|
|
ඇය දුන් සහායට ඇයට දෙන ත්‍යාගයයිDineth de Silva
සිය පළමු චිත්‍රපට රංගනයෙන් සරසවිය සම්මානලාභියකු වන්නට වරම් ලැබූ දිනෙත් ද සිල්වා අද වනවිට ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නළුවකු බවට පත්ව සිටියි. ඔහු මෙවර සරසවිය උලෙළේ 2017 වසරේ හොඳම නැඟී එන නළුවා විය. ඒ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ උත්තිය ඇමතිගේ චරිතය වෙනුවෙනි.
දිනෙත් ඔබ දැන් සරසවිය සම්මානලාභියෙක්. එදා හිතන්නට නැතුව ඇති ඔබ නැඟී එන නළුවා හැටියට සම්මානිත වේවි කියලා? එහෙම හිතුවේ නම් නැහැ. ඒ බලාපොරොත්තුවෙනුත් නෙවෙයි ආවේ. උලෙළේ මගේ නම කිව්වම පුදුම වුණේ ඒ හින්දයි. මෙය මං ලද පළමු සම්මානය වීමත් ඊටත් වඩා එය සරසවිය සම්මානයක් වීම මගේ ජීවිතයට ඉතාම සුවිශේෂියි. නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ඒ ගැන.
සම්මානය ගෙදර කොහෙද තියලා තියෙන්නේ? මං ගෙදරට එද්දී සහ යද්දී මට පේන විදිහේ තැනක තමයි ඒක තියලා තියෙන්නේ. මං කලා කටයුත්තකට නිවසින් එළියට බහිද්දී සරසවිය සම්මානය දිහා බලලයි එළියට බහින්නේ. එතකොට මං ගැන මට අභිමානයක් ඇති වෙනවා.
ඔබ එදා උලෙළට පැමිණියේ බිරිය සමඟ? ඔව්. මගේ රංගන ජීවිතයට ඉමහත් වූ පිටිවහලක් ඇගෙන් ලැබෙනවා. මාව නිරන්තරයෙන් දිරිමත් කරන්නේ ඇයයි. මේ සම්මානය මට කරන උදව්වලට ඇයට ලබා දුන් තිළිණයක් කියලත් කියන්න පුළුවන්. මම මගේ වයිෆ්ව වෙන කිසිම සම්මාන උලෙළකට එක්කගෙන ගිහින් නැහැ. හා හා පුරා කියලා මේ සම්මාන උලෙළට තමයි එක්කගෙන ආවේ. එහෙම ඇවිත් සම්මානෙකුත් හිමි කර ගන්න පුළුවන් වුණා.
ඒ ගැන කතා කළ යුතුමයි. මේ වෙලාවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ චත්‍ර වීරමන් සහ සම අධ්‍යක්ෂ භරත ගිහාන්වත් සෑහෙන්න මතක් කළ යුතුමයි. ඔවුන්ගේ සහාය නැත්නම් උත්තිය ඇමතිගේ චරිතය මට හරියට කරගන්න බැරි වෙනවා. ඒ වගේ දැවැන්ත චරිතයක් මා වැනි ආධුනිකයකුට ලබා දෙන්න තරම් විශ්වාසයක් ඔවුන් තුළ තිබුණා. ඒකටත් මං තුති පුදනවා හදවතින්ම.
ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැනයි මං අහන්න මේ සැරසෙන්නේ? තෙල්දෙණිය වැවේ කළ සටන් ජවනිකා නම් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙනත් රටවල චිත්‍රපටවල සටන් ජවනිකාවලදී ඒ වෙනුවෙන්ම හදපු උපකරණ තියෙනවා. ඒවා ව්‍යාජ ඒවා. නමුත් අපට භාවිත කරන්න තිබුණේ ඇත්තම යකඩ කඩු ලී පොලු ආදිය. කිහිප දෙනෙක් එක්ක සටන් කරද්දී පොඩ්ඩ මිස් වුණා නම් ඇත්තටම කැපිලා යනවා. එහෙම නොවුණත් සැලකිය යුතු මට්ටමේ තුවාල කිහිපයක් සිදු වුණා. ඒ දේවල් නම් අමතක වන්නේ නැහැ.
මේ දිනවල ඔබේ රංගන කටයුතු කොහොමද? හිතුමතේ ජීවිතේ චිත්‍රපටයේ රංගන කටයුතු නිම කළා. ඒකේ ඩබිං මේ දිනවල සිදු වෙනවා. ඊට අමතරව තවත් චිත්‍රපට කිහිපයකටම ඇරැයුම් ලැබුණා.
ඔබේ වැඩි කැමැත්ත චිත්‍රපට රංගනයටද? මට වැඩි වශයෙන් ආරාධනා ලැබෙන්නේ චිත්‍රපට සඳහා. මං ඒවා බොහොම සතුටින් බාර ගන්නවා. නමුත් මං බෙදීමක් කරන්නේ නැහැ. ටෙලි රංගනයටත් මං ප්‍රියයි.
මේ වන විට ඔබ වෘත්තීය නළුවෙක්? ඔව්. එහෙම වෙලා තියෙනවා.
වෘත්තීය නළුවෙකු විදිහට ලංකාව වගේ රටක ජීවත් වන්නට පුළුවන්ද? අන්න එතන පොඩි ගැටලුවක් නම් තියෙනවා. ආදායම තමයි ප්‍රශ්නේ. මං අනික තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන කෙනෙක්. ඒකත් ඔය තත්ත්වෙට බලපානවා. ඒත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ.
මොනවද ඔබේ ඉදිරි බලාපොරාත්තු? තියෙන්නේ එකම හීනයයි. ඒ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමට හැකි පාසලක් ආරම්භ කිරීම. බොහෝ දෙනා නිරූපණයේ යෙදෙන ගමන් රංගනයටත් පිවිසෙන්නට උත්සාහ කරනවානෙ. ඒ හින්ද එමඟින් රංගනයත් ඉගැන්වීමට අපේක්ෂා කරනවා. ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් ඊට සහභාගි වේවි. |




ආලෝකෝ උදපාදි චිත්‍රපටය ගාවටයි මං ඔබව ඊළඟට කැඳවාගෙන යන්නේ?