වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුනගෙන් අහන්න

අර්ජුනගෙන් අහන්න

මෙවර රදී රැයක් ප්‍රසංගය ඔබ නැරැඹුවාද? ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

සරත් මැදවත්ත

අඹේපුස්ස

රිදී රැයක් ප්‍රසංගයට ආරාධනාවක් එවන්නට එහි සංවිධායකයන් මට කතා කළත් එදින වෙනත් කටයුත්තක් වෙනුවෙන් බැහැර යා යුතු වූ බැවින් ඒ ආරාධනාව මම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. කොහොම වුණත් පසුගිය 31 වැනිදා රාත්‍රියේ මට එය නරඹන්න අවස්ථාව ලැබුණා. මගේ ආකල්පය නම් එය යහපත් අරමුණක් වෙනුවෙන් වසර 11 ක් මුළුල්ලේම වසරකට එක් දිනක් හෝ අපේ රටේ පරම්පරා ගණනක සිනමා නළු නිළියන් මෙලෙස එකට කටයුතු කිරීම අතිශය ප්‍රශංසනාත්මක බවයි.

ඉන්දියාවේදී නම් මෙබඳු ප්‍රසංග පවත්වන්නට කලාකරුවන්ට අති විශාල මුදලක් ගෙවිය යුතුයි. එහෙත් මෙම ප්‍රසංගයේ පුහුණුවීමට පවා අපේ රටේ කලාකරුවන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම මා නම් දකින්නේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙසයි. එක පැත්තකින් අපේ සිනමාවේ ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨ නළු නිළියන් සතුටින් දීර්ඝායුෂ විඳින්නටත් මේ එකතුව ප්‍රමාණවත් වෙනවා වගේම එදා සිනමාව ගැන නොදත් අපේ සිනමාවේ අද පරම්පරාව සමඟින් අත්දැකීම් බෙදා ගන්නත් එය කදිම අවස්ථාවක්. රිදී රැයක් පසුපස සිටින ජයන්ත ධර්මදාස මහතාගේ නායකත්වය වගේම ඒ සඳහා මැදිහත් වන සැමට කවර අඩුපාඩු තිබුණ ද මගේ ප්‍රශංසාව නොඅඩුව හිමි වෙනවා. ඊළඟ වසරේදී මෙයට වඩා අලුත් අදහස් සහිතව දිනෙන් දින මෙම ප්‍රසංගය දියුණු වනු දැකීම අපේ සිනමා කර්මාන්තයේ නියැළී සිටින්නන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.

හින්දි සිනමාවේ ‘කඳුළු බිංදුව‘ ලෙස හඳුන්වන ජනප්‍රිය නිළිය (මිය ගිය) මීනා කුමාරි ගැන කෙටි විස්තරයක් පවසනවාද?

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා

කළුබෝවිල

ඉන්දීය සිනමාවේ ජීවත් වූ නිළියන් අතර වඩාත්ම ඕපා දූපයන්ට පාදක වූ මීනා කුමාරි ජීවත් වූයේ වසර 39 කි. 1932 අගෝස්තු 01 වැනිදා ඉපිද 1972 මාර්තු 31 වැනිදා ඇය මිය ගියේ සිරෝසිස් රෝගය උත්සන්න වීමෙනි. ඇයගේ මුල් නම වූයේ මාජ්ජාබීන් භානු ය. ඇය උත්පත්තියෙන් කෙතරම් දිළිඳු දැයි කීවොත් මවුපියන්ට ඇයගේ උත්පත්තියේදී රෝහල් බිලවත් ගෙවා ගත නොහැකි වුණා. කෙසේ වෙතත් මවුපියන්ගෙන් ඇයට උරුම වූ කලාව ඇයට ජීවිතය දුන්නා. ඇය සිනමාවට පිවිසෙන්නේ ජීවත්වීම සඳහායි. ළමා වියේදීම ඇය වරක් පවසා තිබුණේ ‘මට රඟපාන්නට වඩා පාසල් යන්නට උවමනා’ බවයි. කෙසේ වෙතත් පසු කලෙක මීනා කුමාරි නම් වූ ඇය 1952 වසරේදීී බවුජි බවුරා චිත්‍රපටයේ රඟපෑමෙන් කීර්තියට පත් වුණා.

එමෙන්ම මුල්ම ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත් නිළිය ද ඇයයි. ‘පරිනිතා’, ‘දිල් අප්නා ඕර් ජීන් පරායේ’, ‘අසාඩ්’, ‘මිස් මේරි’, ‘කොහිනූර්’ වැනි චිත්‍රපටවලින් ජනප්‍රියත්වයට වගේම කීර්තියට පත් වූවා.

ඇය විවාහ වූයේ සුප්‍රකට සිනමාකරුවකු වූ කමල් අම්රෝහි සමඟයි. කෙසේ වෙතත් ඇය ඉතා තදින් මත්පැනට ඇබ්බැහි වූවා. මේ නිසාම ඇයගේ මරණය ඉක්මන් වූවා. ඇය අම්රෝහිගෙන් වෙන් වූ පසු ඔහුට අතිශය සංවේදීජනක කවි පෙළක් ලියා යැව්වා. මීනා කුමාරි නම් මේ රංගන ශිල්පිනියගේ ස්වයං ජීවිත කතාව බොහෝ නිළියන්ට ආදර්ශයක්. ඒ වගේම ඇය එහි අත්විඳි දුක්ඛ දෝමනස්සයන් මනාව හෙළිදරව් කර තිබෙනවා.

50, 60 වර්ෂවල නිපදවන ලද බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙ ලූ සිංහල චිත්‍රපට වන ‘මාතලන්’, ‘දොස්තර’, ‘වනමෝහිණී’, ‘වීර විජය’ වැනි චිත්‍රපට සංස්ථාව සතුව තිබේද?

ජයම්පති නවරත්න

මාතලේ

මාතලන් චිත්‍රපටයේ පිටපතක් තිස්ස නාගොඩවිතාන මහතා සතුයි. අනෙකුත් චිත්‍රපට සංරක්ෂණය වී නැහැ.

ඔබ පසුගිය කලාපයක සඳහන් කර තිබුණා වෛජයන්තිමාලා රඟපෑ පළමු වැනි හින්දි චිත්‍රපටය ‘ලඩ්කී’ යනුවෙන්. නමුත් මුල්ම හින්දි චිත්‍රපටය 1951 දීී තිරගත වූ ‘බගාර්’ චිත්‍රපටය නොවේද?

සේන ගමගේ

බණ්ඩාරවෙල

ඔබ නිවැරැදියි.

60 – 70 දශකවල අප බෙහෙවින් චිත්‍රපට නරඹන කාලයේ දර්ශනයක් ආරම්භ කිරීමට පෙර තිරය මත ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් ජාතික ගීය වාදනය කෙරුණා. එවිට නොනැගිට සිටිය අය ද සිටියා මතකයි. 80 දශකයෙන් පසු එය ඉවත් කෙරුණා. ඒ ඇයි?

ජනක ඉලුක්කුඹුර

කඩවත

වර්තමානයේ යළිත් ජාතික ගීය සිනමාහල්වල වාදනය වෙනවා. සමහර විට ජාතික ගීයට නොනැගිටින අයගේ සිතුවිලි ඒ දවස්වල දිනන්න ඇති.

යන්තම් බහ තෝරන දරුවන් සුපිරි තරු කරන්නට රූපවාහිනි නාලිකා දරන වෑයම ගැන අර්ජුනට මොකද හිතෙන්නේ?

උදයන්ත සිරිසේන

රුවන්වැල්ල

දරුවන් ගැන නොවෙයි අම්මලා ගැන දුක හිතෙනවා. පහේ ශිෂ්‍යත්වයට කෑගහන අධ්‍යාපන විශේෂඥයන් ඒ ගැන නිහඬ ඇයිදැයි මට පුදුම හිතෙනවා. එහෙත් සුපිරි හපනා වැඩ සටහන නම් දරුවන් තරු නොකොට ඔවුන්ගේ කුසලතාවයන් ඉස්මතු කරන වැඩ සටහනකි. එය ප්‍රශංසාවට භාජනය විය යුතුයි.

එම්. ජී. රාමචන්ද්‍රන්, ජෙමිනි ගනේෂන්, සිවාජි ගනේෂන් යන ඉන්දිීය නළුවන්ගෙන් එම වකවානුවේ ජනප්‍රියම හා දක්ෂතම නළුවා කවුරු කියලාද ඔබ හිතන්නේ?

සෝමා එච්. පතිරණ

කහවත්ත

එම්. ජී. රාමචන්ද්‍රන්ගේ ජනප්‍රියත්වය අන් කිසිවෙකුට සම කරන්න බැහැ. සාමාන්‍යයෙන් මේ අය අතුරින් වඩා දක්ෂ සිවාජි ගනේෂන් බව පොදු මතයයි. හැබැයි මට නම් මේ තුන්දෙනාම අතර දක්ෂතාවයේ වැඩි වෙනසක් නැහැ.

තරුෂි කියනවා ‘බිරිඳක් සැම විටම සිටිය යුතු සැමියාට උවමනා විදියටලු. ඒක නිවැරැදිද?

සුජාතා ගුණවර්ධන

කඩවත

ඒක හරි සුජාතා. නැවකට ඉන්න ඕනැ එක කපිතාන් කෙනෙක්. නැත්නම් එය පදවන එක අමාරුයි. හැබැයි ඒ සඳහා සාමාන්‍යයෙන් බිරිඳක් කරන්නේ සැමියා තමන්ට වුවමනා විදියට හැඩ ගැස්සවීමයි.