වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදර රණ්ඩුවක් කියලා කට්ටිය ආවා

ගෙදර රණ්ඩුවක් කියලා කට්ටිය ආවා

මාදනී මල්වත්තගේ

මාදනී මල්වත්තගේ කියන දක්ෂතම නිළියගේ සොළොස් අවුරුද්දක මතකාවර්ජනය රැගත් ‘මාදනී’ විශිෂ්ටතම නිළිය ගේ සම්මාන රංග භූමිකාව නම් නාට්‍යය උළෙල හෙට ( 10 වැනිදා ) සිට 14 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වෙයි.

10 වැනිදා - කේ . බී . හේරත් ගේ ‘ජගන් මා’

11 වැනිදා – උදයසිරි වික්‍රමරත්න ගේ ‘සුද්දෙක් ඔබ අමතයි’

12 වැනිදා – මහාචාර්ය ආරියරත්න ඇතුගල ගේ ‘මහ සමයම’ නෙළුම් පොකුණේ දී

13 වැනිදා - කේ . බී . හේරත් ගේ ‘කලු කුමාරි’

14 වැනිදා – ජයලත් මනෝරත්න ගේ ‘සෙල්ලම් නිරිඳු’

පිළිවෙළින් වේදිකා ගතවන අතර මේ ලිපිය සැකසෙන්නේ ඇගේ නාට්‍ය ජීවිතයට පිවිසීම හා ඇගේ පවුල් ජීවිතයෙහි රස මුසු තැන් පිළිබඳ කෙරුණු කතාබහකිනි.

ඔගස්ටාවත්ත කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබුණු ගම්මානයක්. ඒ ගම්මානයේ හැදුණු වැඩුණු මාදනී දැරිය කලාවට ආදරය කළේ කුඩා කාලයේ පටන්මයි. මාදනී විතරක් නෙවෙයි, මාදනීගේ තාත්තා, ලයනල් වුණත් කලාවට බොහොම ආදරය කළ කෙනෙක්. ඩොලැක්කිය අපූරුවට වාදනය කළ ලයනල්ගේ නිවෙසෙ සමහර දාට සංගීත සාජ්ජයක් නම් වැරැදුණේ නැති තරම්. ලයනල් ගේ ඩොලැක්කියේ හඬ වගේම මාදනීගේ මියුරු ගායනයත් ඈතට ඇසුණා.

‘අපේ පවුල කලා පවුලක් නොවුණත් තාත්තාගේ තිබුණු කලාකාමී බවයි මාව අද මෙතැනට ගෙනාවේ. ඒ අතීතය බෙහෙවින් සුන්දරයි.’

අතීතය මෙනෙහි කරමින් මාදනී මල්වත්තගේ කිව්වේ සිනහ මුසු මුහුණින්.

ඒ වගේම මාදනීගේ තාත්තා ලයනල් හොඳ නාට්‍ය රසිකයෙක්. පෙර පාසල් යන වයසේ හිටිය මාදනීවත් අරගෙන ඔහු පේරාදෙණිය වලේ තිබුණු නාට්‍ය බලන්න ගියා. ‘වල සතිය’ කියලා හඳුන්වන මේ නාට්‍ය උළෙල අද වගේම එදත් බොහොම ජනප්‍රිය නාට්‍ය උළෙලක්. මේ නාට්‍ය උළෙල නරඹන්න ගිය එක දවසක වේදිකා ගතවුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය. මාදනී මනමේ කුමරියගේ රංගනය දෙසම බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා.

මනමේ කුමාරි ගයන ගීපද ඇයත් තාලයට කිව්වා.

‘ මමත් කවදහරි මනමේ කුමාරිට රඟපානවා.’

මාදනී කිව්වේ නිවසෙ හැමෝම ඉදිරියේ මනමේ කුමාරිගේ චරිතය රඟපාන ගමන්. කාලය ගෙවිලා ගියා. හුරුබුහුටිකමට හිටිය පුංචි කෙල්ල දැන් යුවතියක්. ඈ කොළඹ තරුණ සේවා සභාවට පය තිබ්බා. ඒ රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තු හදවත තුරුලු කරගෙන. වේදිකාව ඇයට අරුමයක් නොවුණත්, ඇගේ රංගන හැකියාව මූලික ලෙසම දායාද කරන්න මාදනීට පෙරහුරුවක් ලැබෙන්නේ ජයලත් මනෝරත්නගෙන්. ඔහුගේ ‘කනේරු මල්’ වේදිකා නාට්‍යයේ ඈ ඉස්ඉස්සෙල්ලාම රඟපාන්නේ අනාගතය සුබදායක වේය කියන හැඟීමෙන්. ඒක එහෙම වුණා. ඈ කාලයක පටන් අරගෙන ආව රංගන හැකියාවට අර්ථයක් ගේන්නේ සුසිල් ගුණරත්න ගේ ‘දෙනුවර දෙන්නෙක්’ වේදිකා නාට්‍යය.

2007 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මාදනී තමන්ගේ මහන්සියේ පල නෙළා ගන්නවා. ඒ හොඳම නිළිය විදියට සම්මානයක් ලබමින්. ඊට පස්සේ ඈ කේ.බී. හේරත් ගේ ‘ජගන් මා’ වගේම ඔහුගේ ‘කලු කුමාරි’ වේදිකා නාට්‍යවලත් හොඳම නිළිය විදියට සම්මාන ලබන්නේ සිය රංගන දක්ෂතා ගැන මොනවට කියාපාමින්. ඒ වගේම ඇගේ කුඩා කාලයේ හිතේ තිබුණු මනමේ කුමරියට රඟපාන අදහසත් මේ වන විට ඉටුවුණා. ඒ ඈ සරච්චන්ද්‍රයන් ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමරිය ලෙස පෙරාදෙණිය වලේ ර¼ඟපෑමෙන්.

රංගන දක්ෂතා ඇති නිළියන් අතරට ගැනිය හැකි මාදනී ගැන අපට යම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි. ඒ දක්ෂතම නිළියගේ වේදිකා නාට්‍ය ජීවිතයට දැන් සොළොස් වසරක් ගතවෙලා. ඈ සොළොස් වසරක මතකාවර්ජනය සමරන්න මේ දවස්වල සූදානම් වෙනවා.

‘මේ කටයුත්තේ සරලම අරමුණ තමයි හොඳ නාට්‍ය නම් මේවායි කියලා අපේ රටේ දරුවන්ට හොඳ නාට්‍ය හඳුන්වා දීමයි. අනෙක් අරමුණ වෙන්නේ මම අවුරුදු තුනක් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වුණා. තවත් වසර තුනක් හොඳම නිළියට නිර්දේශ වුණා. ඒ සැමරුම් නාට්‍ය යළි රංග ගත කරන්නත් මේ නාට්‍ය උළෙල හේතු වෙනවා. නාට්‍ය පහටම රංගන ශිල්පීන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගි වෙනවා. ඒ තරම්ම විශාල පිරිසක් දායක කරගෙන ලංකාවේ කෙරෙන මේ එකම හා පළමු නාට්‍ය උළෙල මෙය කියලයි මට නම් හිතෙන්නේ. නාට්‍ය උළෙලක් කිරීම ආර්ථික අතින් වගේම මානසිකව වුණත් බොහොම අසීරු කටයුත්තක්. ඒ අසීරු කටයුත්ත ජය ගන්න මට උදව් කළේ “ටොයෝටා ලංකා” ආයතනයයි. ඔවුන් මට ලොකු හයියක්.’

2014 ඈ අරඹන්න යන මේ අපූරු කටයුත්ත කරට අරගෙන වැඩ කරන්නේ මාදනී ගේ සැමියා කීර්ති කේ. රත්තායක. කීර්තිගේ සහයෝගය ඇගේ රංගන ජීවිතයට ආලෝකයක්.

‘ මේ සියලු කටයුතු පිටුපස ඉන්නේ මගේ සැමියා. ඔහු නැතිවුණා නම් මට මේ කිසිම දෙයක් කර ගන්න ලැබෙන එකක් නෑ. මගේ රංගන දිවියේ සාර්ථකත්වය රැඳීලා තිබෙනවා නම් ඒ ඔහුගෙන් ලැබෙන මඟ පෙන්වීම නිසයි. කාර්යබහුල රංගන ශිල්පිනියක් විදියට ඒ සියල්ල පිළිවෙළකට ගොනුකර ගනිමින් දිගු ගමනක් යන්න මට අවසර ලැබුණේ ඔහු නිසා.’

 මවක්, බිරිඳක් කියන භූමිකාවලදී මේ කාර්යබහුලත්වයෙන් මිදිලා කටයුතු කරන්නේ කොහොමද?

මගේ සිතේ නැඟුණේ පැනයක්.

‘මේ සෑම භූමිකාවකටම යම් කාලවේලාවක් සොයා ගන්න මම අමතක කරන්නේ නැහැ. අපේ ගෙදර අපි දෙන්නා සියලුම කටයුතු කරගන්නේ සහයෝගයෙන් කතාබහ කරලා. සමහර දේ මට කරන්නට නොහැකි වනවිට කීර්ති ඒ දේවල් කරන්න මුල් වෙනවා. ඔහුට නොහැකි අවස්ථාවල දී ඒ ඒ දේවල් කරන්න මා භාර ගන්නවා. මගේ නිර්මාණ කටයුතුවලට අවහිරයක් නොවෙන්නයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේ.’

නිවෙසේ කටයුතු පිළිවෙළකට සිදු කිරීෙමීදී යම් යම් ගැටලු තත්ත්වයක් පැන නැඟිලා තියෙනවාද?

මෙහෙමයි, මම සාමාන්‍යයෙන් මගේ ඉදිරි කටයුතු පිළිබඳ යම් සැලැස්මක් නිර්මාණය කරගෙනයි වැඩ කටයුතු කරන්නේ . මට ලැබෙන නිර්මාණ සමඟ ඒ සැකසෙන වැඩ පිළිවෙළ වෙනස් වෙන්නේ කලාතුරකින්. ඒ නිසා නිවෙසේ කටයුතුවලට වගේම පුතාගේ කටයුතුවලටත් දායක වෙන්න මට ඉඩ ලැබෙනවා. පුතා කැමැති කෑමක් හදන්න, කීර්ති කැමැති කෑමක් හදන්න නිවෙස අස්පස් කරලා ලස්සනට තියාගන්න මට ලැබෙන්නේ ඒ ඉඩහසරෙදියි.

විවේකයක් ලැබුණොත් තුන්දෙනත් එක්කම මොකද කරන්නේ?

මාදනීට ඔසුවක් තරම් වටිනා විවේකය ගැන මම විමසුවා.

සමහර වෙලාවට අම්මා, තාත්තා බලන්න නුවර යන්නේ ඒ වගේ විවේකයකටයි. ගමට ගිහින් නෑදෑයෝ, සහෝදර සහෝදරියෝ එක්ක කාලය ගත කරන එක තරම් සතුටක් කොයි තරම්ද කියලා හිතෙන්නේ එතකොටයි. එහෙම නැත්නම් හැමෝම එකතු කරගෙන විනෝද ගමනක් යන්නත් අපි අමතක කරන්නේ නෑ. චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්නෙත් අපි ඒ වෙලාවට තමයි.

කීර්තිත් කතාවට හවුල් වුණා. මාදනී ගේ රඟපෑමට කීර්තිගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

ඇත්තටම මට පිටපතක් ලැබුණට පස්සේ මම ඒ ලැබුණු චරිතය ගැන මුලින්ම කතා කරන්නේ කීර්තිත් එක්කයි. එහිදී ඔහුගෙන් ලැබෙන උපදෙස් මට හරියට වටිනවා. මා රඟපාන චරිතවල හොඳම විචාරකයා ඔහුයි. පිටපතේ හැටියට චරිතයට එකතු විය යුතු දේවල්, සමහර විට පිටපත ගැන මට නොතේරෙන තැන් මම අහගන්නේ කීර්තිගෙන්. ඒ නිසා ඔහු ගෙන් මට ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ.

පුතත් රංගනයට පිවිසිලා, ඔහු කවදහරි ඔබ වගේ රංගන වෘත්තිය තෝරා ගනීවිදි?

දැනටමත් සමහර නිර්මාණවලට පුතා රංගනයෙන් දායක වෙලා තියෙනවා. මුලින්ම හොඳට ඉගෙන ගෙන ඊට පස්සේ එයා කැමැති ක්ෂේත්‍රයක් තෝරා ගනීවි. ඒකට අපෙන් බාධාවක් නැහැ. හැබැයි එයා ටිකක් දඟකාරයා.

නාට්‍ය පුහුණුවීම් සිදුවන බොහොමයක් අතරතුර රසවත් සිදුවීම් රැසක් ඇති බව අපි දන්නවා. ඔබේ රසිකයන් මේවා දැනගන්න කැමැත්තෙන් ඇති?

සමහර දවස්වලට නාට්‍ය පුහුණුවීම් කරන්නේ අපේ නිවෙසෙයි. මට මතක විදියට ‘මීයෝ නැතුව බෑ’ වේදිකා නාට්‍යය පුහුණුවීම් සිද්ධවෙන දවසක, ඒකෙ තරමක් හයියෙන් කෑගහලා දෙබස් කියන්න තියෙනවා. පිටතට ඇහෙන්නේ හරියට රණ්ඩුවක් වගේ. ඒ සද්දය ඇහිලා අපේ ගෙදරට කිහිප දෙනෙක්ම ආවා මේ රණ්ඩුව මොකක්ද කියලා බලන්න. ඒ වගේ කටයුතුත් සිදුවෙනවා. කොහොම හරි අපේ ගේ ළඟ ගෙදර දුවට ඒ නාට්‍යයේ ගීත කටපාඩම්. සමහර දවසට ඈ ඒ ගීත ගයනවා මට ඇහෙනවා.

මේ වගේ බොහෝ සුන්දර සිදුවීම්වලින් පිරුණු මාදනී ගේ කැදැල්ල එකම සතුටු සාගරයක්. මේ දවස්වල ඇය වෙනදටත් වඩා කාර්යබහුල වී සිටින නිසා වැඩි කරදරයක් නොකරම ඇයට අපි සමුදුන්නා.