|
|
සම්මානයක් ලැබුණාම ඔළුවට තව බරක්Gayani Gisanthika
සරිගම චිත්‍රපටයේ කැප්ටන්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූ ගයනි ගිසන්තිකා මෙවර සරසවිය සම්මාන උලෙළේ 2016 වසරේ හොඳම සහාය නිළිය බවට පත් වූවාය. මේ ඇගේ අදහස් බිඳකි...
සරසවිය සම්මානයකින් දෙවැනි වරටත් පිදුම් ලැබුවාම කොහොමද දැනෙන්නේ? ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ අම්මාවරුණේ සහය නිළිය හැටියටයි මට පළමුවරට සරසවිය සම්මානයක් ලැබුණේ. මෙය දෙවැන්න. මම රඟපෑ බොහෝ චරිතවලට සම්මානයක් හෝ නිර්දේශයක් ලැබෙනවා. ඒත් සරිගම චිත්‍රපටයට මෙවර උලෙළවලින් ලැබුණු පළමුවැනි සම්මානය නිසා මේ ගැන මම බොහොම සතුටුයි.
සම්මානයක් ඔබටත් බරක්ද? ඇත්තෙන්ම සම්මානයක් ලැබුණාම ඔළුවට තව බරක්. මොකද එයින් සමාජයට යම් ප්‍රමිතියක් හඳුන්වා දෙනවා. මගේ රංගනයට වටිනාකමක් ලැබෙනවා එය පවත්වාගෙන යෑම බරක්. මම තව දක්ෂ වෙන්න ඕන කල්පනාකාරීව නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඕන කියන හැඟීම මට එනවා.
ඔබ චරිත තෝරා ගැනීමක් කරනවාද? ඇත්ත කතා කළොත් අද වනවිට චරිත තෝරගන්න පුවවන් කමක් නෑ වෘත්තිමය නළු නිළියන්ට. ඒත් අධ්‍යක්ෂවරයාගේ පෙර නිර්මාණ, ප්‍රවීණ නවක බව බොහෝ විට බලපානවා. අපේ රටේ නිපදවන්නේ චිත්‍රපට සුළු සංඛ්‍යාවක් නිසා තෝරා ගැනිමකට යෑම අපහසුයි.
ඒ කියන්නේ ඕනෑම චරිතයක් කරනවා? ඕනෑම චරිතයක් කියන්නේ පිටපත අධ්‍යයනය කළාම මගේ නිර්ණායකවලට එකඟනම් එය බාර ගන්න එක තමයි දැන් කරන්න වෙන්නේ.
වෘත්තිය රංගන ශිල්පිනියක් වුණාම චරිතවලට බිය විය යුතු නෑ? ඇත්තෙන්ම අපේ වගේ රටක කැමරාවක් ඉදිරියේ නිරුවත් වීම නොවෙයි නිළියකට තිබෙන ප්‍රශ්නේ. එය සමාජය එය ගන්න විදිහයි. අපි විෂයයේ සමාධිගත වෙද්දි චරිතයට සාධාරණයක් සහ විෂයට ගරු කිරීමක් කරද්දි, ඕනම චරිතයක් කරන්න පුළුවන් වෙන එක හොඳයි. ඒත් සමාජය අපේ චරිත දිහා බලන විධියක් තිබෙනවා. අපිට දරුවො ඉද්දි, අපි කසාද බැඳලා ඉන්න කෙනකුවෙද්දි වුණත් තමන් ගොඩාක් ශක්තිමත් නම් ඒ වැනි චරිතයක් කරන්න පුළුවන්. ඒත් මා වටා ඉන්න පිරිස නිසා මම තාම එච්චර ශක්තිමත් නෑ.
ඔබට නියමිත ශිල්පීය වටිනාකම ඔබට ලැබී තිබෙනවාද? මේ කර්මාන්තයට වගේම අපටත් නියමිත ශිල්පීය වටිනාකම ලැබිලා නෑ. අදටත් හැම ළමයෙක්ම දොස්තරලා ඉංජිනේරුවො වෙන්නයි උත්සාහ දරන්නේ. ඉන් වෙනස්ම වුණු පැතිකඩක් තමයි රංගනය. මම දන්නේ නෑ මුදල් නොමැති කමමද කියලා. ඒත් අපේ ශිල්පීන් අතර එකමුතුවක් බලාපොරොත්තු වෙන්නත් ටිකක් අමාරුයි. තරගකාරීත්වයක් තිබෙනවා. ආටිස්ට් වැලියු කියන එක තමන් හදා ගන්න ඕන දෙයක්. ඒත් අපට තිබෙන්නේ හරිසීමිත ප්‍රමාණයක් නිසා අපට ඒ වගේ කාළොත් ලැබෙන දේත් නැති වෙන්න පුළුවන්. අපට ලංකාවේ කර්මාන්තයක් විදිහට දියුණු නෑ. පහසුකම් ඉතා අඩුයි. ඒත් ඒ තුළ වුණත් අවම පහසුකම් ලබාගෙන හරි දායක වන්නේ. එය තනිව ගොඩ නංගන්න බැ. එය කරමාන්තයක් විදිහට හැදෙන්න ඕන. මම බෑ කිව්වත් තව දාහක් ඉන්නවා අවස්ථාව ගන්න.
ඔබ යෝජනා කරන විසඳුම කුමක්ද? ඇත්තටම විය යුත්තේ ශිල්පීන් ශ්‍රේණීගත කිරීමයි. සංගීත ක්ෂේත්‍රයේ ඔය ක්‍රමය තිබෙනවා. ඒ අයට ශිල්පීන් විදිහට අය කිරීම යන්නේ ඒ ශ්‍රේණිගත කිරීම අනුව. දිනකට ට්‍රැක් එකටයි ගෙවන්නේ. අපේ ක්ෂේත්‍රයේ එහෙම නෑ. අපේ දවසක පැය ගණන තීරණය කරන්නේ නිෂ්පාදන කණ්ඩායමයි. එය සමහරවිට සාමාන්‍ය කෙනකුගේ දවස් දෙකක් හා සමාන වන්නත් පුළුවන්. ඒ නිසා කලා ශිල්පීන්ගේ යුනියන් එකක් තිබෙන්න ඔනා වගේම ඒයට එකඟ වෙන්න අපි නිහතමානි වෙන්නත් ඕනා. ඒත් එය පටන්ගන්න කොහෙන් පුළුවන් වෙයිද මන්දා...
මෙවර සම්මාන බහුතරයක් අත් කරගත්තේ නවකයන්? මම නම් කාට හෝ සම්මාන ලැබීම ගැන ගොඩක් සතුටුයි. එය ප්‍රවීණද නවකද කියා වෙනසක් නෑ. ක්ෂේත්‍රයේ අය ඇගයීමයි වැදගත්. තරුණයන් දක්ෂයි නම් ඔවුන් සම්මානයට පාත්‍ර වීම සාධාරණයි.
වත්මන් සිනමාව පිළිබඳ ඔබේ තක්සේරුව කොහොමද?
ඇත්තටම සම්මානවලටත් වඩා තරුණ හෝ ප්‍රවීණ හැමෝටම පොදුවේ හොඳ විචාරයක් ලැබෙන්න ඕන
යන්න මම දැඩි සේ විශ්වාස කරනවා. එය රංගනය, සංගීතය, අධ්‍යක්ෂණය ආදී සියලු අංශ සඳහා
විය යුතුයි. මගේ රංගනය ගැන විචාරයක් නැත්නම් මට මගේ හොඳ නරක තෙරුම් ගන්න බැරුව
යනවා. විචාරයෙන් තමයි මට අවබෝධයයක් ලැබෙන්නේ මා ගැනම. හැම ක්ෂේත්‍රයකටම විචාරය
සම්මානයක් හා සමානයි. නැත්නම් හිතට එකඟ නොවන විදිහට තමන්ගේ සම්මානය ගැන කතා කරන්නයි
සිදු වෙන්නේ.
හැබැයි ඉතින් විචාරත් සාධාරණ වෙන්න ඕන. විචාරයට ලක් වන්නාත් මධ්‍යස්ථව ඒ ගැන හිතන්න ඕනා. මොකද යමෙකුගේ රඟපෑම ඒ නළුවාට හෝ නිළියට පමණක් නොවෙයි. එය සමාජයටම පොදුයි. වගකීම් සහගතයි. එනිසයි එහි ගුණ දොස් පෙන්වා දිය යුත්තේ.
නිළියක් විදිහට සමාජය තුළ පවතින්න අවශ්‍ය වන්නේ මොනවාද? මම ප්‍රමුඛතාව දෙන්නේ උවමනාවෙන් ජීවත් වෙන්න. ඕන කෙනෙකු සමඟ සුහදව සිටීමට. එයින් මම බොහෝ දේ ඇහිඳ ගන්නවා. ගීතයක් අහද්දි, පොතක් පතක් කියවද්දි දැනෙන චරිත මගේ රංගනයට මූලාශ්‍ර වෙලා තිබෙනවා. අද ශිල්පිනියන් සාමාන්‍ය ජීවිතේදී මේකප් කරන්න ඕනෑද කියන එකත් සමහරුන්ට ප්‍රශ්නයක්. මම හිතන විදිහට මේක්අප් කිරිමත් ෆැෂන් එකක්. නොකිරීමත් ෆැෂන් එකක්. ඒ නිසා මම ප්‍රමුඛතාව දෙන්නේ කාලයට. මම කන්නේ, අඳුම තෝරා ගන්නේ, ගමන යන විදිහ තීරණය කරන්නේ මට ඒ සඳහා තිබෙන කාලය අනුවයි. සමාජය තුළ පවතින්න අවශ්‍ය වන්නේත් හොඳ කාල කළමනාකරණයක් තමයි.
ඔබේ ඉදිරි වැඩකටයුතු එහෙම? උපාලි ගම්ලත්ගේ කළුහිම චිත්‍රපටයේ සහාය නිළියක් ලෙස සෙබලියක්ගේ චරිතයකුත්, අශෝක අතාවුදහෙට්ටිගේ මන්දාරම් චිත්‍රපටයේ සහාය නිළියක් ලෙස පිළිකා රෝගී දරුවකුගේ මවකගේ චරිතයකුත්, අශෝක හඳගමගේ අසන්තිමිත්ත චිත්‍රපටයේ තරුණියක් ලෙස සහාය චරිතයකුත් කළා. ටෙලි නාට්‍යවලින් මන්දාරම් පුර මුස්ලිම් තරුණියක් ලෙසත්, කනාමැදිරියෝ හි පීඩනයක සිටින මවක ලෙසත් චරිත නිරූපණය කරන අතර අලුත් ටෙලි නාට්‍යක් බාර ගන්න ලෑස්තියෙන් ඉන්නවා.
|





