වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




කලකට පස්සේ රැඟුමට බැස්සේ

කලකට පස්සේ රැඟුමට බැස්සේ

සංගීත ලෝකය ගැන අවධානයෙන් සිටින ඔබ මෙල්රෝයි ධර්මරත්නව නොදැන ඉන්න විදිහක් නැහැ. හැට හැත්තෑව අසූව දශකවලදී කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ වැජඹුණු ධර්මරත්න සහෝදරයන්ගේ එක් සහෝදරයෙක් තමයි ඔහු. ඔවුන්ගේ ගීත බොහොමයක පද නිමැවුම් කරලා තියෙන්නෙත් මෙල්රෝයි. ජෝතිපාල ගැයූ දුරකතනයකින්, ගංගාවයි මහ මුහුදයි, ඔබ නිදන්න, බලන්න ආවේ, මිල්ටන් පෙරේරාගේ මේ වගේ ගීතයක්, පුංචි පුංචි තාරකා මිල්ටන් මල්ලවාරච්චිගේ මේ මැයි ගහ යට, පෝල් ප්‍රනාන්දුගේ එගොඩ ගොඩේ තිස්ස නාගොඩවිතානගේ වාසනා ලොවක් ආදී ගීත රැසක සංගීත නිමැවුම්කරුවත් ඔහු. කොන්ද නමාගෙන, සකල බුජන් කලුම කළු, පොඩිකාලේ දඟකෙරුවාම වැනි ගීතවල රචකයත් මේ මෙල්රෝයි. ඔහු ගැන කියාගෙන ආවේ ඔහුගේ අලුත් ආරංචියක් කියන්න. ඉතා දිගු කලකට පසු මෙල්රෝයි චරිතයක් රඟපාලා. ඒ දිගු කාලය කොච්චරක් ද කියලා කිව්වොත් වසර පනස් හතරකින් පසුවයි ඔහු මෙහෙම රඟපාලා තියෙන්නේ. මෙල්රෝයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම් රඟපාලා තියෙන්නේ 1965 වසරේ ලෙනින් මොරායස්ගේ සුදු දුව චිත්‍රපටයේ. එහි සුළු චරිතයක් තමයි රඟපාලා තියෙන්නේ. මේ ළඟදී දවසක මෙල්රෝයි ගීතයක් කළා වෛද්‍ය ජයන්ත විදානපතිරණ සහ දේශානි විතානගේට. මෙල්රෝයි පද රචනාකොට සංගීතවත් කළ එය නම් කොට ඇත්තේ රන් රස සේ යනුවෙනි. එහි රූප රචනයේ පියාගේ චරිතය රඟපෑවේ මේ මෙල්රෝයි. දිගු කලකට පසු කළ ඒ රංගනයට එදින දර්ශන තලයේ පිරිවරගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණලු.