|
මමත් අඬන්න බැරිකමට හිනාවෙන තවත් මනුස්සයෙක්
බර්ටි ගුණතිලක
ශ්‍රී ලාංකේය හාස්‍යයෝත්පාදක කලාවක් බිහි කිරීමේ මහත් දායකත්වයක් සැපයූ ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුදිගු යනු මිනිසුන්ගේ මුවෙඟ් අර්ථවත් සිනහවක් රැන්දූ අපූරු යුග පුරුෂයන් තිදෙනෙකි. ඔවුන් ගුවන් විදුලිය, රූපවාහිනිය, වේදිකාව ඔස්සේ මුළු රටම හිනස්සවමින් කළ සේවය අති විශිෂ්ටය. විකට ලොවේ කිරුළු පලන් තුන් කට්ටුව අතරින් අද අපට ඉතිරිව ඇත්තේ එකම සම්පතක් පමණි. මෙරට පරම්පරා ගණනාවක් සිනහ ගගුලේ ගිල්වමින් මෑතක් වන තුරුම බාල, මහලු, තරුණ සැමගේ ආදර ගෞරවයට පාත්‍ර වෙමින් සැඳෑ සමය ගෙවන බර්ටි ගුණතිලක රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ඇමටියගොඩ ප්‍රදේශයේ නිහඬ නිස්කලංක ජීවිතයක් ගත කරමින් සිටී.
568/ඒ/2, වේරහැර, ඇමටියගොඩ, ගොඩකවෙල ලිපිනයේ නිිවසේ සිය සැඳෑ සමය ගත කරන බර්ටි ගුණතිලක සොයා අප මේ පිය මනින්නේ ඔහු සමඟ සතුටු සාමීචියේ හෝරා කිහිපයක් ගෙවන්නටය. අපගේ පැමිණීම බර්ටිව දැනුවත් කළේ ඔහු සුරතලයට ඇති දැඩි කරන බලු සුරතලුන්ය. සුරතලුන්ගේ බිරීමේ හඬ වේගවත් වීමත් සමඟ සෙමින් සෙමින් ගෙමිදුලට පැමිණියේ සැරයටියක් අතින් ගත් අසහාය රංග ශිල්පී බර්ටි ගුණතිලකයන්ය. සැරයටියත් සමඟ දෙඅත් එස වූ බර්ටි අප සැම ඉහ වහා ගිය සතුටු සිතින් පිළිගත්තේ ආයුබෝවන් කියාය. නිවසේ එළිිමහන් පෝටිකෝවේ වාඩි ගත් අප හෝරා කීපයක් බර්්ටි සමඟ ගෙවා දැමුවේ ඉල ඇදෙන සිනා සාගරයක් සමඟ වූ කතාබහකිනි. විටෙක එය හැඟුම්බර විය. තවත් විටෙක එය බලාපොරොත්තු සහගත කතාබහක් විය.
* කොහොමද මේ දවස්වල ජීවිතේ? දුකසේ සැප විඳීනවා.
* ඇයි එහෙම කියන්නේ? මට දැන් මහලු වයසේ බැරිය පෙර විහිළු පෙර සේ.
* මේ දවස්වල කල දවස ගෙවන්නේ කොහොමද? දැන් මම මොනම දේකටවත් ගෙදරින් පිට යන්නේ නැහැ. 2013 නෙවැම්බර් 13 වැනිදා ජාතික සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙලේදී මට සංස්කෘතික කලා කටයුතු අමාත්‍යාංශය දේශ නේතෘ සම්මානය පිරිනැමුවා. ඒ සඳහා මම අපහසුකම් මැද්දේ වුණත් සහභාගි වුණා.
* මේ දවස්වල ඔබ තවත් සම්මානයකින් පුද ලබන්න නිර්දේශ වෙලා නේද? රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද සේවාව උදෙසා ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන යාවජීව සම්මානය සඳහා මාව නිර්දේශ වෙලා තියෙනවා. මෙය මෙම මස 12 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ දී ප්‍රදානය කරන්න නියමිතයි කියලා මට ආරාධනා කරලා තියෙනවා.
* ඉකුත් වූ අගෝස්තු මාසයේ උපන් දිනය ඔබට සුවිශේෂි නේද? මම ඉපදුණේ 1924 අගෝස්තු 02 වැනිදා. පසුගිය අගෝස්තු දෙවැනිදාට මට අවුරුදු අනූවක් පිරුණා. දැන් මට වයස අවුරුදු අනූවක්.
* රංගනයට එක්වන්නට පෙර ඔබ රැකියා කීපයකම නියැළියා නේද? නුවර අම්පිටිය ප්‍රදේශයේ උපන් මා මහනුවර අම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර සංඝරාජ පිරිවෙනට ඇතුළත් වුණා. ඉන් පසු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. එයින් පසුව ඉවත් වි ගුරු වෘත්තියට පිවිසුණා. එයින් ඉවත්ව වත්තල ප්‍රදේශයේ පොත් සාප්පුවක් කළා. ඊට පස්සේ සිංහල බෞද්ධයා, සිංහලේ, සිංහල ජාතිය, ලංකාදීප පුවත්පත්වල වැඩ කළා. ඔය අතරේ 1953 දී මම ලේක්හවුස් ආයතනයට එක් වුණා. පුරා අවුරුදු දොළහක් එහි කනිෂ්ඨ පාලකයෙක් විදියට මම වැඩ කළා. ඔය කාලයේ මම ලේක්හවුස් ආයතනයේ වෘත්තීය සමිති හා සෘජුව සම්බන්ධ වෙලා වෘත්තීය සමිති නායකයකු ලෙස වැඩ කරන අතරේ එහි වෘත්තීය සමිති අරගලවලට එක් වුණා. ඒ නිසාම මට පසුව එහි රැකියාව අහිමි වුණා. ඊට පස්සේ මා පූර්ණකාලීනව කලා කටයුතුවල නියැළියා.
* ලේක්හවුස් පැමිණීම කොහොමද සිද්ධ වුණේ? ඒ සඳහා මට උදව් කළේ චන්ද්‍රරත්න මානවසිංහ, මීමන ප්‍රේමතිලක මහත්වරුන්. මේ අය මට නිතර මුණ ගැසුණේ බාර් එකේදී. ඒ අවස්ථාවලදී ඇතිවුණු මිත්‍රකම මට ලේක්හවුස් එන්න අවස්ථාවක් වුණා. පත්තර බෙදා හැරීම් අංශයට තමයි මාව අනුයුක්ත කළේ. එහෙම වැඩක් කියලා මට තිබුණෙමත් නැහැ. මට පවරා තිබුණේ ලයින් චෙක් කිරීමේ කටයුත්ත. මෙතනදි මට ලැබුණු විශාල නිදහසින් මා වැඩි වශයෙන් කළේ සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති පිහිටුවාගෙන ඔවුන් වෙනුවෙන් හඬ නැඟීම. උදේ ඉඳලා රෑ වෙනකන් මට තියෙන නිදහසින් මා තව දෙයක් කළා. ගුවන් විදුලියට නාට්‍ය පිටපත් ලිවීම මගේ අනෙක් කාර්ය වුණා.
* රංගන ශිල්පියෙක් ලෙස ඔබ ගොඩ නැඟීීම ආරම්භ කළේ කොයි ආකාරයෙන්ද? පුංචි කාලේ ඉඳලා කොහෙන් හරි හොයා ගෙන එන විහිළු කෑලි තනියෙන් ඉන්න වෙලාවට තනියෙන් රඟ දක්වන එක මගේ විනෝදාංශය වුණා. මම කුඩා අවධියේ අපේ ගම් පළාතට නාට්‍ය රඟදක්වන්න ආපුවාම මම ගෙදරින් පැනලා ගිහින් බලනවා. පොල් අතු මඩු ඇතුළේ අපි බිම වාඩි වෙලා තමයි නාට්‍ය බැලුවේ. මට ලොකු ආශාවක් තිබුණා නාට්‍යවල රඟපාන්න. කොහොම හරි නාට්‍ය පෙන්වන අය හඳුනාගෙන ඒ අයගේ හැම වැඩක්ම කරල කොටින්ම කියනවා නම් දර දිය ඇදලා මම පුංචි කෑල්ලක් ඉල්ලගෙන ඒවායේ රඟපෑවා. මේවායේ රඟපාලා, නාට්‍ය බලලා ගෙදර ගියහම තාත්තාගෙන් හොඳ හැටි කෝටු පාර කෑවා. බැනුම් ඇහුවා. මගේ පියාට දැඩිව ඕනෑ කළේ මාව ආයුර්වේද වෛද්‍යවරයෙක් කරන්න.
* ගුවන් විදුලියට ඔබ සම්බන්ධ වන්නේ? 1947 සිරි අයියාගේ ළමා පිටියෙන් තමයි ගුවන් විදුලියට සම්බන්ධ වුණේ. ඊට පස්සේ 1948 ගුවන් විදුලියේ හිටපු ප්‍රසිද්ධ නිවේදකයකු වූ එච්. ඩී. විජයදාස මහත්තයා ඉදිරිපත් කළ විනෝද සමය වැඩ සටහනට සම්බන්ධ වුණා. ජෝසප් සෙනෙවිරත්න, වින්සන්ට් වීරසේකර, හැරියට් සුරවීර, පිටිපන සිල්වා, සිසිර කුමාර මානික්කආරච්චි ආදී පිරිසක් එදා එහි රඟපෑවා. 1954 දී එච්. ඩී. විජයදාස මහතා ආරම්භ කළ විහිළු තහළු වැඩ සටහනට සම්බන්ධ වුණා බොහොම කැමැත්තෙන්. ඒ වැඩ සටහන මුලින්ම ප්‍රචාරය වූ දිනය මගේ ජීවිතයේ නොමැකෙන මතකයක්. ටික කලකදී ඒ වැඩ සටහන වාරණයට ලක් වුණා. ඊට පස්සේ මා විනෝද සමයට සම්බන්ධ වූණා. විනෝද සමය ගොඩක් මිනිස්සු අහපු නිසා විශාල ප්‍රතිචාරයක් අපට ලැබුණා. විනෝද සමය ගොඩ නැඟුණේ තේවිස් ගුරුගේ මහත්මයාගේ අදහසකට. ඔහු තමයි නමත් දැම්මේ.
* රූපවාහිනියේ මුල්ම විකට නළුවා වීමේ භාග්‍යයත් ඔබ හිමි කර ගත්තා නේද? 80 දශකයේ මැද භාගයේ විනෝද සමය රූපවාහිනිය සමඟ අත්වැල් බැඳ ගත්තේ නන්දන වින්දන වැඩසටහනත් සමඟ. නන්දන වින්දන විවිධ ප්‍රසංගයේ අංගයක් ලෙස විනෝද සමය එක් වුණා. ඒ අවස්ථාව අපට හිමි කර දුන්නේ එවකට ඒ වැඩ සටහනේ නිෂ්පාදක වූ අබේවර්ධන බාලසූරිය මහතා. හඬින් පමණක් අපිව හඳුනාගෙන සිටි රසිකයන්ට අපේ සැබෑ චරිත නිරූපණයන් දෑසින් බලාගන්න අවස්ථාව උදා වුණා. අතිශයින් රසික ප්‍රතිචාර මේ වැඩ සටහනට ලැබෙන්න පටන් ගන්න කොට විවිධ රූපවාහිනී නාළිකා විනෝද රංග, විනෝද වටය, විනෝද චාරිකා, රෝඩ් ෂෝ ආදී නම්වලින් අපේ රංගනයන් කරළියට ගෙනාවා.
* සිනමාව තුළත් ඔබ රංග ප්‍රතිභාවෙන් හැඩ කළා නේද? 1951 දී මම ප්‍රථම වතාවට සිනමා ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ. එස්. එම්. නායගම් නිපද වූ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයෙන්. ඒ මෙරට චිත්‍රාගාරයක තැනූ මුල්ම චිත්‍රපටයයි. සමාජ හතුරෝ, බිනරමලී, සිකුරුලියා, නැව ගිලුනත් බෑන් චූන්, මරුවා සමඟ වාසේ, ජොලි හලෝ, සීත සමීරේ, චූඩාමාණික්‍ය ආදී චිත්‍රපට හැටක විතර මම රඟපෑවා.
* වේදිකාව, සිනමාව, ගුවන් විදුලිය, රූපවාහිනිය මේ සියලු මාධ්‍යයන් ඇසුරේ රංග ප්‍රතිභාව දිග් විජය කළ ඔබ වඩාත් ළෙන්ගතුකමක් දක්වන්නේ කොයි මාධ්‍යයටද? වේදිකාවට. වේදිකාවේ තියෙන සජීවී බව වෙන මොන මාධ්‍යයේවත් නැහැ. කම්මැලි නැතිව රඟපාන්නත් සජීවීව රසික ප්‍රතිචාර අත් විඳින්නත් තියෙන හොඳම මාධ්‍ය වේදිකාව. වේදිකාව තුළින් රංග ශිල්පියෙකුට ඉගෙන ගන්න තියෙන අවස්ථාවත් පුළුල්.
* ඔබේ බිරිය ඔබට මුණ ගැහෙන්නේ විහිළු කරන්න ගිහින්ද? ගොඩකවෙල ඇමටියගොඩ විද්‍යාලයේ පැවැති උත්සවයකට ආරාධිත අමුත්තෙකු ලෙස මට ආරාධනාවක් ලැබුණා. මගේ ඥාතිවරයෙක් තමයි ඒ පාසලේ විදුහල්පති. මම ඉල්ලීම අහක දාන්න බැරි නිසා පාසලට ගියා. විනෝදාත්මක විහිළු රංගනයකුත් කළා. මගේ බිරිය ඒ වෙන කොට ඒ පාසලේ ගුරුවරියක්. මම කරපු විහිළු බලලා එයාටත් හිනා. අපි දෙන්න මුලින් හඳුන ගත්තේ එතනදි. ඒ හඳුනා ගැනීම මගේ ජීවිතයට පංගුකාරියක් වුණා. මුලදී බිරිය සෝමාගේ දෙමාපියන් මම විහිළුකාරයෙක් කියලා මට කැමැත්තක් දැක් වුවෙත් නැහැ. ඒත් කොහොම හරි අවසානයේ අපි දෙන්නා ජය ගත්තා.
* ඔබේ පවුලේ තොරතුරු කොහොමද? මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. වැඩිමල් පුතා භාරත රූපවාහිනි තාක්ෂණ නිලධාරියෙක්. දෙවැනි පුතා හර්ෂ ව්‍යාපාරිකයෙක්. තෙවැනි දුව ජීවානි අද මගේ තනි නොතනියට මාව රැක බලා ගන්නවා. බාල දුව කුමුදුනී ගුණතිලක රූපවාහිනී සංස්ථාවේ සේවය කරනවා. මගේ ආදරණීය බිරිය සෝමා ගුණතිලක 1993 දී මාවත් දරුවනුත් මෙලොව තනිකර හදිසියේ මිය පරලොව ගියා.
* ඔබ සැබෑ ජීවිතයෙත් විහිළුකාරයෙක්ද? විහිළුව කියන එක මගේ ජීවිතයේ කොටසක් වගේ. ඒක මගේ ජීවිතයේ බැඳුණු දෙයක්. සාමාන්‍ය ජීවිතයේ මම ටිකක් නිහඬ කෙනෙක්. මිනිස්සු වෙච්ච අපි ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙනවා. මමත් අඬන්න බැරිකමට හිනාවෙන තවත් මනුස්සයෙක් විතරයි.
* එදා මෙන් අදත් විහිළු කලාවට නිදහසක් තිබුණාද? සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක වැනි නායකයන් පවා අපි විවේචනය කළා. හැබැයි ඒ නායකයෝ පෙරළා අපට පහර දුන්නේ නෑ. ඒ කාලේ නායකයෝ වැරැද්දක් පෙන්නුවොත් ඒක හදා ගත්තා මිසක් විහිළු කරපු කෙනා ඉස්සුවෙත් නැහැ. ගහල අඬු කැඩුවෙත් නැහැ. පස්්සෙන් පැන්නුවෙත් නෑ. මේ විහිළු කිරීමේ නිදහස පහු වෙන කොට අඩු වෙලා ගියේ පණ බයත් එක්ක.
* අද වෙන කොට ඔබ සමඟ සිටි ඇනස්ලි, සැමුවෙල් අති ජාත මිත්‍රයන් දෙදෙනා මෙලොවින් සමු අරගෙන නේද? අපි තුන් දෙනා විහිළු තහළු ආරම්භයේ පටන් හොඳ මිත්‍රයෝ. එක් කෙනෙක් කපාගෙන එක් කෙනෙක් ඉස්මතු වෙන්න හදන ගති අපි කා ළඟවත් තිබුණේ නෑ. විකට වැඩ සටහන් පිටපත් හැදුවෙත් අපි හැමගේ අදහස් අරගෙන. අපි අතර නෝක්කාඩුවක් දවසකට දෙකකට ඇති වුණත් අපි තුන්දෙනා ගහට පොත්ත වගේ තමයි හිටියේ. අපි කරපු හැම විහිළුවකින්ම උපහාසයක් කළා මිසක් කාටවත් අපහාසයක් කළේ නැහැ. ඒ දෙන්නා නැතිවුණත් හරි මමත් විකට රංගනයෙන් ඈත්වුණා.
* හුදකලා ජීවිතයක් ගෙවන ඔබේ නිස්කලංක ජීවිතය ගැන මොකද හිතෙන්නේ? දැන් මම කොළඹින් බැහැරව ගොඩක් ඈත ඉන්න නිසා යාළු මිත්‍රයොත් එන්නේ යන්නේ නෑ. මටත් එහෙම යන්න හයියක් නැහැ. මටත් නිදහසේ ඉන්න ඕනෑ නිසා ගමට වෙලා ඉන්නවා. මගේ දැන් කනත් ඇහෙනවා අඩුයි. දියවැඩියා රෝග තත්ත්වයත්, වයසත් නිසා මම දවසින් දවස මහලු වියට එළඹෙනවා. අද මගේ තනියට මේ ගෙදර ඉන්නේ මගේ දුවයි, හුරතලේට හදන බල්ලෝ කීප දෙනයි, පූසයි විතරයි. මගේ මරණය කවදාක හෝ සිදු වුණත් ඒක මම පවුලට බරක් කරන්න දීලා නැහැ. මගේ දේහය වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් මම දැනටමත් වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරලා ඉවරයි. ඒ දේ මගේ මරණෙන් පස්සේ මගේ ඉල්ලීමට එසේ සිදු වේවි. බර්ටි ගුණතිලක මහතාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා යන්න පතමින් ඔහුත් සමඟ ගත කළ හෝරා කීපයට සමුදුන්නේ බර්ටි ගුණතිලකගේ විකට රසමුසු තවත් තොරතුරු රැසක් සරසවිය පාඨකයන්ට ගෙන ඒමේ අපේක්ෂාවෙනි.
ලබන සතියේ බර්ටි කිව්ව රස කතා බලමු.
|