වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානය ක බර දරාගන්නේ කෙසේද

සම්මානය ක බර දරාගන්නේ කෙසේද

Samanali Fonseka

සරසවිය සිනමා සම්මාන උලෙළේ 2017 සඳහා හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ සමනලී ෆොන්සේකාය. මේ සිනමාව පිළිබඳ ඇය අපට කී කතාවයි.

‘ප්‍රේමය නම්’ චිත්‍රපටය ගැන දැන් හිතෙන්නේ කොහොමද?

මේ චිත්‍රපටයට මා යොමු කළේ ප්‍රසන්න විතානගේ මහත්මයා. ඊට පස්සේ ඔඩිෂන් එකකට පෙනී ඉඳලා තමයි මාව තෝරා ගත්තේ. අපි නිකම්ම රඟපෑවේ නෑ. හොඳට පුහුණුවීම් කළා. ඒ වගේම සියලු දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම අධ්‍යක්ෂවරයා, කැමරා ශීල්පීන් වගේම ශ්‍යාම් අය්යාගෙන්. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සම්මානය ලැබුණේ කියලයි අද හිතෙන්නේ.

සරසවිය සම්මාන උලෙළ ඔබට විශේෂයිද?

මට 2008 වසරෙ සරසවිය උලෙළේ හාට් එෆ් එම් සඳහා හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය ලැබුණා. එදා මම ලංකාවේ හිටියේ නෑ. ඒ නිසා මෙවර සම්මානය මගේ අතින් ගත් පළමු වතාව බවට පත් වෙනවා. ඒ නිසා සතුටක් තිබෙනවා.

ඔබ මෝටර්බයිසිකල් සඳහාත් එකම සම්මානයට නිර්දේශ වනවා?

ඔව්. හැබැයි මෝටර්බයිසිකල් කෘතියේ මම කරන්නේ අවුරුදු 16-17 වයසේ තරුණියකගේ චරිතයක්. ප්‍රේමය නම් කෘතියේ මගේ වයස අවුරුදු 30-35 වගේ මුහුකුරා ගිය වයසක්. ඉතින් මම ඒ නිර්මාණ දෙකේදීම මගේ උපරිමයෙන් කළ යුතු සාධාරණය ඉෂ්ඨ කරන්න උත්සාහ කළා. අවසාන තීරණය විනිශ්චය මණ්ඩලයෙනේ.

මෙවර සම්මාන බහුතරයක් ලැබුණේ තරුණ නිර්මාණකරුවන්ට?

ඒක හොඳ ප්‍රවණතාවක්. සම්මානයට, සම්මාන උලෙළට වටිනාකමක් ලැබෙන්නේත් හොඳ වැඩ ටිකක් කෙරෙන කොට ඒ දේවල් ඇගයීමෙන්, සම්මාන ලබා දීම මඟින් කියලයි මම විශ්වාස කරන්නේ.

ඒ කියන්නේ ප්‍රවීණයන්ගේ වැඩ හොඳ මදිද?

නෑ... අපි දන්නවා ධර්මසේන පතිරාජ වැනි අයගේ නිර්මාණත් මේ අතර තිබුණා. ඒවා එහෙම අඩු කුලයට දාන්න පුළුවන් ඒවා නෙවෙයි. හැබැයි චිත්‍රපට භාෂාව වෙනස් වෙනවා. යාවත්කාලීන වනවා. තරුණ සාරය මේ අලුත් සිනමා භාෂාව හඳුනා ගන්නවා. ඒ අනුවයි ඔවුන්ගේ නිර්මාණ ආකර්ෂණීය වන්නේ. හැබැයි ප්‍රවීණයන්ටත් ඔවුන්ගේ තරුණ කාලයේ එහෙම යුගයක් තිබුණා.

නිළියක් ලෙස අලුත් සිනමා තාක්ෂණය පිළිබඳ ඔබේ හැඟීම කුමක්ද?

ඩිජිටල්කරණය වීම අපට පහසුවක් තමයි. හැබැයි මිලි මීටර 35ටත් දැන් ඒ පහසුකම් නොතිබෙනවා නොවෙයි. ඒත් පරණ ක්‍රමයට නම් අපට ලේසියෙන් වැරැද්දක් කරන්න බෑ. මොකද එය විශාල වියදමක් පිළිබඳ ප්‍රශ්නයක් නිසා. මොනවා වුණත් බොහෝ සිනමාකරුවන් අතර අලුත් ක්‍රමයේ දර්ශනවල ගැඹුර පිළිබඳ යම් යම් මතවාද තිබෙනවා.

අපේ සිනමා කර්මාන්තය අද පවතින තත්ත්වය ගැන මොකද හිතන්නේ?

සිනමාව ඒ ඒ කාලවල විවිධඅයුරින් තිබුණා. ඒත් පසුගිය කාලයේ රජ කතා, ඉතිහාස කතා, විකට චිත්‍රපට වගේ දේවල් තමයි දක්නට ලැබුණේ. ඒ අතර හැමදාම තරුණ වන ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් කීපදෙනකුත් ඉන්නවා. ඒ නිසා බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. රජය කෙතරම් මේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් පෙනී සිටිනවාද ආදිය ගැන නොහිතා වැඩ කරන පිරිසක් සිටීම ගැන සතුටක් මිශ්‍ර සුබවාදී හැඟීමක් තිබෙනවා.

නව තාක්ෂණයත් සමඟ නිර්මාණකරණයේ ගුණාත්මකභාවයට යම් තර්ජනයක් එල්ල වී තිබෙනවා යැයි මම කීවොත්?

අද ලෝකය වෙනස් වීගෙන යන්නේ. සිනමාවේත් ප්‍රේක්ෂකයන් කොයි තරම් දුරට රැඳේද කියන එක නොදන්න නිසයි ඩීවීඩී ආදිය මඟින් හෝ ඔවුන් රඳවා ගන්න උත්සාහ කරන්නේ. මොන ක්‍රමයෙන් ආවත් අවසානයේ වැදගත් වන්නේ නිර්මාණය කෙතරම් දුරට සමාජයට බලපෑමක් එල්ල කරනවාද? සමාජයේ රසාස්වාදනය එමඟින් වැඩි කරගන්නේ කෙසේද යන්නයි. දැන් අපේ අල්ල මතට පැමිණ තිබෙන තාක්ෂණය දන්නා අයට එයින් මානව වර්ගයාගේ යහපතට යමක් සපයන එකේ වැරැද්දක් නෑ.

ඔබ කියන්නේ වර්තමානයේ චිත්‍රපටවලින් සමාජයේ මතවාදී වෙනසක් ඇති කළ හැකියි කියලාද?

ඔව්. කලාව සාහිත්‍යය රස විඳීනවා කියන්නෙම සමාජය වෙනස් කරන ක්‍රියාවලියක්. හැබැයි ඒ කොයි විදිහටද කියන එකයි ප්‍රශ්නේ. සමහර ටෙලි නාට්‍ය ආදියෙන් මුළු පරපුරකම චින්තනය විනාශ කරන්න පුළුවන් නම් එය අනෙක් අතටත් කළ හැකි විය යුතුයි.

සරසවියෙන් ලැබුණු හොඳම නිළිය සම්මානය හිතට බරක් ද?

සම්මානයක් ලැබුණත් නැතත් චරිතයක් ලැබුණු හැම මොහොතකම මගේ හිතට ඒ බර දැනුණා. එය දරාගන්නේ කොහොමද කියන එකයි මගේ වගකීම වන්නේ.