරැණි ගොඩක් ගීත දැනගත්තේ වෙනත් අය ගායනා කළායින් පසුවයි.

ආනන්ද

මඩපාත

ඓතිහාසික කතා තේමා කර ගනිිමින් සිනමාපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරුන්ට මාගේ ප්‍රණාමය. මොකද ගොඩක් දෙනා ඉතිහාසය දැනගත්තෙත් ඒවායින් නිසා.

දිලන්ජන සාලිය

ගිණිගත්හේන

සිංහල සිනමාවේ යෝධ සෙවනැළි දෙක විජය සහ ජෝතියි. අද දවසේ ඔවුන් අප අතරේ නැති වුණත් කෙදිනකටවත් ඔවුන්ගේ මතකයන් නැති වන්නේ නැත.

සුගත්

අහුංගල්ල

අප රටේ සිටින අති දක්ෂ ක්‍රිකට් විස්තර කථිකයකු වන ප්‍රේමසර ඈපාසිංහ වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වනවා නම් හරි අගෙයි. මේ තමා ඒකට සුදුසුම කාලය.

සරත් මද්දුමආරච්චි

වෑත්තෑව

මං අහන්නෙම නෑ රත්තරනේ, මල් කැකුළකට වගේ ගීත ගැයූ ලක්ෂ්මන් හේවාවිතාරණ අලුත් ගීත එකතුවක් එළි දක්වන්න. ඔයාගේ අලුත් ගීතයත් හරිම ලස්සනයි.

විමුක්ති

කළුබෝවිල

තිසුරි යුවනිකා කියන්නෙ පුංචි තිරයට ඉරබටු තරුවක්. ඇයගේ රංගනය ඉතාමත් සුන්දරයි. මම ගොඩක් ආදරේ කරන නිළියක් තමයි ඇය.

හංසි

කරස්නාගල

මම ගුවන් විදුලි නාළිකාවලට සවන්දීම අත් හැරියා. මොකද ඒවායින් කරන්නේ දැනුම මොට කරන එක විතරයි. අනික එක් අලුත් වැඩ සටහනක් කවුරුන් හෝ කළොත් අනිත් ඒවත් ඒකම කරනවා. අලුතින් හිතලා දෙයක් කරන්නේ නැහැ. මේවා ගුවන් විදුලි නෙවේ කොපි විදුලි නාලිකා.

මහේෂ් ධනංජන

මොරටුව

ඉස්සර වගේ බයිලා රිද්මයට ගී ගයන ගායකයෝ අද නැහැ. බොරු බයිලා කියන්න නම් ගොඩක් ගායකයෝ දක්ෂයි. ඒත් සැබෑ බයිලා රිද්මයවත් ඇතැමුන් හඳුනන්නේ නැහැ.

නිහාල්

වාද්දුව

ටී. එම්. ජයරත්න යනු ගීත ලොවට මැණිකකි. එවන් වූ කටහඬක් ලද ඔහු අපට ගැයූ ගීත හරිම රසවත්ය. ගොඩක් ආසාවෙන් ඒවා මම රස විඳින්නෙමි.

ලක්මාලි

වරකපොළ

නාමල් උඩුගමගේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නැහැ. ඔහුට තියෙන්නේ මෝහනීය කටහඬක්. ඒ විරහ ගී හඬට අප මෝහනයට පත් වුණා.

කපිල

කුරුණෑගල

ධනුක දිල්ශාන් කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ නළුවෙක්. ඔහුට ජනප්‍රිය නළු කිරුළ ගන්න බැරි වුණේ නූලෙන්. ලබන වසරේ අනිවාර්යයෙන් ධනුක ජනප්‍රියම නළුවා වෙනවාමයි.

නෙත්මි

ගම්පහ

කෝරළේ මහත්තයා 3 සමගින් කෝරළේ මහත්තයා, කදිරා, පිනා, සපුමල්, මුතු, ගුරුන්නාන්සේ ආයෙත් අපේ නිවසට එනතුරු අපි මග බලා සිටින්නෙමු.

ශෂිනි

ලිහිනියාව

අමරණීය ගී රැසක් සිය රසික හදවතට තුරුළු කරවා, කාලයේ ධර්මතාවයෙන් යළි නොඑන ගමන් ගිය ජේ. ඒ. මිල්ටන් පෙරේරා කලාකරුවාට පුදන උපහාරයකි මේ.

චතුරංග සම්පත්

තුන්තැන

මතකයේ රැඳුණු ගී ගුවන් විදුලි සංසදයේ පළමු ප්‍රසංගය සාර්ථකයි. ඒක යළි යළිත් පවත්වන්න.

සමන් ගාල්ලගේ

කැටපල