වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් අත්‍යාවශ්‍යයි

සිනමා කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් අත්‍යාවශ්‍යයි

Best Director 2017 Prasanna Jayakody

මනුෂ්‍ය ස්වභාවයේ මතුපිට විවිධතාත් අභ්‍යන්තර සංකීර්ණතාත් පරිපූර්ණ අනුභූතියක් බවට පත් කිරීම සඳහා සිනමා භාෂාවේ ශක්‍යතාවන් මැනවින් භාවිත කිරීමත් අනුශාංගික අංශ නිර්මාණයේ ඒකමිතිය හා අර්ථ සම්මාපදනය සුරැකෙන හා තීව්ර වන ආකාරයෙන් මෙහෙයවීමත් හේතුවෙන් 2017 වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමෙන්නේ ප්‍රසන්න ජයකොඩිටය.

සරසවිය සම්මානයක් ලැබීම ඔබට දැනෙන්නේ කොහොමද?

මට එය බොහොම විශේෂයි. මොකද මගේ තුන්වැනි චිත්‍රපටයට තමයි සරසවිය සම්මානයක් ලැබෙන්නේ. පළමුවැනි චිත්‍රපටය වන සංකාරා සහ දෙවැනි චිත්‍රපටය වන කර්ම කළ කාලය පුරාම උලෙළ පැවැත්වුණේ නෑ. ඉතිහාසය පුරා අපි පිළිගත්ත චිත්‍රපට උලෙළක් මෙය. ප්‍රවීණයන්ගේ නිවෙස්වල මේ සම්මානය ගෞරවණීයව තිබෙන හැටි දැකලා තිබෙනවා. ඒ නිසා මෙය සතුටක් පමණක් නොවේ ගෞරවයක් වගේම සම්මානයත් හරි බරයි.

ඔබ කියන්නේ භෞතික බර ගැන විතරද?

මම කීවේ ඒ බර ගැන වුණාට සම්මානයක් කියන්නේ ඇත්තෙන්ම හිතටත් විශාල බරක්. මොකද මෙය උලෙළ අතර තවත් උලෙළක් හැටියට සමහරු සලකන්න පුළුවන්. ඒත් ඉතිහාසයේ අපේ ප්‍රවීණ ශිල්පීන් ඇගයූ මතකය අතරේ මේ සම්මානය ලැබීම කියන්නේ ප්‍රවීණයන් ගොන්නට අපිත් අයිති වුණා කියලා විශ්වාසයක් ඇතිවනවා. එය තමයි සම්මානයේ ඇත්ත බර.

ඒ කියන්නේ සම්මාන ලාභීන් යම් ප්‍රමිතියක් පවත්වා ගත යුතු බව නොකියා කීමක්ද?

ඕනෑම සම්මාන උලෙළක සියයට සියයක් සියල්ල ප්‍රමිතිගත වනවා කියා මම හිතන්නේ නෑ. මට සම්මානයක් ලැබුණු පමණින් හොඳ පමණක් දකින්නෙත් නෑ, මොකද ඕනෑම ජූරියක යම් මතවාදයක් තිබෙන්න පුළුවන්. ඒ මතයට අපි ගරු කළ යුතුයි. ඒ මතවාදය සහ අපේ මතය අතර පරස්පරයන් දෙක තුනක් තිබෙන්න පුළුවන්. එය ලෝකෙ කොහෙත් එකයි. ඒත් සමස්තයක් වශයෙන් ගත්තාම මේ උලෙළේ සම්මාන බහුතරයක් ගැන සතුටට පත් වෙනවා.

ඔබ කතාකරන්නේ යමක් හිතේ තබාගෙන?

ඇත්තම කීවොත් මගේ සම්මානයට සාපේක්ෂව මට හිතෙන්නේ ඒ ඇගයීම සම්පූර්ණ වන්නේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට ලැබුණා නම් කියලායි. එයින් මම අනෙක් ශිල්පියා අවතක්සේරුවට පත් කරනවා නොවෙයි. මගේ පිටපත, අධ්‍යක්ෂණය හොඳ නම්, හොඳම චිත්‍රපටයත් වුණා නම් මම කළ ඒ අධ්‍යක්ෂණය අනුව නිර්දේශ වූ ප්‍රධාන නළුවාගේ රංගනය, විශේෂයෙන් මේ චිත්‍රපටයේ අනෙක් චරිතවලට වඩා සුවිශේෂ වූවක් නිසාත්, එය මෙරට රංගනය පිළිබඳ අධ්‍යයනය සඳහා පවා සුදුසු නිදර්ශනයක් මට්ටමට ඉදිරිපත් කළ නිසාත්, ඇගයීමට ලක් වන්න තිබුණා. මොකද ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් උලෙළේ සම්මානයට පාත්‍ර වන්නේ ඒ වසරේ ලෝකයේ හොඳම චිත්‍රපට ලෙස හඳුනාගත් කෘති. එහිදී නිර්දේශ වුණේ මගේ පිටපත සහ මහේන්ද්‍රගේ රංගනය. ඔහු දෙවැනි වුණේ එවර කාන්ස් උලෙළේ සම්මානයට පාත්‍ර වූ නළුවාටයි. ඒ නිසා මට යම් බලාපොරොත්තුවක් ඔහු ගැන තිබුණා මිස මෙය ජූරියට කරන අභියෝගයක් කියා නම් හිතන්න එපා.

ඔබට මේ උලෙළේ සංවිධානය පිළිබඳ ගැටලුවක් තිබෙනවාද?

නෑ. මේ උලෙළේ සංවිධාන කටයුතුවලදී සම්මානවලට කිසිදු බලපෑමක් නොවුණ බවට විශ්වාසයක් කලාකරුවන් අතර තිබෙනවා. ඒ වගේම ඓතිහාසික වටිනාකමට ගරුත්වයක් ඇති වන ආකාරයේ ආකෘතියක් තිබුණා. වසර දෙකක සම්මාන පිදීමත් විශිෂ්ටයි. රජයේ සම්මාන උලෙළකටත් වඩා හොඳීන් කෙරුණා කියා වෙලාවකට හිතෙනවා.

මෙවර තරුණ පිරිසට සම්මාන රැසක් ලැබීම පිළිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද?

ඔතන ප්‍රශ්නයක් තිබෙනවා. (සිනාසී) දැන් තරුණයන් කියා හිතා ඉන්න අය ගණයට තමයි මාවත් අයිති වෙලා තිබෙන්නේ. සමහර විට පිටපත ලියාගෙන අවුරුදු දහය පහළොව හිටිය තරුණයන් චිත්‍රපටය කරද්දී අපේ වයසට ඇවිත්. මම මගේ පළමුවැනි කෘතිය කළේ අවුරුදු 36දි. ඒත් තාමත් මා හඳුන්වන්නේ යොවුන් අධ්‍යක්ෂ කියලා. ඉතින් තරුණයන් යම් යම් අවස්ථාවලදී ප්‍රවීණයන් අතික්‍රමණය කරනවා. එහිදී සම්මාන ලැබීම ගැන පුදුම විය යුතු නෑ. සමහර විට සමහර ශිල්පීන්ගේ දක්ෂතා ඉදිරිපත් කළත් තවම තිරගත වෙලා නැතුව ඇති. එය මේ රටේ තිබෙන ලොකු ප්‍රශ්නයක්.

මොකක්ද ප්‍රශ්නයට හේතුව?

තාම අපේ මිනුම්දඬු තිබෙන්නේ 70 දශකයෙන් එපිට. තවම මේ 2018ට ගැළපෙන තාරුණ්‍යයේ අදහස් වෙනුවෙන් රට පෙළ ගැසිලා නෑ. 1990න් පස්සේ ඉපදුණු පිරිස තමයි සියයට පනහක් පමණ රටේ සක්‍රීය පිරිස හැටියට ඉන්නේ. ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ තැකීම රටක් ලෙස මදි. එනිසා සමස්ත සමාජය ඔවුන් සමඟ කරන ගනුදෙනුව ගැන, ඔවුන්ට අවස්ථාව දීම පිළිබඳ මීට වඩා සිතිය යුතුයි.

මෙතැනදී තවත් චෝදනාවක් එල්ල වනවා නේද වර්තමානයේ බහුතර අධ්‍යක්ෂවරුන් විදේශ සම්මාන අරභයා චිත්‍රපට තනන බවට?

මම 'සංකාරා' කරද්දි විදේශ සම්මාන උලෙළකට චිත්‍රපටයක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලාවත් දැනගෙන හිටියේ නෑ. එතකොට ඒ චිත්‍රපටය හැදුණේ විදෙස් සම්මාන බලාගෙන නෙවෙයි. හැබැයි 'කර්ම' නිපදවද්දි මම සංකාරා සමඟ ලෝකෙ පුරා ගිය නිසා පොඩි අදහසක් තිබුණා මගේ නිර්මාණාත්මක වටිනාකම අන්තර්ජාතික මට්ටමට ගෙන යා යුතුයි කියලා. හැබැයි එයට මට ලොකුවට විදේශ සම්මාන ලැබුණෙ නෑ. 28 මම කිසිසේත්ම උලෙළකදි සම්මාන ලබයි කියලා හිතූ චිත්‍රපටයක් නොවෙයි.

මොකද මෙය ලංකාවේ සංස්කෘතියටම ආවේනික, යුරෝපයට කිසිසේත් මැජික් එකක් නොවුණ වස්තුබීජයක්. යුරෝපය සමහර විට හිතුවේ මෙය අභව්‍ය දෙයක් කියලා. සමහර දෙබස් කොයි විදිහට පරිවර්තනය කළත් සමහර රටවලට තේරෙන්නේ නෑ. ඒවායේ තිබෙන්නේ අපටම ආවේණික දේවල්. කතාව බොහොම සංස්කෘතිකයි. ඒත් පිටපතට හා අධ්‍යක්ෂණයට සම්මාන ලැබුණා. හැබැයි එක දෙයක් කිව යුතුයි. යම් පුද්ගලයකුගේ වටිනාකම අන්තර්ජාතික තලයට ගියාම ඔහු ඒ මට්ටමේ සිට හිතන්න පටන් ගන්නවා. එය ඔහුගේ වරදක් නොවේ. එය සාමාන්‍ය බව බාර නොගැනීම රටේ වරදක් මිස නිර්මාණකරුවාගේ වරදක් නොවෙයි.

හැබැයි මෙහෙම දේකුත් තිබෙනවා. ඕනෑම රටක පීඩිත පන්තියක් ගැන කතා කරද්දි ලොකේ අවධානය එයට වැඩියෙන් යොමු වෙනවා. ඒ නිසා සමහර නිර්මාණ විවිධ ව්‍යාපෘති අරමුණු කරගෙන කරන බවට කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් මගේ චිත්‍රපට තුනම අපේ සංස්කෘතිය පිළිබඳ මිස විදෙස් සම්මාන අරභයා නොවේ කියා පැහැදිලිව පෙනෙනවා.

අධ්‍යක්ෂවරයකු ලෙස ඔබ වර්තමාන සිනමා කර්මාන්තයේ මුහුණ දෙන අභියෝග මොනවාද?

එය හිතාගන්න බැරි තරම් දෙයක්. නිර්මාණකරුවකුට මීටත් වඩා විය හැකි වෙනත් අර්බුදයක් නෑ කියලයි මට හිතෙන්නේ. අපි මොන තරම් සම්මානයට පාත්‍ර වී සිටියත්, චිත්‍රපටයක් කෙසේ හෝ නිර්මාණය කර ගත්තත්, ඊළඟ චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගන්නේ කෙසේද කියා විශ්වාසයක් නැති මහා ගැටලුවේ අපි ඉන්නේ. 28ත් ප්‍රදර්ශන පෝලිමේ අවුරුදු හතරහමාරක් හිටියා. පෝලිමට දාගන්න බැරුව අවුරුද්දක් හිටියා. වාණිජ මට්ටමේ සිනමා කියලා හිතලා අනෙක්වාට අවස්ථාව දුන්නා කියලා හිතමු. ඒත් අන්තිමට ඒ අරමුණ ඉටු වුණෙත් නෑනේ. මගේ චිත්‍රපටය පස්සට දැමූ කාලය අතර පෙන් වූ චිත්‍රපට ආදායම් වාර්තා තැබූ ඒවාත් නොවේ. ඒ පැත්තෙනුත් අසාර්ථකයි. ඉතින් කලාත්මක අතින් හෝ වාණිජ අතින් සාර්ථක නැති ඒවාට අවස්ථාව දී එක් අතකින් හෝ සාර්ථක නිර්මාණ පස්සට දැමීම ප්‍රශ්නයක්.

කවුද මේකට වගකියන්න ඕනේ? මොකක්ද ඔබ හිතන පිළියම?

පාර්ශ්ව කීපයක් තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව, ශාලා හිමියන්, ප්‍රදර්ශන මණ්ඩල. මේ සියල්ලේ අවසානය තමයි නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිව අත්තනෝමතික අයුරින් කටයුතු සිදු වීම. ඒ මත අනාගතයක් ගැන හිතන්න බෑ. ඒ නිසා සිනමා කර්මාන්තය ගොඩ ගන්න නම් ජාතික ප්‍රතිපත්තියක් ඇති විය යුතුමයි.

ඒ හැර වෙනත් අභියෝග නැද්ද?

මට වස්තු බීජ හිඟයක් නෑ. තිර පිටපත මම ලියන නිසා අර්බුදයක් ඇති වන්නේ නෑ. හැබැයි නිෂ්පාදකයන් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කිරීම අභියෝගයක්. 28 වෙනුවෙන් අර්ථපතීන් 15දෙනකු හිටියා. මොකද අපට බොරු කියලා නිෂ්පාදකයන් රවටන්න බැරි නිසා.

මෙයට හේතුව ප්‍රේක්ෂකාගාරයේ බෙදීමද?

මම දකින විදිහට පස් වැනි මණ්ඩලයේ චිත්‍රපට සඳහා සමාජයේ හැදුණා වෙනම පිරිසක්. නිකම්ම බලා ඉන්න චිත්‍රපට සහ කලාත්මක කෙසේ වෙතත් අඩුගානේ අවබෝධ කර ගත යුතු චිත්‍රපට ලෙස වර්ග දෙකක් තිබීම හා ඒ ගණයේ චිත්‍රපට බැලීමත් සමාජයේ එක්තරා වැදගත් කටයුත්තක් කියන මට්ටමේ සිතිවිල්ලක් වගේම ඒවා බලන පිරිස යමක් කමක් දැන උගත්තෝ වශයෙන් පෙනී සිටින්න කැමැත්තෙන් හිටියා. ඒ අවස්ථාව වගේම බහුතරයක් රසිකයන් ගෞරවණීය ලෙස ශාලාවට කැඳවා ගැනීම කියන කරුණු දෙකම දැන් නැති වෙලා නිසා තමයි සිනමා ශාලාව අතහරින්න රසිකයන් තීරණය කර තිබෙන්නේ. හැබැයි මෙය ලෝකේ බහුතරයක් රටවල තිබෙන ප්‍රවණතාවක්.

පසුගිය සමයේ රටේ තිබුණු ත්‍රස්තවාදී ප්‍රශ්නය මෙයට බලපෑවාද?

රටක මතය පාලනය හා දේශපාලන මතිමතාන්තර අනුව මිනිස්සුන්ගේ ස්වභාවය වෙනස් වෙනවා. ඇත්තෙන්ම රටකට වටින්නේ බුද්ධිමය මිනිසුන් තැනීමයි. ඒත් පාලකයින්ට එවැනි පිරිසක් තැනීමට අවශ්‍ය නෑ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙදි වුණත් විභාග අරමුණු මිස බුද්ධිය මෙහෙයවා පිළිතුරු ලියන මට්ටම දැන් නෑ. ඉතින් අවුරුදු තිහක් පමණ පරම්පරා දෙකකට විතර අතහැරුණු ඒ යුගය අපි ආපසු පටන් ගන්න හදන්නේ හැත්තෑ ගණන්වලින්. අපේ ශාලා, අපේ ප්‍රචාරණ ක්‍රම, විචාරය තාමත් ඒ කාලේ. අර මඟහැරුණු පරම්පරා දෙකට ලංකාවේ සිනමාව අහු වුණේ නෑ. ඔවුන් අන්තර්ජාලය සමඟයි සිනමාව අත්දකින්නේ. හොලිවුඩයේ සිටින යාන්ත්‍රික වීර කාව්‍ය මුළු ලෝකෙම තරුණ පරපුර ගිලගෙන තිබෙනවා. එය ව්‍යාපාරයක්. චිත්‍රපටයට කලින් ලෝකේ පුරාම හාහුවක් ඇති කරනවා පොත එවලා, හදපු හැටි, ඇනිමේෂන් ගැන කියලා. එය බලන්න ලෝකෙම පෙළ ගැසෙනවා. මේ වෙළෙඳ ක්‍රමය තුළ අපි ඉන්නේ බොහොම පහළින්. අඩු ගානේ අපේ හැත්තෑ ගණන්වල ප්‍රවර්ධන ක්‍රමවලින් අල්පමාත්‍රයක් වත් නෑ. එදා ගාමිණි, මාලනී, විජය, ජෝ වගේ වීරයන් කාමරවල, පොකට් කැලැන්ඩර්වල, පොත් පිටකවරවල, බාබර්සාප්පුවල තිබුණා. ඒ වීරයන් බලන්න මිනිස්සු ඇදුණා. දැන් ෆේස්බුක්වල තමන්ට වඩා වීරයෙක් නෑ. ඒ නිසයි අලුත් වීරයන් බවට පණ තිබෙන මිනිසුන්ට වඩා රොබෝවරු පත් කර තිබෙන්නේ.

ඒත් ආදායම් වාර්තා තැබූ චිත්‍රපටත් තිබෙනවා?

චිත්‍රපට කියන්නේ කතා කීමේ කලාවනේ... ඇත්තෙන්ම කලාත්මක චිත්‍රපටයක් අවබෝධ කර ගන්න චිත්‍රපට සංස්කෘතියට ඇබ්බැහිවෙලා සිනමා භාෂාව හඳුනාගෙන සිටිය යුතුයි. ඒත් පහුගිය කාලේ අපි දැක්කා හැත්තෑ ගණන්වල හැදෙන්න ඕන චිත්‍රපට දෙදාහ යුගයේ හැදුණා. ඒ රජ කතන්දරවල පූර්විකාව ජනතාව දන්නවා. ඒ නිසා මොළයට වෙහෙසක් නැතිව කතාව තේරුම් ගන්න පුළුවන්. එය නළුවන් කරන්නේ කොහොමද කියන එක බලන්න තමයි පිරිස ඇදෙන්නේ. හොලිවුඩ්වලත් සමහර විට එකම කතාව, එකම රූප රාමුව ඒත් ඊළඟ චිත්‍රපටයේ නළුවා කොහොමද එය කරන්නේ කියලා බලන්න මිනිස්සු කැමතියි. ඒ තමයි සරල වින්දනය. ඒ නිසා කලාත්මක නිර්මාණයක් සමග ලොකේ සමඟ හැප්පෙන්න ලේසි නෑ. ඇත්තෙන්ම රජයක් වුණත් කළ යුත්තේ මිනිසුන්ගේ පීඩනය මුදා හරින්න රජය පිළිබඳ විවේචනය කරන්න ඉඩ දීමයි. එය ඇත්තෙන්ම රජයකට වාසියක්. යාපනයේ උලෙළක මම දැක්කා පොලිසිය දැඩි ලෙස විවේචනය කරන චිත්‍රපටයක් එය ආණ්ඩුවෙන්ම ඔස්කාවලට ඉදිරිපත් කරනවා. එවිට ලෝකේ හිතනවා ආණ්ඩුව මේ කරුණු පිළිබඳ ප්‍රගතිශීලීව හිතනවා කියලා. ඉතින් ගේම් සහ ඩීල් ගැන කතා මානුෂීය දේට වඩා මිනිසුන් විඳීනවා.

මේ සියල්ල අවබෝධ කරගෙන සිටින නිසා ඔබ එහෙම නිර්මාණයකට යන්න අදහසක් තිබෙනවාද?

ඒ මොනවා අවබෝධ වුණත්, නිර්මාණකරුවකු හැටියට මට මතවාදයක්, ප්‍රකාශනයක් තිබෙනවානේ... එයට පිටින් බලෙන් යමක් හැදුවොත් ව්‍යාජ වෙනවා. ඒ නිසා නිර්මාණයට අවංක නොවී මාත් ගේම් එකක් කළොත් එය ගේම් එකක් මිස මම නෙවේ කියලා පේනවා. ඒ නිසා කොච්චර උත්සාහ කළත් ආයෙත් අපි නොදැනීම යන්නේ අපි කැමති තැනටමයි.