වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




ශිල්පීය වටිනාකමක් අපට නෑ

ශිල්පීය වටිනාකමක් අපට නෑ

Dasun Pathirana

දසුන් පතිරණ මෙවර සරසවිය සම්මාන උලෙළේ 2017 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ඒ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙනි. චිත්‍රපටය පිළිබඳවත්, වර්තමාන සිනමාව හා සිනමා කර්මාන්තය පිළිබඳවත් දසුන්ගේ අදහස් මෙසේ විය.

මෝටර් බයිසිකල් ගැන මොකද හිතන්නේ?

එක එක දේවල් හිතෙනවා. ඒ ඔක්කෝටම වඩා අපි ඒ තරම් ජනප්‍රිය නළුවන් නොවුණ කාලෙක අපි ගැන තියපු විශ්වාසය ගැන ලොකු සතුටක් තිබෙනවා.

සරසවිය සම්මානය?

සරසවිය සම්මාන උලෙළ කියන්නේ අපි පොඩි කාලෙ ඉඳන් ආසාවෙන් බලා හිටිය උලෙළක්. ඒ නිසා එවැනි සම්මානයක් ලැබීම මහා සතුටක්. හැබැයි සම්මානෙ අරන් ගෙදර ගියාම තමයි ප්‍රශ්නෙ මතු වෙන්නේ.

ඒ මොකක්ද?

සම්මානෙ අරන් කොන්ද පණ තියෙන මිනිහෙක් වගේ ගෙදර යන්න බෑ. මොකද අපිට ආර්ටිස්ට්ස් වැලියු එකක් නැති නිසා.

ඔබ කියන්නේ සම්මානය සමඟ මුල්‍ය ත්‍යාගයකුත් ලැබුණා නම් හොඳයි කියලාද?

ඒක විතරක් නෙවෙයි. තව අවුරුදු විස්සකින් විතර මොකද වෙන්නේ කියලා හිතන්නකො. අපිට වෙන්නේ අපි දිනපු සම්මාන දිහා බලාගෙන දුක්විඳලා මැරෙන්න. මනුස්සයකුට සම්මානෙත් එක්ක සතුටින් ජීවිත කාලෙම ගෙවන්න පුළුවන් ආර්ථික, දේශපාලනික, මාධ්‍ය වටපිටාවක් හැදෙන්න ඕනා. සම්මානේ අතේ අරන් බස් එකේ යන තත්ත්වයක් අපට අද උදා වෙලා තිබෙන්නේ. මාධ්‍යයයි, ව්‍යාපාරිකයොයි හැම තැනම රිංගලා මේ ක්ෂේත්‍රය විනාශ කරලා තියෙන්නේ.

ඔබේ කතාව ඇහුවාම මට ගාමිණි ෆොන්සේකා මහත්මයා නළු නිළියන්ට කියූ දෙයක් මතක් වෙනවා?

ඒ අයට එහෙම කියන්න පුළුවන් වාතාවරණයක් තිබුණා. ඒ අයට ස්වර්ණමය යුගයක් කියලා දෙයක් තිබුණා. ඒත් අපිට බෑ ගාමිණි ෆොන්සේකලා වෙන්න. අපිට මොනවද බලන්න තිබුණේ. මම ඉපදුණෙ අසූ පහේ. අපි ෆිල්ම්ස් බලන්න ගත්තේ අනූව දශකයේ. අපි දැක්කේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කීපයකුයි, රෑ දනියෙල් දවල් මිගෙල් වගේ චිත්‍රපට කීපයකුයි විතරයි. ඒ අතර මිල්ලෙ සොයා, මතුයම් දවස වගේ දෙකතුනකුත් අපිට දකින්නත් යන්නම් වාසනාවක් තිබුණා. අපේ රටේ අවුරුද්දකට චිත්‍රපට 25ක්වත් හැදෙන්නේ නෑ. ඒත් උලෙළ හතක් අටක් විතර තිබෙනවා. ශිල්පීය වටිනාකම තියාගන්න අද පුළුවන්ද? මාධ්‍යය, දේශපාලනය පස්සේ යන කලාකරුවන් කරන්නේ වෙනම ගේම් එකක්. නිළියක් අවුරුදු හතරක් පහක් හොඳට ජනප්‍රිය වෙලා ප්‍රසිද්ධ වෙලා හය වැනි අවුරුද්දේ තමන්ගේ ජනප්‍රියත්වය, වැඩ අඩු වේගන එද්දි මොනවද කරන්න පුළුවන්. කාගේ හරි පස්සෙන් වැටිලා තමන්ගේ යැපීම තහවුරු කරගන්න එක නෙවෙයිද? අපේ අම්මා කීවා ඕක කරලා හරියන්නේ නෑ කියලා. ඒ වැලියු එකක් නැති නිසා තමයි.

ඔබ කියන්නේ අපේ රටේ වෘත්තීය නළු නිළියන්ට හව්හරණක් නෑ කියලද?

අපිට ඕනෙ මැරෙනකල් රඟපාන්න. මම ජීවිතේ කවදාවත් විග් එකක් දාන්න හිතන්නේ නැති කෙනෙක්. මම වයසට යද්දි කොණ්ඩෙ පැහෙද්දි ඒ විදිහට රඟපානවා. තට්ටය පෑදුණොත් ඒ විදිහට රඟපානවා. ස්වභාව ධර්මයට අනුකූලව යමින් චරිත කරන්නයි කැමති. ඒ හිතිවිල්ල වැරැදි වෙන්න පුළුවන්. ඕන නළුවෙක්ට රඟපාන්න පුළුවන් වෙයි, ඒත් මනුස්සකමත් ශිල්පියකුට තිබෙන්න ඕනා. ඉතින් අපි ට්‍රයි කරනවා ගේමක් ගහන්න. ඒත් මේ වෙලාවේ සිනමා සංස්කෘතියක් ගොඩ නැඟිලා නෑ. නිනෝ ලයිව් 2008 ඉඳන් 2017 වෙනකල් හිටියා රිලීස් වෙන්න. අවුරුදු නවයක් එක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරගන්න හිටියම ඒ අධ්‍යක්ෂවරයාට නළු නිළියන්ට මොකද වෙන්නේ... වෘත්තීය නළු නිළියෝ අසරණයි. හොබි එකට කරන අයට ටික කාලෙකට ජනප්‍රිය වුණාම ඇති මොකද යැපෙන්න වෙන ක්‍රම තිබෙනවා. මම ජීවිතේට වෙන ජොබ් එකක් කරලා නෑ. කරන්න දන්නෙත් නෑ.

ඔබ රඟපෑ චිත්‍රපට විදේශීය උලෙළ කීපයක් නියෝජනය කළා ඒ අතරතුර?

ඔව් ඉතින් වෙන මොනවා කරන්නද? ෆිල්ම් පාරේ විකුණන දේවල් නෙවෙයිනේ. අපිට අන්තිමට යන්න වුණා. එහෙම ගිහින් අන්තර්ජාතික සම්මාන ගත්ත නිසා තමයි මට චිත්‍රපට ලැබුණේ. ඒ වෙලාවේ මාව විකුණන්න පුළුවන් කියලා හිතුණ නිසා මට ෆිල්ම් දුන්නා මිසක් මට ආදරේට දුන්නා නෙවෙයිනේ... අපි හරියට ටිෂූ කොළ වගේ පාවිච්චි කළා, විසි කළා. අන්තර්ජාතික සම්මාන ටික නෙවේ නම් මාව සත පහකට මෙහෙ අය ගණන් ගන්නේ නෑ.

ඔබ හිතන්නේ අපේ ශිල්පීන්ට පුහුණු පාසලක් තිබුණානම් හොඳයි කියලාද?

අනිවාර්යයෙන්ම රංගනය ඉගෙන ගන්න ඕනෑ. අපට ගිණුම් අංශයක වැඩ කරන්න බෑ ඒ විෂය නොදැන. ඒ වගේ තමයි මෙයත්. මම නැටුම්, නාට්‍ය කරලා ආතක් පාතක් නැතිව ඉද්දි මහේන්ද්‍ර (පෙරේරා) අය්යා ළඟ අවුරුදු හතරහමාරක් ඉගෙන ගත්තා. මම දර්ශන තලයේ තේ හදලා තියෙනවා. සහාය අධ්‍යක්ෂ කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා තමයි මේ උස අඩි 5යි අඟල් 4ක මම නළුවෙක් වෙන්නේ.

මොකක්ද ඔබේ අනාගත බලාපොරොත්තුව?

මට ඕනෙ මැරෙනකල් රඟපාන්න. අපි කැමතියි අපේ සිනමා ක්ෂේත්‍රය ‘මාර’ එකක් වෙනවා නම්. බනිස් ගෙඩිය රුපියල් 10 කාලේ ලක්ෂ දෙකහමාරට ගත්ත ටෙලි නාට්‍ය බනිස් ගෙඩිය රුපියල් 25 කාලේ ගන්නේ එක් ලක්ෂ විසිපන් දහසකට. මට නම් තේරෙන්නේ බොහෝ දෙනා හිතන්නේ නළුවන්ට චිත්‍රපටයක් දුන්නාම ඔක්කොම හරි කියලා. ඒක නෙවෙයි විය යුත්තේ. නිසි ක්‍රමවේදයක් රටේ ඇති විය යුතුයි. මම පෞද්ගලිකව රියැලිටි ෂෝවලට යන්නේ නෑ,එස්එම්එස් ඉල්ලන්නේ නෑ. යුනියන් හදන්න අපේ රටේ බැරි සිනමා කර්මාන්තයක් හරියට නැති නිසා. ඉතින් ඒ එක්කම කියන්න තියෙන්නේ අප කොටු කරන්න එපා. කලා කරුවකුට අගයක් වගේම නිදහසත් ඕනා.