දහදිය සුවන්ද් මහ නෙළක් ගෙනැ ආමි
දහදිය සුවන්ද්
මහ නෙළක්
ගෙනැ ආමි
2017 හොඳම ගීත රචක
රජී වසන්ත වෙල්ගම

සම්මානිත ගී පද
සියොවැ ආමි
දහදිය සුවන්ද් මහ නෙළක්
ගෙනැ ආමි
මොළොකතින් ගෙනැ
මල් බලන සෙයි
අත්ල කරගැට සිප ගනුවැ
ආමි
යක් ගොත්තනේ
තොපට පුදනුවැ
දහදිය සුවන්ද් මහ නෙළක්
ගෙනැ ආමි
ගිරිබෙය ද රන් වනුන්
මඟහැර
සිහිගිරි සදිසි හදවත්
සොයා ආමි
වෑ තැනැ යක් ගොත්තනේ
තොපට පුදනුවැ
දහදිය සුවන්ද් මහ නෙළක්
ගෙනැ ආමි
ගී පද - රජී වසන්ත වෙල්ගම
ගායනය - තුසිත් සිම්සන්
සංගීතය - දර්ශන රුවන් දිසානායක
චිත්‍රපටය - කාල
අධ්‍යක්ෂණය - සුජීව ගුණරත්න
මෙවර සරසවිය සම්මාන උලෙළින් 2017 වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගීත රචකයා වශයෙන්
සම්මානයට පාත්‍ර වූයේ රජී වසන්ත වෙල්ගමය. ඔහු ගී පද රචනා ක්ෂේත්‍රයට ආධුනිකයෙක්
නොවූවත් චිත්‍රපට ගීත රචනයට එක් වූ මුල්ම අවස්ථාවෙන්ම මෙසේ සම්මානයට පාත්‍ර වීම
එක්තරා අයුරකින් සුවිශේෂී සංසිද්ධියකි. කලකට ඉහත සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා
කරන ලද අති ආකර්ශණීය ගීතයක් වූ 'මේ තරම් සියුමැලි ද කළු ගල්' ගීතයේ ගී පද රචකයා වූ
රජී මෙවර හොඳම ගීත රචකයා වශයෙන් සම්මාන දිනා ගත්තේ සුජීව ගුණරත්න විසින් අධ්‍යක්ෂණය
කරන ලද 'කාල' චිත්‍රපටය උදෙසා ඔහු රචනා කරන ලද තේමා ගීතය වෙනුවෙනි.
* මෙවර සරසවිය සම්මාන උලෙළේ වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගීත රචකයා වුණේ ඔබයි. මොනවද
ඔබට දැනෙන්නේ?
ඒක මට හිතාගන්න බැරි තරම් පුදුම අත්දැකීමක්. මගේ ආරාධනා පත ලැබුණද බලන්න මට කතා
කළා. ඒ මොහොතේවත් මට සම්මාන ලැබෙයි කියන බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මම උත්සවයට
පැමිණියා. ටික වේලාවකින් මට මතකයි නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කරනවා. ඒ ගොඩේ
මගේ නමත් කිය වෙනවා මට ඇහුණා. ඒ මොහොතේවත් මට බලාපොරොත්තුවක් ඇති වුණේ නෑ මට සම්මාන
ලැබෙයි කියලා. අන්තිමේදී මට සම්මානය හිමි වුණා. සම්මානයක් කියන්නේ කලාකරුවෙකුගේ
ඉදිරි ගමනට ලොකු උත්තේජනයක්. ඉතිං මට සතුටුයි. ගොඩාක් සතුටුයි.
* ඔබට සම්මාන හිමි වන්නේ ඔබ චිත්‍රපට පසුබිම් ගිතයක් ලියූ ප්‍රථම අවස්ථාවේදීමයි.
කොහොමද ඒ අත්දැකීම?
සරල ගී ක්ෂේත්‍රය තුළ මට හුඟක් අවකාශ ලැබී තිබුණා ගීත රචනයේ යෙදෙන්න. නමුත්
චිත්‍රපටයකට පසුබිම් ගීතයක් රචනා කරන්න මීට කලින් මට අවස්ථාවක් ලැබිලා නෑ. ඇත්තටම
ඒක මට අලුත් අත්දැකීමක් වුණා. මේ අවස්ථාව මට හිමි කරලා දෙන්නේ මගේ මිත්‍ර දර්ශන
රුවන් දිසානායක සංගීතඥයා. ඔහු තමයි 'කාල' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. මම
දර්ශනත් එක්ක මීට කලින් ගොඩාක් වැඩ කරලා තිබුණා. දවසක් ඔහු මට කතා කරලා කියනවා
චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ලියව ගන්න ඕන. මේ චිත්‍රපටයට තේමාව වෙන්නේ කලා වැව හදපු
හැටි කියලා. දර්ශනගෙන් මේ තේමාව ගැන අහගත්ත මොහොතේ සිට මගේ හිත ඒ සම්බන්ධ තවත්
අධ්‍යයනයන්ට යොමු වුණා.
* ඔබ රචනා කළ ඒ ගීතයේ භාෂා ව්‍යවහාරය පවා වෙනස්?
කලා වැව හදපු හැටි ගැන තමයි චිත්‍රපටයේ තේමාව කියලා දර්ශන මට කියපු ගමන්ම මගේ මතකයට
ආවේ සීගිරි කුරුටු ගී. කලාවැව හදන්නෙත් පස් වැනි සියවසේදී විතරනේ. ඒ නිසා සීගිරි
කුරුටු ගී වලට ළඟින් යන බස් වහරක් තමයි මේ සඳහා මම භාවිතා කළේ. අනිත් පැත්තෙන්
ඉතිහාස අධ්‍යයනයේදී මම තහවුරු කර ගත්තා අපේ රටේ වැව් ඉදි කිරීමේදී ප්‍රධාන වෙලා
තියෙන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා. ලංකාවේ පළවෙනි වැව ඉදි කළ වසභ රජ්ජුරුවෝ යක්ෂ
ගෝත්‍රිකයෙක්. මේ අතීත රජ දරුවන්ගේ දෑතේ හයියෙන් ඉදිවුණු වැව් අමුණු හින්ද තමයි අපි
අදටත් බත් කන්නේ. ඔවුන් යක්ෂ ගෝත්‍රිකයන් වුණත් අපි ඔවුන්ව දේවත්වයෙන් පිදිය යුතුයි
කියන අදහස අරගෙන තමයි මම මේ ගීතය රචනා කළේ.
* මේ සම්මානය සඳහා ඔබ නිර්දේශ වෙන්නේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ගීපද රචකයන් සමඟ.
මොනවද ඔබට දැනුණේ?
නිර්දේශිත නාමයන් අතර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නමත් තිබුණා. නමුත් අපි නවකයින්
විදියට එහෙම නිර්දේශ වුණා කියලා මහා ලොකු උඩඟුකමක් මවා ගත යුතු නෑ. අපේ ඉදිරි ගමනට
හොඳ ශක්තියක් විතරයි ඒක. අපි තමයි කෙරුමෝ කියලා මෙතැන් සිට ඔළුව ඉදිමවා ගැනීමේ
මානසිකත්වයක් මට නෑ. සම්මානයක් ලැබීමේ නිහතමානී සතුටක් වගේම ප්‍රවීණයන්ට විශාල
ගෞරවනීය බවක් මා තුළ තිබෙනවා. මේක ඉදිරි ගමන තීරණය කරන පහන් තාරකාවක් වගේ කියලා මට
හිතෙනවා.
* ගීත රචනය සම්බන්ධයෙන් ඔබ ගුරු කොට ගත් හෝ ඔබට පූර්වාදර්ශ සපයපු ප්‍රවීණයෝ ඉන්නවද?
පුංචි කාලේ කවි ලිව්වට පස්සේ ගීතය ගැන සාහිත්‍යය ගැන ලොකු උනන්දුවක් ඇති වෙන්නේ
උසස් පෙළ කරන කාලෙදියි. ඒ වෙනකොට ගීතය ගැන තිබුණු මගේ උනන්දුව වැඩි වෙන්න රත්න
ශ්‍රී විජේසිංහ හා ගුණදාස කපුගේ එකතු වී කරපු නිර්මාණ බලපෑවා. මට උගන්නලා නැති
වුණාට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද රචනා මට වක්‍රාකාරයෙන් බලපෑවා. ඒ නිසා මම
හිතනවා එතුමා මගේ ගුරුවරයෙක් කියලා.
* ඔබට ගී පද රචනා ක්ෂේත්‍රයට පිවිසෙන්න මූල බීජය වැපිරුණේ කොතැනින්ද?
මං හිතනවා මගේ පියාගෙන් කියලා. මගේ තාත්තා ගොවියෙක්. තාත්තාට හොඳට කවි ලියන්න
පුළුවන්. මට මතකයි මම පහේ පන්තියේ ඉන්නකොට කවි පොතක් ලිව්වා. ඒ කවි පොතෙන් කවි
අටක්ම මට ලියලා දුන්නේ මගේ තාත්තා. මේ සම්මානේ සතුටත් මගේ පවුලේ උදවියට ලැබෙන්න
ඕනෑ. මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් වගේම මගේ බිරිඳ දරුවා දක්වා.
* ඉස්සරහට ඔබේ නිර්මාණ දිවිය කොහොම වෙයිද?
මම වෘත්තියෙන් නීතිඥයෙක්. සිතා මතා ලියන කෙනෙක් නොවෙයි. කොයි මොහොතේ හෝ මගේ
සිතුවිලි අවදි වුණොත් මම ලියනවා. ඉස්සරහටත් චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට ආරාධනා
ලැබුණොත් මම ලියාවි. මේ සම්මානයේ සතුට සහ හිමිකාරත්වය මට පමණක් ලැබිය යුත්තක්
විදියට මම සලකන්නේ නෑ. මගේ පද රචනය උද්දීපනය කරන්නට දර්ශන දිසානායකගේ සංගීතය වගේම
තුසිත සිම්සන්ගේ ගායනයත් තීරණාත්මකව බලපෑවා. මගේ පුද්ගලික අදහස නම් මගේ පදවලට වඩා
දර්ශනගේ සංගීතයත්, තුසිතගේ ගායනයත් තීරණාත්මකයි කියලයි. ඒ නිසා ඒ දෙන්නටමත් මේ
සම්මානය අයිතියි.
හේමාලි විජේරත්න /ඡායාරූප - නිශ්ශංක විජේරත්න
|