වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි

ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි

අධ්‍යාපන අමාත්‍යාංශය දීප ව්‍යාප්තව පළාත් මට්ටමින් 6 - 9 ශ්‍රේණි අතර පවත්වනු ලැබූ කෙටි වීඩියෝ චිත්‍රපට තරගාවලියේදී ඇල්පිටිය ශාන්ත මරියා මහ විද්‍යාලයේ 9 ඒ ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. පී. රවිඳු දුලංජය ද සිල්වා සිසුවා දකුණු පළාතෙන් දෙවෙනි ස්ථානය හිමි කරගෙන ඇත. ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරිම තේමාව කර ගත් මෙම කෙටි වීඩියෝ චිත්‍රපටය නිර්මාණය කිරීම තුළින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත. විෂය සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී ද කැපී පෙනෙන දක්ෂ සිසුවෙකු වූ රවිඳු දුලංජය ද සිල්වා තම විදුහල් මෑණියන්ට කිර්තිය අත්කර දී ඇති අතර අනාගතයේදී තවත් නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව පැවසීය. රවිඳු ගාල්ල කැටදොල කණිෂ්ඨ විද්‍යාලයේ ද ඉගෙනුම ලබා තිබේ.

ඇල්පිටිය විශේෂ

ඩී. ජේ. විජේසිංහ


ගී ගඟුලේ රස මැවූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

හෙළ ගී කෙතට සුමියුරු ගී රැසක් දායාද කළ ප්‍රවීණ ගීත රචකයෙකු වන ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් අප අතුරින් නික්ම ගොස් අදට වසර 9 ක් ගත වී ඇතත් ඒ ගී මිහිර අපට අදටත් එදා මෙන් ජීවමනාව පවතී.

වර්තමානයේ බිහිවන ගීත කෙටි කාලයකදී මියගියත් අතීතයේ බිහි වූ මෙවැනි ගීත අදටත් අප අතර මුවඟට නැග එන්නේ ඒ ගීතවල තිබූ හරවත්භාවය නිසාවෙන්ය.

1934 මැයි මස 14 වැනි දින දෙමටගොඩ කැටවලමුල්ලේ උපත ලැබූ ඔහුගේ මවුපියන් ආතර් එඩ්වින් රණසිංහ හා ඩොටී එව්ලින් රණසිංහ යුවළය. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කැටවලමුල්ල මල්ලිකාරාම විහාරාධිපති කහටපිටියේ ධීරානන්ද හිමිපාණන් වෙතින් පාලි හා හින්දි බස මැනවින් ප්‍රගුණ කළේය.

හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පුත්‍රයා වූ ජෝර්ජ් ලෙස්ලි නව යොවුන් වියේදී ඔහුගේ සිත වඩාත් ඇදීගිියේ පුවත්පත් කලාවට හා ගීත රචනා ක්ෂේත්‍රයටය. පත්තර මහගෙදර වන ලේක්හවුස් ආයතනයෙන් සිය මුල්ම රැකියා ජීවිතය ඇරඹූ ජොර්ජ් ලෙස්ලි පසු කාලෙක ටයිම්ස් ආයතනයේ ‘ලංකාදීප’ පුවත්පතට සම්බන්ධ විය. අනතුරුව ශ්‍රී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය හෙබ විය. සතිපතා විශේෂාංග පුවත්පත් ලෙස එකල ඉමහත් පාඨක ප්‍රසාදයක් හිමිකරගත් ‘වනිතා විත්ති’ සහ ‘දීපශිඛා’ පුවත්පත් සංස්කරණය කළේ ද ජෝර්ජ් ලෙස්ලි විසිනි.

මෙරට සංස්කෘතික අංශ කෙරෙහි මහා රුකුලක් වූ ‘සරසවිපාය’ සංස්කෘතික ආයතනයෙහි ප්‍රථම අධ්‍යක්ෂවරයා ද වන්නේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන්ය.

පසුව සිනමාවට ද සම්බන්ධ වූ ජෝර්ජ් ලෙස්ලි 1975 වර්ෂයේ තිරගත වූ නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ ‘යකඩයා’ චිත්‍රපටය, 1977 වර්ෂයේ ජයන්ත සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘රජ කොල්ලෝ’ චිත්‍රපටය , 1976 වර්ෂයේ ‘සව්දන් ජෙමා’ චිත්‍රපටවල තිර පිටපත් රචකයා වූයේ ද ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන්ය. සිය අත්දැකීම් පාදක කරගනිමින් ඔහු විසින් එළිදැක් වූ ‘සිනමා වංශ කතා’ නිබන්ධය අධ්‍යාපන ග්‍රන්ථ උපදේශක මණ්ඩලය මඟින් පාසල් පුස්තකාල පොතක් ලෙසින් අනුමත කර තිබිණි. චිත්‍රකතා රචනයට ද දක්ෂතා දැක් වූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ‘සොහොනින් නැඟිට ආ පෙම්වතිය’, ‘විෂ කන්‍යාව‘, ‘මරු පිම්ම්, ‘හදවත් තුනක්’, ‘අනුරාගී’, ‘අප්සරා’ වැනි චිත්‍ර කතාවල රචකයා ද වූවේය. මීට අමතරව ගුවන් විදුලි වැඩසටහන් පිටපත් රචනයට ද ජෝර්ජ් ලෙස්ලි රණසිංහ දායක වූයේය. ඒ අතර ‘රට රටවල නව ගොවිතැන’, ‘ආසියානු අසල් වැසියෝ’, ‘දේශයෙන් දේශය’, ‘සිංහල සිනමා වංශ කතාව‘ වේ.

ජෝර්ජ් ලෙස්ලි විශාරද අමරදේවයන් වෙනුවෙන් රචිත ‘සීතල වතුර ගලයි’ ගීතය ඇතුළත් වූයේ සීතල වතුර චිත්‍රපටයේ තේමා ගීතය ලෙසය. නන්දා මාලිනී ගැයූ ‘ දේදුණු පායා’, සුසිල් ප්‍රේමරත්නයන් ගැයූ ‘ආදරේ මට නෑ කියා’, ත්‍යාගා එන්. එඩ්වඩ් ගැයූ ‘සෙනෙහස රන් සිංහාසන’, සිසිර ඉන්ද්‍රාණි ගැයූ ‘හඳපානේ මල් පිපුණා’, ‘රූපා ඉන්දුමතී ගැයූ ‘කුරල්ලනේ පැණි කුරුල්ලනේ’, එම්. එස්. ප්‍රනාන්දු සහ ඇන්ජලීන් ගුණතිලක ගැයූ ‘එරන් කඳ පෙම්’, ෆ්‍රෙඩී සිල්වා ගැයූ ‘පණ පලයන්, විල්බට් ඇන්තනි ගැයූ ‘නොමඟ නොයන් පුතේ’ වැනි ගීත රැසකට ගේය පද රචකයා වූයේ ජෝර්ජ් ලෙස්ලිය.

ගීත ගණනාවක් රචනා කළ ඔහු එච්. ආර්. ජෝතිපාල ගායකයාණන් වෙනුවෙන් ‘සොඳුරු ලොවට මල් වැහැලා’, ‘බඹරා වගේ’, ‘රන් ඇටපොට රිදී හවඩි’, ‘ලස්සන ලෝකෙක ඉපදීලා’ වැනි ගීත ජෝතිගේ ආදරණිය හඬ පෞරුෂය වෙනුවෙන් ජෝර්ජ් ලෙස්ලිගේ හදවතින් බිහි වූ ගී මල් පොකුරක් බඳුය.

වසර ගණනාවකට පෙර බිහි වූ එම ගීත හා ඔහුගේ හැකියාවන් මතු පරපුරටත් එකසේ රස විඳිය හැකි සේ පවතිනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

- නවෝද් කල්හාර රණසිංහ