වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3

නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3

වැරදි දේ කිරීම පුරුද්දක් කරගත් ලෝක ප්‍රසිද්ධ සොරකු බවට පත්වීමට උත්සාහ ගන්නා ග්රූගේ සැලසුම හඳ සොරකම් කිරීමයි. ඔහුට ඒ වෙනුවෙන් උපකාර කළේ මිනියන්ස් නම් කහ පැහැති කුඩා ජීවින් සේනාවක් සහ විශේෂිතව සකසන ලද ආයුධ රැසක්. මේ සමඟින් ග්රූ ඉටා ගන්නේ තමාට එරෙහි වන සියලු දෙනා පරදා හඳ සොරකම් කිරීමටයි. ඉතා හොඳීන් සැලසුම් සහගතව සියල්ල ඉටු කෙරෙනවිටදී ඔහුගේ එම සැලසුම්වලට හසු නොවූ කුඩා ගැහැනු දරුවන් තිදෙනා නිසා ග්රූ අභියෝගයට ලක් වෙනවා. මේ කුඩා දැරියන් තිදෙනාගේ බලාපොරොත්තුව ගෲ තම පියා බවට පත්කර ගැනීමයි. 2010 වසරේදී Despicable Me චිත්‍රපට මාලා ව ඇරඹුණේ මෙලෙසින්.

ග්රූ අපරාධ ජීවිතයෙන් බැහැරව මාර්ගෝ, ඊඩිත් සහ ඇග්නස් නම් මේ කුඩා දියණියන් තිදෙනාට ආදරණීය පියෙකු බවට පත් වේ. ආදායම් මාර්ගයක් නැති ග්රූ හට පවුලක් නඩත්තු කිරීම ප්‍රශ්නයක් වේ. පියකු ලෙසින් අලුත් වගකීම් සමඟින් පොරබදන විට ඔහුහට අපරාධවලට එරෙහිව සටන් කරන්න වීරයකු සොයනා තරගයට ඇරයුම් ලැබේ. මීට පෙර ලොව දැවැන්තම සොරා ලෙසින් නම් දරා සිටි ග්රූ මෙහිදී සිදුවන දැවැන්ත සොරකමක් අල්ලා ගැනීමේ මෙහෙයුමට බැඳේ. 2013 වසරේදී Despicable Me දෙවැන්න දිග හැරුණේ මෙලෙසින්.

ග්රූගේ සහයට සිටින මිනියන්ස් ද සමඟින් Despicable Me චිත්‍රපට මාලාව ලොව ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත් අතර මිනියන්ස් චරිත සමඟින් 2015 වසරේදී තිරගත කළ Minions චිත්‍රපටයද ලෝ පුරා ජනාදරයට පාත්‍ර විය. මිනියන්ස්ගේ එකම අභිලාෂය ලොව බලවත්ම සොරා යටතේ කටයුතු කිරීමයි.

තමන් ගෙවන හොඳ ජීවිතය අතහැරදමා යළිත් ග්රූ අපරාධ ලොවට පැමිණේවි යැයි සිතුවද ඒ වෙනුවට ඔහු තීරණය කරන්නේ, විශ්‍රාම සුවයෙන් කල් ගෙවීමට ෆ්‍රීඩෝනියා ප්‍රදේශයට යාමටයි. මීට බොහෝ කලකට පෙර අතුරුදන් වූ ග්රූගේ නිවුන් සහෝදරයා ඩ්රූ එහිදී නැවත හමුවේ. 1980 දශකයේදී ළමා තරුවක් වී සිටි බල්තසාර් බ්‍රැට් ලෝකයෙන් පළිගැනීම වැළැක්වීම ග්රූ සහ ඩ්රූ මුහුණු දෙන අභියෝගය යි.

Despicable Me 3 කතා පුවත මෙලෙසින් රිදී තිරයේ දිග හැරෙන්නේ, පසුගිය ජූනි 30 වැනිදා සිටයි. යුනිවර්සල් පික්චර්ස් සහ ඉලුමිනේෂන් පික්චර්ස් නිෂ්පාදනයක් වන Despicable Me 3 බෙදාහැරෙන්නේ, යුනිවර්සල් පික්චර්ස් විසිනි. Despicable Me 3 ඇතුළුව ඉලුමිනේෂන් පික්චර්ස් මේවන විට නිර්මාණය කර ඇති චිත්‍රපට ගණන අටකි. පරිගණක සජීවකරණ චිත්‍රපට නිර්මාණකරණයෙහි එම සෑම චිත්‍රපටයක්ම අති සාර්ථක වූ බව ද කිව යුතුමය. Despicable Me චිත්‍රපට මාලාව ගතහොත් එහි පළමු වැන්න වෙනුවෙන් වැය කළ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 69ක් වන අතර ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 543ක් විය. දෙවැන්න නිර්මාණයට අමෙරිකානු ඩොලර් මිලියන 76ක් වියදම් කළ අතර ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 970.8ක් විය.

Despicable Me චිත්‍රපට මාලාවේ චරිත නිර්මණය කර තිබෙන්නේ, ස්පාඤ්ඤ ජාතික නිර්මාණ ශිල්පී සර්ජියෝ පැබ්ලොස් විසිනි. Despicable Me පළමු සහ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ පියරේ කොෆින් සහ ක්‍රිස් රිනවුඩ් විසිනි. Despicable Me 3 අධ්‍යක්ෂණය කරන ලද්දේ පියරේ කොෆින් සහ කයිල් බල්දා විසිනි. මෙහිදී ස්ටීව් කැරෙල්, ක්‍රිස්ටීන් වීග්, ට්‍රේ පාර්කර්, මිරැන්ඩා ක්‍රොස්ගෝව්, ඩානා ගියර්, නෙව් ෂැරෙල් හඬ දායකත්වය ලබා දෙන අතර සුපුරුදු පරිදි මිනියන්ස් ලෙසින් හඬ කවන්නේ සම අධ්‍යක්ෂ පියරේ කොෆින් විසිනි.

Despicable Me චිත්‍රපට මාලාව ලද ප්‍රතිචාර දෙස බැලීමේදී පළමු වැන්න සහ දෙවැන්න IMDb දර්ශකයේ ලකුණු 7.7/10 සහ 7.4ක් ලෙසින් ලබා ගෙන ඇත. තෙවැන්නට 6.7ක ලකුණු ප්‍රමාණයක් හිමි වී ඇත. විචාරක මනාපය සටහන් කෙරෙන රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ Despicable Me පළමු වැන්නට සියයට 81ක් සහ දෙවැන්නට සියයට 73ක් ලැබී ඇති අතර තෙවැන්න සියයට 81ක් ලබා ගෙන ඇත. Despicable Me චිත්‍රපට මාලාවේ 3 වැනි චිත්‍රපටය නරඹන්නන් දිගින් දිගටම සතුටු කරමින් සිටින බව පෙනුණද එහි කතාව තරමක් අපිළිවෙල බව එහි පොදු විචාරය පවසයි.

බොහොම දක්ෂ අන්දමින් නිර්මාණය කර තිබෙන Despicable Me 3 ප්‍රේක්ෂකයා බෙල්ල උළුක්කර ගෙන නරඹනු ඇති නිර්මාණයක් බව හොලිවුඩ් රිපෝටර්හි ප්‍රවීණ විචාරක ජෝර්ඩීන් මින්ට්සර් ගේ අදහසයි. එය ප්‍රේක්ෂකයාට රස කරමින් කෑමට බබල්ගම් විදින ස්වයංක්‍රීය ගිනි අවියක් වාගේ යැයි ද ඔහු පවසා සිටියි. එම්පයර් සඟරාවේ විචාරක ජොනතන් ෆයිල්ගේ අදහස වන්නේ, අවශ්‍ය තරමට ශක්තිය සහ සැණෙකින් සතුට ගෙන දෙන චිත්‍රපට මාලාවට සුපුරුදු චිත්‍රපටයක් එක් වී ඇති බවයි.