වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්ථාව නිෂ්පාදකවරුන්ට නඩු පවරනවාද?

සංස්ථාව නිෂ්පාදකවරුන්ට නඩු පවරනවාද?

එය මගේ තීරණයක් නොවේ
- සභාපති නීතිඥ අශෝක සේරසිංහ

චිත්‍රපට නිෂ්පාදනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සංවර්ධන අරමුදලින් ණය මුදල් ලබාගත් සම්මානනීය කලාකරුවන් රැසකට එම ණය මුදල් ආපසු නොගෙවීම මත චිත්‍රපට සංස්ථාව මඟින් නඩු පැවරීමට යන බවට පසුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

ඒ පිළිබඳ චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ එය තමා ගත් තීරණයක් නොවන බැවින් ඊට පිළිතුරු සැපයීම අනවශ්‍ය බවය. දේශයේ කලා පුවත්පත වන ‘සරසවිය’ ඔහුගෙන් එසේ කරුණු විමසනු ලැබූවේ එම නීත්‍යානුකූල පියවර ගනු ලබන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව හරහා වීමත් සේරසිංහ මහතා එහි නිසි බලධරයා වීමත් යන කරුණු සලකා බලාය.

කලාත්මක සහ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවලට ඉදිරිපත් කළ හැකි ආකාරයේ චිත්‍රපට නිර්මාණකරණයට අතහිත දීීමක් ලෙස මේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ එවකට චිත්‍රපට සංස්ථා සභාපතිවරයා වූ ආචාර්ය තිස්ස අබේසේකර විසිනි. එම සංවර්ධන අරමුදලේ ණය ලබාදීම සඳහා තිර නාටක සියයකට අධික ප්‍රමාණයක් තෝරාගෙන තිබිණ.

ජාත්‍යන්තර සම්මාන 11 ක් සහ ජාතික සම්මාන 24 ක් හිමි කරගත් ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද අධ්‍යක්ෂණය කළ ‘සුලං කිරිල්ලී’ චිත්‍රපටය ද මේ ණය අරමුදල යටතේ නිෂ්පාදනය කළ චිත්‍රපටයකි.

ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘අග්නි දාහය’, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සුදු සෙවනැලි’, සුදත් දේවප්‍රියගේ ‘උඩුගං යාමය’, ධර්මසේන පතිරාජගේ ‘මතුªයම් දවස’, ප්‍රියන්ත කොළඹගේ ගේ ‘අරුමෝසම් වැහි’ හා සත්‍යජිත් මාඉටිපේගේ ‘බොර දිය පොකුණ’ ද එම සංවර්ධන අරමුදලේ ණය ප්‍රතිපාදන මඟින් නිපැයුණු සෙසු චිත්‍රපට අතර වේ.