|
|
මේ අපේ 15 වැනි සරසවිය සම්මානය කාටද ආඩම්බර නැත්තේ?2016 වසරේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක ජගත් සුමතිපාල
34 වන සරසවිය සම්මාන උලෙළේදී 2016 වසර සඳහා ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ මිලිනා සුමතිපාල, ජගත් සුමතිපාල, තිලංග සුමතිපාල ත්‍රිත්වයේ සම නිෂ්පාදනයක් ලෙසින් තිරගත කෙරුණු පත්තිනි චිත්‍රපටයයි. 2016 වසරේ තිරගත වූ චිත්‍රපට විසිපහ අතුරින් ඒ සියල්ල අබිබවමින් එම වසරේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ හා වැඩිම අදායම් වාර්තාවක් සනිටුහන් කළ චිත්‍රපටය ලෙස ජයග්‍රහණය ලබන්නට පත්තිනි සමත් විය. ඒ නිමිත්තෙන් පත්තිනි චිත්‍රපටයේ සම නිෂ්පාදක ජගත් සුමතිපාල මහතා සමඟ කෙරෙන කතාබහකි මේ. ඔබගේ නිෂ්පාදනයක් වූ පත්තිනි මෙවර තිස් හතර වන සරසවිය සම්මාන උලෙළේ 2016 වසරේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් සම්මාන ලැබුවා. මොකද හිතෙන්නේ ඒ ගැන? සරසවිය සම්මාන උලෙළ කියන්නේ මෙරට පැරැණිතම වැදගත්ම සිනමා සම්මාන උලෙළ. එවැනි උලෙළක අපේ චිත්‍රපටයක් වෙනුවෙන් සම්මානයක් ලැබීම ගැන ඇත්තෙන්ම අපිට ලොකු ආඩම්බරයක්. සරසවිය සම්මාන උලෙළ ඔබ ඇතුළු ඔබේ චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමට සුවිශේෂී වෙනවා නොඅනුමානයි? ඒක සහතික ඇත්ත. මේ සරසවිය සම්මාන උලෙළ අපිට කීප ආකාරයකින් සුවිශේෂයි. මීට පෙර අපේ චිත්‍රපට නිෂ්පාදන කීපයක්ම සරසවිය සම්මානය දිනාගැනීම එක් කාරණයක්. තවත් පැත්තකින් අපේ කොළඹ අශෝක සිනමා ශාලාවේ තමයි 1964 දී මුල්ම සරසවිය සම්මාන උළෙල පවත් වන්නේ. ඒ පැත්තෙන් ගත්තොත් සරසවිය සම්මාන උලෙළ මුල්වරට ආරම්භ වන්නේ අපේ භූමියකදී. අපේ හදවතට මීට පෙරත් දැනිල තිබුණු ඒ සරසවිය සම්මානයේ අභිමානය මෙවරත් අපේ හදවතට සමීපවීම ඇත්තෙන්ම අපිට දැනෙන්නේ මහත් වූ ආඩම්බරයක්. ලංකාවේ සිනමා සම්මාන ඉතිහාසයේ අපිට ආඩම්බර විය හැකි මෙවැනි සම්මාන උළෙලක සම්මානයක් ලැබීම කාටද ආඩම්බර නැත්තේ? පෙරත් ඔබේ නිෂ්පාදන සරසවිය සම්මාන ලැබුවා? මුලින්ම අපි නිෂ්පාදනය කළ උන්නත් දාහයි මලත් දාහයි. අහසින් පොළවට චිත්‍රපට තිරගත වන කාලයේ සරසවිය සම්මාන උලෙළ තිබුණේ නෑ. එහෙම තිබුණා නම් අපි මුලින්ම සරසවිය සම්මානයට හිමිකම් කියන්නේ ඒ සිනමා කෘති වෙනුවෙන්. ඊට පස්සේ අපි නිෂ්පාදනය කළ ගඟ අද්දර චිත්‍රපටය වෙනුවෙන් සරසවිය සම්මාන දහයක් හිමි කර ගත්තා. නැවත අපි නිෂ්පාදනය කළ දුවට මවක මිස චිත්‍රපටය තිරගත වන කාලයේ සරසවිය සම්මාන උලෙළ පැවැත් වුණේ නැහැ. නැවතත් අපි උප්පලවන්නා චිත්‍රපටය තිරගත වන අවදියේ සරසවිය සම්මාන හතරක් මේ චිත්‍රපටයට හිමි කර ගත්තා. ඒ අනුව මෙවර අපිට ලැබුණු සම්මානයත් එක්ක සරසවිය සම්මාන 15 ක් අප සතුයි. පත්තිනි චිත්‍රපටය නිෂ්පාදනය කොපමණ ප්‍රේක්ෂක පිරිසක් නැරැඹුවා කියලද ඔබ අපේක්ෂා කරන්නේ? අපේ සංඛ්‍යා ලේඛන අනුව ලක්ෂ පහළොවකට වඩා වැඩි පිරිසක් නරඹලා අපිට මිලියන දෙසිය විස්සක මුල්‍යමය ආදායමක් ලබා දුන්නා. ඒ වගේම පත්තිනි ආරම්භක සිනමා ශාලා තිස් පහක දින සීයට වඩා අඛණ්ඩව තිරගත වෙමින් වසරේ ජනප්‍රියම චිත්‍රපටය බවට පත් වුණා. හොඳම නිෂ්පාදනය වෙනුවෙන් සම්මාන ලබන ඔබ යළිත් අදහස් කරන්නේ නැද්ද මෙවැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න? අපි හැම විටම චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ දිර්ඝ කාලයක් නිශ්ශබ්දව ඉඳලා. ඒක අපේ චිත්‍රපට නිෂ්පාදන දෙස ආපසු හැරිල බලනකොට පැහැදිලියි. මම හිතන්නේ මේ වන කොට අපි චිත්‍රපට හයක් නිෂ්පාදනය කරලා තියෙනවා. අදටත් මම චිත්‍රපට නිෂ්පාදනයක් වෙත යන්න ආසයි. ඒත් හොඳ චිත්‍රපට පිටපතක් මට තවම ලැබුණේ නැහැ. පිටපතක් ලැබුණා කියලා අපි ඒ මත්තෙම එල්බගෙන ඉන්නේ නෑ. අපේ පවුලේ සෙසු සාමාජිකයන් සමඟ කතාබහ කරලා ඒ ගැන දීර්ඝ හැදෑරීමක් කරලා තමයි කවදත් අපි චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ. ඒ දේ අදටත් වලංගුයි. තනි මතයට චිත්‍රපට කිරීමක් අපි කා තුළත් නෑ. අපේ අදහස කියනවා එච්චරයි. චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය කිරීමේ පූර්ණ නිදහස අධ්‍යක්ෂවරයා සතුයි. අපි කරන්නේ චිත්‍රපටයේ මූල්‍ය කලමනාකරණය කරන එක විතරයි. ඔබ ක්‍රියාකාරි ලෙසින් සිනමා කෘති හා අත්වැල් බැඳ ගත්තේ කොයි කාලයේ විතරද?
ගඟ අද්දර චිත්‍රපටය කරන කාලයේ මට අවුරුදු දහනමයයි. මම තමයි මගේ මෑණියන්ට ඒ පොත
හොයලා ඒ කෘතිය චිත්‍රපටයක් කරන්න එහි මුද්‍රණකරුවන්ගෙන්, ඒ පොත ලියූ ලැටීෂියා
බොතේජු මහත්මියගෙන් අවසර ලබාගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම කරලා දුන්නේ. මට මතක හැටියට
ඒ කාලයේ මම උසස් පෙළ ලියලා ඉන්න අවධිය. ඊට පස්සේ අම්මා මොන චිත්‍රපටය කරන්න හැදුවත්
එයා පිටුපස්සේ සෙවණැල්ල වුණේ මම.
සාර්ථක චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස ඔබ පැමිණ තිබෙන මේ ගමන් මඟ තුළ ඒ ගමනේ රහස මොකක්ද? මුලින්ම අපි කළ යුත්තේ ප්‍රේක්ෂකයා හඳුනා ගැනීම. ප්‍රේක්ෂකයෙක් සිනමා ශාලාවකට යන්නේ මුදලක් වැය කරන්නේ හොඳ වින්දනයක් අපේක්ෂාවෙන්. අපි නිෂ්පාදකයෝ හැටියට ඔවුන්ට හොඳ වින්දනයක් දෙනවා නම් ප්‍රේක්ෂකයෝ අපි ළඟට එයි. අපි සිනමා කෘතියක් කරලා ඒක මහජනයාට දෙන්න නම් ඔවුන් අතරට අපි යන්න ඕනෑ. මෙන්න මේ යන ගමන තමයි දුෂ්කර. ඒ ගමනට අද විශාල පිරිවැයක් ඕනෑ. ප්‍රචාරන මාධ්‍ය ශක්තිමත් නම් අපිට ජනතා හදවත් දිනාගැනීම ගැටලුවක් නෑ. කලාත්මක වගේම ජනතාවට විඳින්න පුළුවන් හරවත් නිර්මාණ බිහි කරනවා නම් ඒ නිර්මාණය විඳින්න පේ‍්‍රක්ෂකයෝ වැල නොකැඩී එනවා. ඒක තමයි මගේ අත්දැකීම. චිත්‍රපටයක් වුණාම ජනතා රුචිකත්වය හැම පැත්තෙන්ම ඇද බැඳ ගන්න සමත් වෙන්න ඕනෑ. ඒක තමයි ප්‍රධාන. ප්‍රබල ප්‍රචාරයක් නොමැතිව අද චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම ප්‍රශ්නයක් නේද? අධ්‍යක්ෂණය හොඳ වුණාට, රූප රචනය හොඳ වුණාට, නිෂ්පාදනය හොඳ වුණාට, තිර රචනය හොඳ වුණාට චිත්‍රපට අසාර්ථක වුණු අවස්ථා ඕනෑ තරම්. මේ කොයි දේ හොඳ වුණත් වැඩක් නැහැ ප්‍රචාරණය නැත්නම්. චිත්‍රපටයක් හදන්න යන මුදලට සාපේක්ෂව ප්‍රචාරයටත් අද මුදල් ඕනෑ. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරය මෙහිදී විශේෂයි. එහෙම වුණොත් තමයි අද සිනමා කෘතියක් කරලා ලාබ ලබන්න පුළුවන්. සම්මාන ලබන්න චිත්‍රපට තනන්න දිරි ගැන්වීම් තියෙනවා නම් ඔබත් මේ කර්මාන්තයේම ඉදිරියට රැඳෙනවද? මම විතරක් නෙමෙයි ඕනෑ තරම් ආයෝජකයින් එයි සිනමා ශාලා හදන්න, චිත්‍රපට තනන්න. ඒත් අද වෙන කොට රජය මඟින් එවැනි සහන කපා හැරලා. අද චිත්‍රපට ශාලාවක් හදන්න සහනාධාර වැඩ පිළිවෙළක් රජය ක්‍රියාවට නැංවුවොත් කී දෙනෙක් අද තමන්ගේ තියෙන පරණ හෝල් ටික අලුත්වැඩියා කරලා නවීන තාක්ෂණය ඇතුළත් හෝල් ටිකක් හදයිද. රජයකට එක ප්‍රවේශ පත්‍රයකින් කොපමණ බදු මුදලක් අයිති වෙනවාද? ඒත් එවැනි බදු මුදලක් අයිති වුණාට කර්මාන්තයේ උන්නතියට එයින් ලැබෙන්නේ කොතරම් අඩු වටිනාකමක්ද? ඔබේ ඊළඟ සිනමා නිෂ්පාදනය කොයි වගේ ඉසවුවක් වෙනුවෙන්ද? මම නව ආරක සිනමාවක් තමයි අපේක්ෂා කරන්නේ. තාරුණ්‍ය වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න තමයි මගේ අධිෂ්ඨානය. ඒක කොහොමත් විශාල මුදලක් වැය කරන මෙගා මූවි එකක්. |




