|
|
අම්මා නිපදවූ චිත්‍රපට සම්මාන ලැබිම ආඩම්බරයක්Vishwa Balasuriya
තරු පිරිවරා ගත් සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් මෙවර නිමාව දුටුවේ භද්‍ර යෞවනයේ කලාකරුවන් රැසක් සම්මානනීය ඇගැයුමට ලක් වෙමිනි. තිස් හතරවන සරසවිය සම්මාන උලෙළේදී කලා ක්ෂේත්‍රයේ මෙතෙක් වික්‍රමයන් පෑ අත්දැකීම් බහුල කලා ශිල්පීන් පරයමින් තාරුණ්‍යයේ සිනමා ශිල්පීන් රැසක් සම්මානනීය වීම විශේෂයෙන් කැපී පෙනිණි. එවන් වූ විශේෂිත පුද්ගලයකු වූ විශ්ව බාලසූරිය මෙවර සම්මාන උලෙළේදී 2016 වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානය දිනාගනු ලැරබුවේ සරිගම චිත්‍රපටය් කැමරාකරණයේ පෑ වික්‍රමයන් වෙනුවෙනි. මේ විශ්වගේ සම්මානනීය වීම නිමිතිකොට කෙරෙන සොඳුරු කතාබහකි.
විශ්ව අද විස්මයට පත් වෙලා? සහතික ඇත්ත. විශ්මයෙන් විශ්මයට පත් වෙලා කිව්වොත් හරි. මේ සතුට ගැන කියාගන්න මට වචන නැහැ. සතුට වැඩිකමට ඇස්වලිනුත් කඳුළු උණනවා.
ඇත්ත ද මේ සම්මානයේ සතුට දරාගන්න බැරුව සම්මානෙත් අරන් ගෙදර දිව්වා කියන්නේ? එදා රාත්‍රියේ ඉක්මනින්ම උලෙළේ සමාප්තියත් එක්ක ගෙදර දිව්වා තමයි. ඒ වෙන දේකට නෙමේ මගේ ආදරණීය බිරිය ඉසුරිට මේ සුබ ආරංචිය කියන්න. ඈ මේ දවස්වල මගේ කුළුඳුල් පුංචි දරු පැටියත් එක්ක නිසාවෙන් ඇයට මේ මහා රාත්‍රියේ විචිත්‍රත්වය හා එක් වෙන්න බැරි වුණා.
විශ්වට මොකද හිතෙන්නේ මේ අයුරින් ඔබ සම්මානනීය වීම ගැන? සරසවිය සම්මාන උලෙළ කියන්නේ මේ රටේ අග්‍රගණ්‍ය සිනමා සම්මාන උලෙළ. ඒ වගේ සිනමා සම්මාන උළෙලක සම්මානය ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මේ ක්ෂේත්‍රයට මම ඇවිත් වැඩි කාලයක් නැහැ. කරපු නිර්මාණ හත අටක් වගේ. ඒ අතරිනුත් තිරගත වෙච්ච මුල් චිත්‍රපටය තමයි සරිගම. එයින්ම මම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය ලැබීම මට තව පැත්තකින් සුවිශේෂයි.
සම්මානනීය වීම ගැන ඔබ දරන්නේ මොන වගේ ආකල්පයක්ද?
සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂය රේඛාව චිත්‍රපටය වූවාසේ ඔබගේ ජීවිතයේ කැමරාකරණයේ හැරවුම් ලක්ෂය සරිගම චිත්‍රපටය? ඔව්. මගේ අම්මා රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය තුළින්ම මම මුල්ම සරසවිය සම්මානය දිනා ගැනීම මට මොන තරම් ආඩම්බරයක්ද?
එදා ඔබ උලෙළට සහභාගි වුණේ සම්මානයක බලාපොරොත්තුවක් ඇතිවමද? මම කවදාවත් සම්මානයක් බලාගෙන එහෙම නැත්නම් සම්මාන උලෙළක් බලාපොරොත්තුව චිත්‍රපටයකට දායක වෙන්නේ නැහැ. මම මෙවර සරසවිය සම්මාන උලෙළටත් එක්වුණේ එහෙම බලාපොරොත්තුවක් ඇතුව නොවෙයි. වෙනත් සම්මාන උලෙළ ගැන අහල දැකල හති වැටිල හිටිය මට සරසවිය සම්මාන උලෙළට එනකොටම දැනුණු උණුසුම පිළිගැනීම මාව ඒ හා ඇද බැඳ ගත්තා. ඇත්තටම ඒ පරිසරය තුළ සම්මානයක් නොලැබුණත් නිර්දේශිත අතරට එක් වුණත් නොවුණත් ලොකු බලාපොරොත්තුවක් මා තුළ තිබුණේ නැහැ.
ඔබ සම්මානනීය වූ සරිගම චිත්‍රපටය කැමරාකරණයේදී ඔබ මුහුණ දුන්නේ මොන වගේ භාරදූර කාර්යයකටද? සරිගම මට අභියෝගයක් වුණා කිව්වොත් හරි. අපි මේ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට ලෝකයේ තියෙන නවතම කැමරා තමයි භාවිතා කළේ. කැමරා දෙකකින් තමයි රූපගත කිරීම් සිදු කළේ. ඒක ඇත්තෙන්ම කැමරා ශිල්පියෙකුට අභියෝගාත්මක ක්‍රියාවක්. ළමයි හත් දෙනෙක් සමඟ වැඩ කිරිමත් තවත් අපහසු කාර්යක්. විශේෂයෙන් සෞන්දර්යේ අසිරිය ප්‍රේක්ෂකයාට අත්විඳින්න අපි මෙහිදී ඉඩකඩ සලසා දුන්නා. මේ චිත්‍රපටය බලපු බොහෝ දෙනෙක් මට කිව්වේ ද්වි මාන තිරයේ ත්‍රිමාන රූප මැව්වේ කොහොමද කියලා එයාලට හිතාගන්නත් බෑ කියලා. මම අද සතුටු වෙනවා මම යමක් මේ චිත්‍රපටයේ කළා කියලා මේ අයුරින් ඇගැයුමක් කිරීම සර්ව සාධාරණයි කියලා.
විශ්ව මීට කලින් ඔබ විදේශීය රටකදී ඇගැයීමක් ලැබුවා නේද කැමරාකරණය උදෙසා? මම මුලින්ම කැමරා අධ්‍යක්ෂණය කළ සෙවනැලි චිත්‍රපටයට නිව්යෝර්ක් අන්තර් ජාතික සිනමා උලෙළේදී 2014 දී තරුණ සිනමාකරුවෙක් හැටියට හොඳම කැමරාකරණය වෙනුවෙන් සම්මානයක් ලැබුණා.
ඔබ කැමරාකරණයෙන් දායක වූ චිත්‍රපට අතුරින් සරිගම හැරුණු කොට අනෙක් නිර්මාණයන් තවමත් ප්‍රේක්ෂකයන් අතරට එක් වෙලා නෑ? සෙවනැලි, තුන්පත් රෑන, දඩයක්කාරයා, අන්ඩ පෑන්ටීස්, බරතලී, මේඝ චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතරට එන්න තියෙනවා.
මේ දවස්වල දැවැන්ත සිනමා නිර්මාණයක් වෙනුවෙන් වෙහෙසෙන බව ආරංචියි? සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටය වූ සුනාමි හි රූපගත කිරීම්වල තමයි නියැලී ඉන්නේ. මේ චිත්‍රපටය ඇත්තෙන්ම අභියෝගාත්මකයි.
තරුණ චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් අපේ සිනමාව ගැන ඔබට හැඟෙන්නේ? අපේ සිනමාව ලෝක සිනමාවත් සමඟ දවසින් දවස අලුත් වෙන්න ඕනෑ. හැමදාම බිත්ති හතරට කොටු වෙලා ඉන්නේ නැතුව මේ බිත්ති පුපුරාගෙන අපි එළියට යන්න ඕනෑ. මේ කර්මාන්තය ඉදිරියට යන්න නම් අපිට හොඳ වානිජ සිනමාවක් තිබිය යුතුයි කියන තැන මම ඉන්නවා. ඒ හරහා කර්මාන්තයට ලැබෙන මුදලින් සම්භාව්‍ය සිනමාවක් ඇති කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යාවශ්‍යයි. ලෝක සිනමාව තුළ තියෙන පහසුකම් අපට නැති වුණාට ඒ තැනට යන්න නිර්මාණකරුවන් පැත්තෙන් අපි පොහොසත්.
ඔබ වැනි ළාබාලයකු මේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් පරයා සම්මානනීය වීම ගැන විවිධ අය විවිධ අදහස් පළ කරනවා? ඒක අපේ රටේ ජාතියේ හැටියක්නේ. මට මේ සම්මානය හම්බවීම ගැන විවිධ අය විවිධ කතා කියනවා. පත්තරවලට ලියනවා. ඔය කොයි දේ කළත් මම සැලෙන්නේ නැහැ. මම මේ තැනට ආවේ වැටි වැටි නැගිටලා මිසක් ක්ෂණිකව නොවෙයි. ඕස්ට්‍රේලියාවේදී මම සිනමා කැමරාකරණය ගැන පුළුල් වශයෙන් හැදෑරීමක් කළා. අමෙරිකාවේදීත් මම ලෝකයේ නවීන තාක්ෂණික කැමරා හා උරෙන් උර ගැටිලා මට කියලා දෙයක් ලබා ගත්තා. මට හිතුණා මගේ රටට ගිහින් රට වෙනුවෙන් මගේ දැනුම යොදවන්න ඕනෑය කියලා. අම්ම එපා කියද්දිත් මම මගේ රටට මගෙන් වැඩක් ගන්න කියල කියමින් ලංකාවට ආවා. ඒ ඇවිත් මගේ කුසලතා තුළින් මම යමක් කළා. ඒ කරන දේ සමහර විට තව කෙනකුට රුස්සන් නැතුව ඇති. මට පමණක් තියෙන හැකියාව තව කෙනකුට පිහිටන්න බෑනේ. ඉතිං ඒ හැකියාවට වෛර කරනවා ඇති. මොන දේ කිව්වත් මගේ අම්ම තාත්තට ගැරහුවත් මම මගේම ගමනක් යනවා. ඒ ගැරහුම් සිත් රිදවීම් ඒ අයට පමණයි. මටත් මගේ අම්මටවත් තාත්තටවත් ඒව අදාළ නැහැ.
ඔබ ලැබුව සරසවිය සම්මානයේ ගෞරවනීය බව ඔබම පෞද්ගලිකව ලබා ගන්න උත්සාහ කළේ නැහැ. මේ බව ඔබ උලෙළ අවසානයේත් ප්‍රකාශ කර සිටිනවා? මම හොඳ කැමරා ශිල්පියෙක් ලෙසින් සම්මාන ලැබුවා නම් ඒ ගෞරවය මට විතරක් නොවයි. මට මේ සම්මානය ලබාගන්න මාව මේ තැනට එන්න මාව ඔසවපු බොහෝ දෙනෙක් මේ සම්මානය පිටුපස්සේ ඉන්නවා. ඒ මට සරිගම චිත්‍රපටයේ මාත් එක්ක දායක වූ සියලුදෙනා.
|




අපි මේ ජීවත් වන සමාජය තුළ අපි යම් දෙයක් කරනවා නම් ඒ දේ මේ අයුරින් ඇගැයුම් කරනවා
නම් ඒ දේ අපිට දැනෙන්න ගන්නවා. මේ අයුරින් සරසවිය වගේ සම්මානයකින් ඇගැයුමක් ලබන කොට
අපිව යම් තැනකට ඔසවා තබන කොට ඕනෑම කෙනෙක් තව තව පෙලඹෙනවා තව නව ඉසවු ඔස්සේ තමන්ගේ
හැකියාවන් උරගා බලන්න. මම සරිගම චිත්‍රපටයේ කැමරාව තුළින් යමක් කරලා තිබුණ නිසානේ
මාව විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මානනීය තත්ත්වයට පත් කලේ. මේ ලබපු සරසවිය සම්මානය
මගේ ඉදිරි අනාගතයට ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි.