|
|
සම්මානයක් හින්දා යාළුවන්ට පරුෂ වචන වැහි වැහැලා2016 හොඳම වේශ නිරූපණ ශිල්පී ප්‍රියංක තිලක් රත්නායක
මම හුඟක් මහන්සි වුණ නිර්මාණයක් තමයි සූම්. එය හොරර් ෆිල්ම් එකක්. ලස්සනත් එක්ක විරූපීවීම් අනන්තවත් වේෂ නිරූපනයට නඟන්න ඒ චිත්‍රපටයේ දී මට සිදු වුණා. අනෙක මේකප් කළා කියන එක එළියට පෙනෙන්නේ නැති වෙනන් මේ චිත්‍රපටයේ චරිත ගොඩනඟන්නට මට සිදුවුණා.
රෝසමලක්වන් යුවතියක් එක් සැණින් කුරිරු බිහිසුණු යකින්නක කරන්නටත් ඇඟ පුරා පිරීගිය විශාල තුවාල සහිතව ලේ පෙරාගත්තෙක් එසේත් නැතිනම් බෙල්ල කැපුණු ,අතපය වෙනුවුණු, බිහිසුණු, සුරූපී , විරූපී මේ ඕනෑම චරිතයක් රඟන නළුවෙකු නිළියක අදාළ චරිතයට සමාරූපී වන පරිද්දෙන් වෙස් ගන්වන්නට ඔහුට ගත වන්නේ එක් නිමේෂයකි. ප්‍රියංක තිලක් රත්නායක රසිකයනට එතරම් හුරුපුරුදු නමක් නොවුණත් කලා ක්ෂේත්‍රයේ කවුරුත් හඳුනන වසර ගණනක අත්දැකීම් ලද ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙකි. වසර ගණනක සිට ටෙලි නාට්‍ය, චිත්‍රපට රැසක වේෂ නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කරන ප්‍රියංක තිලක් රත්නායක පසුගිය දා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුගේ දක්ෂතාවයට, නිර්මාණශීලීත්වයට මෙන්ම කැපවීමට නිසි ඇගයීමක් ලබා දෙමින් වේශ නිරූපණය සඳහා වූ කුසලතා සම්මානයක් හිමි කරගනිමිනි. ප්‍රියංක සමඟ යෙදෙන මේ කතාබහ වෙන්වන්නේ ඒ නිමිත්තෙනි. * සරසවිය සම්මානයෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වූ කලාකරුවෙක් ඔබ? ඇත්තටම. සරසවිය සම්මානයක් හිමි වුණා කියන්නේ ඒක විශාල භාග්‍යයක්. නිර්මාණ ජීවිතයට විශාල ශක්තියක් වගේම ආලෝකයක්. සරසවිය සම්මානයක් ලැබුණා කියන්නේ ජනාධිපති සම්මානයක් ලැබුණා හා සමානයි ඉතින්. * ඒත්... එදා සරසවිය සම්මාන උළෙල ඔබට මඟ හැරුණා? ඇත්තටම එය මගේ ජීවිතයේ ඉතාම කණගාටුදායක මොහොතක්. ඒ වන විට මම 'දංකුඩ බණ්ඩා' ටෙලිනාට්‍යයේ ෂූටින්වල හිටියේ. එදාම සම්මාන උළෙලට සහභාගි වෙන්න ආවත් මම කොළඹට එනවිට රෑ දහය පහුවෙන්න ඉඩ තිබුණා. ඉතින් පොළොන්නරුවේ ඉදළා එන එක මට අපහසුවුණා. * ඔබට සම්මානයක් හිමිව ඇති බව දැනගත් මොහොතේ මොකද හිතුණේ? ගොඩක් සතුටු වුණා. ඒ මොහොතේ මම පොළොන්නරුවේ කලා නිර්මාණයකට දායක වෙමින් හිටියේ. මගේ මිතුරන්වූ ධනංජය සිරිවර්ධන, මොහාන් නියාස් ඇතුළු කිහිප දෙනෙක්ම මට සම්මාන උළෙල පැවැත්වෙන ඒ මොහොතේම කතා කරලා සුබපැතුම් එක්කළා. * ඒත් ඔබ ඔවුන් කිව් දෙය විශ්වාස කළේම නැහැ නේද? ඔව්. මම හිතුවේම නැහැ මට සම්මානයක් ඇති කියලා. මම හිතුවේ මේ අය එකතුවෙලා මට විහිළුවක් කරනවා කියලයි. එනිසා මගේ ළඟම මිතුරන් පවා මගෙන් ලුණු ඇඹුල් ඇතිව බැණුමුත් අහ ගත්තා. අන්තිමේ සරසවිය කර්තෘතුමා කතා කරලා මට සුබපතලා මගේ සම්මානය ගැන මාව දැනුම්වත් කළා. ඉන් පසුව තමයි සම්මානය ගැන මම විශ්වාස කළේ. * ඔබේ අම්මා අදටත් දුක් වෙනවා ඔබට මේ සම්මානය ලබා ගන්නට එදින ඒමට නොහැකිවීම ගැන? ඇත්තටම ඇය තමයි අද මම යම් තැනක ඉන්නවා නම් මේ ලෝකෙ වැඩියෙන්ම මා ගැන සතුටු වෙන කෙනා. ඇය තමයි මගේ පිටුපසින් ඉදමින් හැමදේටම මාව දිරිමත් කරන්නේ. අම්මා මෙය දැන ගත් මොහොතේ හරියට ඇඬුවා. ඇයට හුඟක් සතුටුයි මට සම්මානයක් හිමි වීම ගැන ඒ වගේම වේදනාවයි මට සම්මාන උළෙලට සම්මානය ගන්නට එන්නට නොහැකි වීම ගැන. මටත් හිතෙන්නේ මගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් මගෙන් මොහොතකට මඟ හැරුණා කියලයි. * ඔබට මේ සම්මානය හිමි වුණේ 'සූම්' චිත්‍රපටය වෙනුවෙන්? මම හුඟක් මහන්සි වුණ නිර්මාණයක් තමයි සූම්. එය හොරර් ෆිල්ම් එකක්. ලස්සනත් එක්ක විරූපීවීම් අනන්තවත් වේෂ නිරූපණයට නඟන්න ඒ චිත්‍රපටයේ දී මට සිදු වුණා. අනෙක මේකප් කළා කියන එක එළියට පෙනෙන්නේ නැති වෙනන් මේ චිත්‍රපටයේ චරිත ගොඩනඟන්නට මට සිදුවුණා. ඒ වෙනුවෙන් කාලය මහන්සිය හුඟක් මම වැය කළා. එයට දායක වුණු නළු නිළියන් වගේම අධ්‍යක්ෂවරයත් ආදරයෙන් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. මොකද ඒ අය මට හුඟක් උදව් වුණා. ඩිනක්ෂිව මේකප් කරන්න පැය දෙක තුනක වෙලාවක් ගන්න සිදුවුණා. * ඒ ගැනත් කතා කරමු? එක්තරා දර්ශනයක් තිබුණා. ඩිනක්ෂිව කන්දකින් පහළට පෙරළිලා ඇවිත් ගහක් අස්සේ හිර වෙනවා. එතැනදී සතෙක්ගේ අංකෑල්ලක් ඇගේ බෙල්ලේ ඇනී අනෙක් පසින් මතුවෙනවා. එය වේෂ නිරූපණයෙන් සාර්ථකව සිදුකරන්න මට හැකි වුණා. ඒ වගේ බොහොමයක් දර්ශන මේ විදිහට වේශ නිරූපණයට නගන්න සිදු වුණා. * ඔබ කලා ලෝකයට එක් වෙන්නේ කොහොමද? මම උසස් පෙළ ලිව්වේ 1999 දියි. ඉන්පස්සේ ටෙලිවීව් ආයතනයට එක්වෙලා වේෂ නිරූපණය ගැන හැදෑරුවා. ඒ 2000 වසරේ දීයි. මගේ ගුරුතුමා වුණේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන ජේ.සුරනිමල. ඔහුගෙන් ලැබූ දැනුමට මගේ දැනුමත් එක්කාසු කරගෙන අද මම ක්ෂේත්‍රයේ දිගු ගමනක් ඇවිත් තියෙනවා. දහ අට වසරක් පුරා මගේ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල මම අද භුක්ති විඳීනවා. * වේෂ නිරූපණ ශිල්පියෙක් කියන්නේ අභියෝග රැසක් මැද කටයුතු කළ යුතු කෙනෙක්? ඇත්තටම. වේෂ නිරූපණ කලාව කියන්නේ තත්පරෙන් තත්පරය වෙනස් කම්වලට ලක්වෙන කලාවක්. අද භාවිතා කරන දේ නෙමෙයි හෙට වෙනත් ශිල්ප ක්‍රම. මේ නිසා නිතරම තාක්ෂණය, ජාත්‍යන්තර මට්ටමේ කලා නිර්මාණ අපි ඇසුරු කළ යුතු වෙනවා. * ඔබ මේ වන විට දායක වෙන අනෙක් කලා කටයුතු මොනවාද? මේ වෙන කොට ටෙලි නාට්‍ය වගේම සිංහල හා ඉංග්‍රීසි චිත්‍රපට දෙවර්ගයටම මම වේෂ නිරූපණයෙන් දායක වෙනවා. ඉදිරියේ දී මම දායක වූ 'ශ්‍රී වික්‍රම' චිත්‍රපටය තිරගතවීමට නියමිතයි. * නැවතත් සම්මානයක් ගැන බලාපොරොත්තු තිබෙනවාද? නැතුව නෙමෙයි. අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් තිබෙනවා. 'ශ්‍රී වික්‍රම' චිත්‍රපටය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. මොකද අතීතයේ සිටම ඒ කියන්නේ රජ කාලෙ ඉඳලම නළුනිළියන්ව එයට ඔබින ලෙස වෙස් ගන්වන්නට සිදු වුණා. ඒ වගේම රජ කාලේ සටන් ජවනිකාත් එමටව තිබුණා. එනිසා එහි වෙස් ගැන්වීම තරමක් අභියෝගාත්මක කාර්යයක් වුණා. * ඔබගේ කුළුදුල් සිනමා සම්මානය මෙය? ඔව්. මේ වන විට සිනමා නිර්මාණ පහළොවකට වැඩි සංඛාවකට මම දායක වෙලා තිබෙනවා. මගේ වෘත්තීය අවංකභාවයට, නිර්මාණ ශක්තියට මම මගේ වෘත්තිය වෙනුවෙන් සිදු කළ අප්‍රමාණ කැපකිරීම්වලට සහ දහඩිය මහන්සියට ලැබුණූ පළමු ගෞරවණීය සම්මානය මෙය ලෙසයි මම දකින්නේ. එය මගේ නිර්මාණ ජීවිතයට හුඟක් වටිනවා. * සම්මාන උළෙලේ විනිශ්චය ගැන මොකද හිතෙන්නේ? විනිශ්චය නම් සර්ව සාධාරණයි කියලා හිතෙනවා. ඒ විදිහට සාධාරණ නොවුණා නම් මට සම්මානයක් කවදාවත් හිමි නොවෙන්න ඉඩ තිබුණා. මගේ හැකියාවට ලැබුණු සුවිශේෂී සම්මානයක් බව මේ මොහොතේ මම සිතනවා. * ඔබේ පෞද්ගලික තොරතුරුත් දැන ගන්නට කැමැතියි? මගේ ගම මහනුවර උක්ගහකුඹුර කියන සුන්දර ගම්මානය. ගමට කලාකරුවෙක් විදිහට සම්මානයක් දෝතින්ම තුරුළු කරන් අරගෙන යන සිහිනයක් මගේ හිතේ තිබුණා. අද මගේ ඒ සිහිනය හැබෑ වෙලා තිබෙනවා. මොකද මගේ ගමේ කවුරුවත් දන්නෙ නැහැ මම කොළඹ ඇවිත් මොනවා කරනවද කියලා. කලාකරුවෙක් විදිහට මම පැමිණියේ ඉතාම හෙමින් ගමනක්. ලෝකෙටම අඬබෙර ගහගෙන මේ ගමන එන්න මම කිසිවිටෙකත් උත්සාහ කළේ නැහැ. මට උවමනා වුණේ අර්ථවත් ගමනක් එන්නයි. ඒ ගමනේ මහා විශාල බලාපොරොත්තු තිබුණේ නැහැ. සම්මාන ගැන හිතකවත් තිබුණෙ නැහැ. ඒත් උත්සාහයෙන් දාඩිය මහන්සියෙන් මා ආ ගමන සාර්ථක වී තිබෙන බව හැඟෙනවා. මොකද මේ මගේ කලා ජීවිතයේ හොඳම කාලය. ඒ කාලෙදි සරසවිය ලංකාවේ දැවැන්තම සිනමා මංගල්‍යයේ සම්මානයක් මගේ ගමට ගෙන යන්න හැකි වුණා කියන්නේ එය මා ලැබූ සැබෑම වාසනාවක්. මගේ බිරිය සඳමිණී විජේසේකර ගුරුවරියක්. එකම දියණිය සිතුම්ෂා රත්නායක ඔවුන්ගෙන් මට ලැබෙන සහයෝගය විශාල ශක්තියක්. එනිසයි මා මෙතරම් දුරක් ආවේ.
|



