වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




කළුහිම

කළුහිම

black snow

මෙරට විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඔවුන්ගේ පර්යේෂණ නිබන්ධයක් කිරීමට හිමාලයට යයි. පිරිස අතර සචින් හා ඔහුගේ පෙම්වතිය වන විනූ ද සිටියි. ඔවුන් හිමාලයේ අධික බෑවුම් සහිත ප්‍රදේශයක් හරහා ගමන් කරන විට ගල් කන්දක් කඩා වැටෙයි. එහිදී සචින් අතුරුදන් වෙයි. ගැමියන්ගේ උදව් ඇතිව අතුරුදන් වූවන් සෙවීමට මහත් වෙහෙසක් දරයි. එහෙත් සචින් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපහසු වෙයි. ඉතිරි පිරිස ලංකාවට ආපසු පැමිණෙති.

මේ අතර තුවාල සහිතව සිහිසුන්ව සිටි සචින්ව දර සෙවීමට පැමිණි චුන්දා නම් තරුණියකට හමු වෙයි. ඇය සචින්ව ඔසවාගෙන ඇගේ නිවසට පැමිණෙයි. නිවසේදී ඔහුට ප්‍රතිකාර කරයි. අධික ලෙස තුවාල ලබා සිටි සචින් ක්‍රමයෙන් සුව අතට පත් වෙන්නේ චුන්දාගේ හෙදකම නිසාවෙනි. අනතුර නිසා සචින්ට අතීතය අමතකව ගොස් ඇත. සචින් හා චුන්දා අතර ප්‍රේමයක් හට ගනී. ගමේ වැඩිහිටියන් එයට තදින්ම විරුද්ධ වෙයි. අනතුරුව ඔවුන් රහසේම පැන යයි. චුන්දාගේ අයියා වන අබූ ඔවුන් පසුපස හඹා එයි. අබූගෙන් බේරී පැන යාමට ඔරුවක නැඟී ගංගාවේ ගමන් කරන චුන්දා හා සචින් දිය ඇල්ලකින් පහළට වැටී අතුරුදන් වෙයි. එහිදී දිවි ගලවා ගත් චුන්දා හා සචින් ගංගාව අසල ගම්මානයක රහසිගතව ජීවත් වෙයි. චුන්දා ගැබ් ගනී. දිනක් සචින් නගරයට යයි. ඒ අවස්ථාවේ හදිසියේ ඇති වූ ගංවතුරකින් චුන්දා ජීවත් වූ නිවසත්, ගැමියනුත් විනාශයට පත් වේ. පසුව පැමිණෙන සචින් චුන්දාව සොයමින් ගමින් ගමට යයි. එතැන් පටන් සිදු වන්නේ කුමක් ද. සචින්ට චුන්දාව අහිමි යයි ද. උපාලි ගම්ලත්ගේ කළු හිම සිනමාපටයට පාදක වී ඇත්තේ එකී කතා පුවතයි.

කළුහිම රංගනයෙන් හැඩ කරන්මෝ:

අයිරාංගනී සේරසිංහ, නිරෝෂන් විජේසිංහ, සුබුද්ධි ලක්මාලි, කාවිංග පෙරේරා, සුලේඛා ජයවර්ධන, ටිරාන් වික්‍රමසූරිය, ගයනි ගිසන්තිකා, හැරී විමලසේන, ජයන්ත අමරසිංහ, කපිල ගුණතිලක, උසිත රණසිංහ, ශකිරා ගුණසේකර

කැමරා අධ්‍යක්ෂණය - පූර්ණ ජය ශ්‍රී

සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය - කපිල ගුණතිලක

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

විධායක නිෂ්පාදනය - අශ්විනි රණසිංහ

ගීපද රචනය - කුලරත්න ආරියවංශ, වෛද්‍ය ප්‍රදීප් රංගන

ගායනා - දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනි

අංග රචනය - ප්‍රේමලාල් ලියනගේ, මලික් සුදුමිත, හෙන්රි ප්‍රේමරත්න

ශබ්ද පරිපාලනය - ශෂින් ගිම්හාන්

5.1 ශබ්ද සංකලනය - කාලිංග ගිහාන්

වර්ණ ගැන්වීම - ප්‍රවීන් ජයරත්න

තිර රචනය සහ සංස්කරණය - උපාලි ගම්ලත්

නිෂ්පාදනය - නිතිඥ වජිරා රාජපක්ෂ

සටහන - ප්‍රසාද් සමරතුංග