වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




පරාවර්ථන රසිකයන්ට අලුත් අත්දැකීමක්

පරාවර්ථන රසිකයන්ට අලුත් අත්දැකීමක්

දුලානි අනුරාධා සමඟ කතාබහක්

ඇය කා අතරත් තවමත් වඩා ජනප්‍රිය ‘අබා’ හි ගුම්බකබුතා ලෙසටය. ඉන් අනතුරුව කුවේණිය ලෙස ඉමහත් ජනප්‍රසාදයක් දිනූ අපේ කතා නායිකාව ලැබෙන ඕනෑම චරිත අභියෝගයක් වන ලෙස ජය ගැනීමට සමත් වූවාය. ක්‍රමයෙන් තමාට ආදරය කරන ජනතාවගේ ගොඩ වැඩි කර ගනිමින් ඇය තමාට පැවරෙන රාජකාරිය නිහතමානීව ඉටු කරන නිළියක් ද වූවාය. ගුරුවරියකගේ භූමිකාවේ ද ඉතා ගෞරවණීය සේවයක් ඉටු කරන ඇය තව නොබෝ දිනකින් ඇහැලේපොළ කුමාරිහාමි වන්නීය. අද සිට රිදී තිරයේ සිත්තම් වන ‘පරාවර්තන’ චිත්‍රපටය තුළින් මේ දිනවල ඈ අප හමුවන්නීය.

ඇය දුලානි අනුරාධාය.

* දුලානි කොහොමද මේ දවස්වල තොරතුරු?

ඉතාමත් හොඳින් ජීවිතේ ගෙවෙනවා. කලා කටයුතු වගේම වෘත්තිියේ කටයුතුත් ඉතාමත් හොඳින් කරගෙන යනවා.

* ඇහැලේපොල කුමාරිහාමි වන්නට සූදානම්ද?

රිදීී තිරයේ මට නිරතුරුවම ලැබුණේ හොඳ අභියෝගාත්මක චරිත. ඒ හරහා මං ඉතිහාසය ගැන ඉතාමත් සංයමයෙන් සොයන්නට පටන් ගත්තා. අධ්‍යනයකින් තොරව චරිතයකට ජීවය දීම නිශ්ඵල කටයුත්තක්. ඒ නිසා මුලින්ම මම චරිත අධ්‍යයනයක යෙදුණා. කුවේණි නිරූපණය කරද්දීත් එහෙමයි. මම ඉතිහාසයේ මූලාශ්‍ර සොයා ගියා. ඇහැලේපොළ කුමාරිහාමි මට ලැබුණු මොහොතේ ඉඳලා මං ඇයව සොයන්නට වෙහෙසුණා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුගත් සමරකෝන් මහතා. ඔහු සමඟ මුලින්ම හොඳ කතා බහක් ඇති කර ගත්තා. තවමත් ඒ දැනුවත්වීමේ කතාබහ නිමා වෙලා නැහැ.

ඇහැලේපොළ කුමාරිහාමිට තරම් වද වේදනා මා හිතන්නේ ඉතිහාසයේ කාටවත් ලැබිලා නැහැ. තමන්ගේ කිරිකැටි දරුවාව වංගෙඩියකට දාල තමන්ගේම අතින් කොටන්න තරම් වේදනා විඳපු ගැහැනියක් තමයි ඇහැලේපොළ කුමාරිහාමි. මේ වගේ සංවේදී,, ඇත්තෙන්ම කිව්වොත් අධිසංවේදී සිද්ධි මේ චිත්‍රපටයේ තිබෙනවා. මේ වගේ සිදුවීම් පිළිබඳ අපි තවම කතාබහ කරනවා.

මේ ආකාරයෙන් ඇහැලේපොළ කුමාරිහාමි චරිතයට සූදානම් වෙමිනුයි ඉන්නේ.

* මේ දිනවල ඔබ අපි හමුවන්නේ පරාවර්තන හරහා?

පරාවර්තන චිත්‍රපටයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා මං විශ්වාස කරනවා. එහි මට ලැබුණේ ගැමි චරිතයක්. හැකි උපරිම අයුරින් එම චරිතය නිරූපණය කළා. ලංකාවේ ප්‍රේ්ක්ෂකයන්ට හොඳ රසයක් මෙම චිත්‍රපටය පුරා ගැබ් වෙලා තිබෙනවා. මා හිතනවා මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයාට සමීප වෙයි කියලා.

* සකිසඳ සුවාරිස්ට පසුව සකිසඳ එළියස්ට සූදානම් බව ආරංචියි?

ඔව. සකිසඳ එළියස් නාට්‍යයේ දෙවැනි කොටසට මට ආරාධනා ලැබිලා තිබෙනවා. එහිත් ලැබුණේ ගැමි චරිතයක්. ඒ සඳහා පෙර සූදානම් වෙමිනුයි ඉන්නේ. සකිසඳ සුවාරිස් ටෙලි නාට්‍යයේ මා කළ චරිතයට ඉතාමත් සුබදායී ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාරවල උණුසුම තවදුරටත් රඳා පවතින ලෙසට සකිසඳ එළියස් නාට්‍යයේ රංගනයට දායක වෙන්න සූදානම්.

* සකිසඳ සුවාරිස් මෙගා නාට්‍යයක්. කොහොමද ඒ අත්දැකීම?

මෙහෙමයි. මෙගා කියලා තමාට ලැබෙන චරිතය ඉතාමත් හොඳ නම් එහි ප්‍ර‍්‍රශ්නයක් නැහැ. මා හිතනවා සකිසඳ සුවාරිස් මෙගා උනත් ජනතාවට වහ වුණේ නැහැ. ඒ නාට්‍යයේ මගේ චරිතය තුළ කරන්නට යමක් තිබුණා. ඒ වගේම දවසින් දවස ඒ චරිතයට අලුත් දේ එකතු වුණා. ඉතිං කවුරුත් ඒ වගේ නාට්‍ය බලන්න අකමැති නැහැ කියලා මට හිතුණා.

* කුවේණි හරහා ලැබුණු අතිශය ජනප්‍රියත්වය ඉන් පසු රඟපෑ චරිතවලට බලපෑවේ කොහොමද?

කුවේණි හරහා පමණක් නොවෙයි ඕනෑම චරිතයකට ලැබෙන ඉහළ ජනප්‍රියත්වය ඕනැම නිළියකගේ හෝ නළුවකුගේ ඉදිරි රංගන ජීවිතයට ආලෝකයක්. ප්‍රේක්ෂකයා ආදරය කරන්නට පටන් ගත්තාට පසුව ඒ ආදරය දිගටම රඳවා පවත්වා ගැනීමට අපි කටයුතු කළ යුතුයි.

* අධ්‍යක්ෂවරියක් හෝ නිෂ්පාදකවරියක් වෙන්න අදහසක් නැද්ද?

තවම අදහසක් නැහැ. ඒ ගැන කවදාවත් හිතිලත් නැහැ. මොකද ඒ තනතුරු දෙකම දරන්නට හොඳ අධ්‍යනයක් සහ අවබෝධයක් තිබිය යුතුයි. ඒක විශාල වගකීමක්. නමුත් මම තවමත් ඉන්නේ අවබෝධය ලබන කාලයක. ඉදිරියේදී කොහොම වෙයි ද කියලා කියන්න බැහැ.

* ඔබට නිරතුරුවම ලැබුණේ ඓතිහාසික චරිත?

ඔව්. ඒ වුණත් ඒ චරිත විවිධයි. ඓතිහාසික චරිතවලට කොටු වෙන්න මගේ අදහසක් නැහැ. නමුත් මට ලැබුණේ එවැනි චරිත. ලැබෙන ඕනෑම හොඳ හරවත් චරිතයක් භාරගන්න මං සූදානම්.

* ඔබ රඟපෑමට කැමැත්තෙන් සිටින තවම නොලැබුණ චරිත තිබෙනවාද?

මට නොසිතුව චරිත රඟපාන්නට ලැබුණා. කවදාවත් මං හිතන් හිටියේ නෑ මේ වගේ විවිධ චරිත මට ලැබේවි කියලා. රඟපාන්න කැමතිම චරිතයක් නැහැ. ලැබෙන හැම චරියක්ම මගේ උපරිමයෙන් කරනවා.

* රංගන ජීවිතය ගැන තෘප්තිමත්ද?

ඇත්තටම ඔව්. ජනප්‍රියත්වය වගේම කෙනකුගේ ආදරය ලැබීමට වාසනාව තිබිය යුතුයි. ඒ වාසනාව ලැබුණේ රංගන ශිල්පිනියක වීම නිසා. රංගන ජීවිතය ගැන මං තෘප්තිමත්.

* ගුරු ජීවිතය කොහොමද?

ගුරු ජීවිතයේත් වගකීම මං අකුරටම පිළිපදිනවා. රංගන ශිල්පිනියක විදියට ඒ කටයුතුවල යෙදෙද්දී ගුරුවරියක ලෙස මං ඒ ගෞරවය හා වගකීම රකිනවා.