වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




විභාගෙ වගේද චිත්‍රපටය කියලා හිතුණා

විභාගෙ වගේද චිත්‍රපටය කියලා හිතුණා

Keshali Rajapaksha

ඔබේ නම සඳහන් කළොත්?

කේෂාලි රාජපක්ෂ.

කේෂාලිට ලස්සන පෙට් නේම් එකක් තියෙනවා නේද?

ඔව්. කේෂි තමයි ඒ නම. කේෂි කියපුවාමයි හැමෝම දන්නේ.

පුංචි කේෂි දැන් සරසවිය සම්මානලාභිනියක්?

අනේ ඔව්. රඟපාපු පළමු චිත්‍රපටයෙන්ම මං සම්මාන ගත්තා.

ඔබ සම්මානනීය වූ ඒ චිත්‍රපටය සහ චරිතය සඳහන් කළොත්?

චිත්‍රපටය රොහාන් පෙරේරා සර්ගේ ඒ ලෙවල්. චරිතය සුභා.

කොහොමද ඔබ ඒ ලෙවල් චිත්‍රපටයට සම්බන්ධ වන්නේ?

අජිත් ක්‍රිෂාන්ත ද සේරම් සර්ගේ රංගන පාඨමාලාව හදාරද්දී එතනට ආවා රොහාන් සර්. අජිත් සර් තමයි මාව පුංචි කාලේ ඉඳලා රංගනයට යොමු කළේ්. ඔහුව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඉතින් එතනට ආව රොහාන් සර් චිත්‍රපටයට නළු නිළියන් තෝරන්න ඔඩිෂන් එකක් තිබ්බා. මාත් ඊට සහභාගි වුණා.

එදා කේෂි පුංචි හොර වැඩකුත් කළා නේද?

ඔවුනේ. රංගනයට තිබුණු ආසාවට එහෙම කළේ. ඔය ඔඩිෂන් එක තිබුණේ 2016. චිත්‍රපට ෂූට් කළෙත් ඒ වසරෙමයි. රොහාන් සර් එදා කිව්වා එම වසරේ ඒ ලෙවල් ලියන ළමයි මේ ඔඩිෂන් එකට සහභාගි වෙන්න එපා කියලා. එහෙම බලපුවාම මට ඉන්න බැහැ. මොකද මං ඒ වසරේ තමයි ඒ ලෙවල් කරන්නට හිටියේ. ඒත් රංගනයට ඇති ආදරය නිසාම මං ඊට හොරෙන් සහභාගී වුණා. පුදුමෙ කියන්නේ රොහාන් සර් පළමුව චිත්‍රපටයට තෝරගෙන තියෙන්නෙත් මාව.

ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් ද දැක්වුයේ?

අම්මා දන්නවා මං රඟපාන්න හරිම ආසයි කියලා. විභාග නම් ඊළඟ අවුරුද්දේ හරි ලියන්න බැරියැ. ආයෙ ඉතින් චිත්‍රපටයක් කවදා ලැබෙයි ද, එහෙම හිතලා ඒ ලෙවල් චිත්‍රපටයේ රඟපාන්න ගියා.

ඒත් ඔබට විභාගෙත් මිස් වුණේ නැහැ නේද?

චිත්‍රපටය කරන අතරතුරදී කාලගුණික ප්‍රශ්න මත රොහාන් සර් චිත්‍රපටය රූගත කරන එක සතියකට කල් දැම්මා. හරියටම ඒ විභාග දිනවල. ඕන දෙයක් වෙච්චදෙන් කියලා මං විභාගෙත් ලිව්වා. මෙන්න වැඩක්. මට කැම්පස් යන්නටත් වාසනාව උදා වුණා. මං මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක්.

ඒ ලෙවල් චිත්‍රපටයේ සුභා හරිම කටකාරයි?

රොහාන් සර්ට හිතිලා තියෙනවා මාව දැකපු වෙලාවෙම චිත්‍රපටයේ සුභා මෙයා තමයි කියලා. ඒ කටකාරකම මටත් තියෙනවා. සැබෑ ජීවිතයේ මමත් කටකාරයි. සාමාන්‍යයෙන් එවන් වූ චරිත ඕනෑ තරම් පාසල් ජීවිතයේ අපට හමු වෙනවා. ඒ වගේ අයගෙන් තමයි මට වැඩිපුරම ප්‍ර‍්‍රතිචාර ලැබුණේ. මගේ චරිතය දැකලා ඒ අයට එයාලගේ පාසල් ජීවිතය මතක් වුණා කිව්වා.

සැබෑ ජීවිතේ කේෂිත් කටකාරයි කිව්වා?

ඔව් අනේ. ඒ නිසා යාළුවොත් තරහා වෙනවා. ඇයි ඉතින් කියන්න තියෙන දේවල් ඔහේ කියලා දානවනෙ, වැඩිය හිතන්නේ නැහැ. ඒ අතින් නම් මගේ කටකාරකම උපරිමයි.

අඩු වයසකින් කටකාරකම නිසාම සරසවිය සම්මානයටත් ඔබ හිමිකම් කිව්වා. ඒ ගැනත් කතා කළොත්?

සරසවිය සම්මානයක් කියලා කියන්නේ අති විශේෂ සම්මානයක්. තවත් විදිහකින් කිව්වොත් අපට ලැබෙන්නට තියෙන උසස්ම සම්මානය. එවන් වූ උතුම් දෙයකට මමත් හිමිකම් කිව්වා. මේ වෙලාවේ මම යම් දෙයකට ස්තූතිවන්ත වෙනවා. ඒ සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නළුවා හෝ නිළිය නොතේරූ එකට. එහෙම ජනප්‍රිය අය තෝරනවට වැඩිය හොඳම අයයි තෝරන්න ඕනෑ. මගේ හදවතින්ම සරසවිය සම්මාන උලෙළට සුභ පතනවා.

කේෂාලිගේ පදිංචිය කොහෙද?

මං මීරිගම.

ඉගෙන ගත් පාසලත් මතක් කළොත්?

මං ඉස්කෝල තුනකින් ඉගෙන ගත්තා. මීරිගම බණ්ඩාරනායක, ඩී. එස්. ජාතික පාසල සහ ගම්පහ රත්නාවලී.

උපන් දිනයත් සඳහන් කළොත්?

1997. 08. 01

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

ගොඩ දෙනෙක්ව මතක් කරන්න ඕනෑ. අම්මා, තාත්තා, අක්කා. මේ වනවිට මං නිවේදිකාවක් ලෙසින් ද කටයුතු කරනවා. ඒ ඒ+ සැටලයිට් නාළිකාවේ. එහි අසේල සර්, ප්‍රාණ ඇක්ටිං ස්කූල් එකේ ධනංජය සිරිවර්ධන සහ සම්පත් ජයවීර අයියලා. ඔවුන් මට නිතරම ගුරුහරුකම් දෙනවා.