වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ට්‍රෝජන් කාන්තාවන් යළි ගේන්න කාලයයි

මේ ට්‍රෝජන් කාන්තාවන් යළි ගේන්න කාලයයි

ධර්මසිරි බණ්ඩාරනායකගේ 18 ක වසරක ට්‍රෝජන් කාන්තාවෝ ආවර්ජනය

අද මෙන් නොව 70 දශකය යනු මෙරට නාට්‍යකරුවන් අතිශය කාර්යබහුල අවධියකි. එක නාට්‍යයක් සමඟ ගත කරන කාලය අතිශයින්ම වැඩිය. සියළු ශිල්පීන් වේදිකාවේ නිත්‍ය වෘත්තිකයින්ය. වෙලාවක් අවේලාවක් ගැන ඔවුන්ට සිතීමටත් විවේකයක් නැත. එය එසේ සිදුවන්නේ නාට්‍ය සඳහා වන අධික ප්‍රේක්ෂක ඉල්ලුම නිසාමය. ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා නාට්‍ය ක්ෂේත්‍රයට එකතුවන්නේත් 70 දශකයේය. ‘ඒකා අධිපති’ හරහා නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන ඔහු එහි ප්‍රධාන චරිතයකට ද පණ පොවමින් නාට්‍ය ක්ෂේත්‍රයට මහඟුම නිර්මාණ දායාද කරයි. ඒකා අධිපතිගෙන් පසු මකරාක්ෂයා, ධවල භීෂණ, ට්‍රෝජන් කාන්තාවෝ හා යක්ෂාගමනය නාට්‍ය නිර්මාණය කරන ඔහු 80 දශකයේ සිනමාවට පිවිසෙන්නේ තම කලා ජීවිතයේ ද්වි ධාරාවක් ඇති කර ගනිමින් පුළුල්වීමේ අධිටන ඇතුව විය යුතුය. ඒකා අධිපති ඇතුළු නාට්‍යයත් හංස විලක් ඇතුළුව චිත්‍රපටත් විචාරක ඇගයීමට භාජනය වෙද්දී ඔහුගේ මතුවීම සිදු වූයේ දේශපාලන දහරාවක් හරහාය.

එසේ කියන්නට සාධාරණ හේතුවක් උද්ගත වන්නේ ඔහුගේ බොහෝ නිර්මාණවල ක්‍රමයන් හෙවත් පවතින ස්ථාපිතයන්ට අභියෝග කරන ලක්ෂණය කැපී පෙනෙන බැවිණි. විටෙක එයට උඩු පෙළ යටි පෙළ භේදයක් නැහැ. යුරිපීඩිස් නම් ගී‍්‍රක නාට්‍ය කරුවාගේ දුඛාන්ත නිර්මාණය මෙහිදී ඔහු උපයෝගී කර ගන්නේත් ඔහුගේ ඒ දේශපාලන ආස්තානය සමාජගත කිරීමටය. එය නම් ට්‍රෝජන් කාන්තාවෝය. පුරාතන ගී‍්‍රසියේ ප්‍රකට නගර රාජ්‍ය යුද්ධයක් වන ට්‍රෝයි යුද්ධය මෙයට පාදක වුවත් ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් එය තීව්‍ර ලෙස භාවිත කරන්නේ යුද්ධය නම් සර්වලෝක ඛේදවාචකය දෙසටය. ඒ සඳහා ඔහු අතීත හා නවීන දහරා 2 ක් පාවිච්චි කරයි. ට්‍රෝජන් කාන්තාවෝ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය සම්මාන දිනූ නාට්‍යවලින් එකකි. එයට දැන් වසර 18 ක් සම්පූරණවීමට ආසන්නය. කලක් නිහඬ වුව ද ජූලි 9 වැනිදා ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී යළි එය වේදිකා ගත වෙයි. 18 වසරක මතකය යළි ආවර්ජනය කරන්නට ධර්මසිරි බණ්ඩාරනායකයන් අප සමඟ එක් විය.

නාට්‍ය කලාවේ අවගමනය ඔබ බාධාවක් කරගෙන නැහැ වගෙයි?

නාට්‍යයක නිෂ්පාදනයක් ඉදිරියට ගෙනියන එක අද ලොකු බාධාවක්. ඉස්සර නම් වේදිකාවටම කැපවෙච්ච ශිල්පීන් තමයි හිටියේ. නමුත් අද එහෙම බැහැ. ඔවුන් වේදිකාවේ, ටෙලිවිෂන් එකේ, සිනමාවේ හැම තැනම ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ කාලය සීමිතයි. ඒ සීමිත කාලයෙන් තමා අපි සියළුම දේ කරන්න ඕනෑ. ඒ අතරතුර මම ග්‍රීක නාට්‍ය 2 ක් පරිවර්තනය කළා. ඒ දෙකත් මම වේදිකාවට ගේනවා.

අවුරුදු 18 ක පෙර ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයට ඔබ මූලාශ්‍ර කරගන්නේ ලී අශ්වයෙක් ඇතුළේ පාබල හමුදාවක් සැඟවලා කරන ට්‍රෝයි යුද්ධය?

ඔව්. ඒ නගර රාජ්‍යයේ සතුරන් සැණකෙලියක් අතරතුර නගරයට කඩාපැනලා නගරය වනසනවා. නගරයේ පිරිමින් මරනවා. කාන්තාවන් ඉතුරු වෙනවා. ඔවුන්ට සිද්ධ වෙනවා වහලුන් වෙන්න. ඒ මත ගොඩනැඟෙන කාන්තාවන්ගේ සෝචනීය තත්ත්වය තමයි මහා යුද්ධයක් ඉතිරි කරන යථාර්තය වෙන්නේ.

2000 වසරේදී ඔබ නාට්‍ය රැගෙන ඉතාම වැදගත් ගමනක් යනවා?

2000 වසරේ මම යනවා උතුරට. යුද්ධයට විරාමයක් කියලා සාමයට සාකච්ඡා තියෙන කාලේ. යුද්ධය විසින් මොන තරම් විනාශයක් මොන තරම් සැකයක් නිර්මාණය කරනවාද කියන එක අපි හොඳින්ම දැක්කා. හමුදාවෙන් එක බංකරයක් නම් ගහන්නේ එල්. ටි. ටී. ඊ. එක බංකර් රාශියක් ගහනවා තමන්ගේ පැත්තේ. මේ සියල්ල වෙන්නේ සැකය මත. එහෙම තත්ත්වයක් ඇතුළේ අපි යාපනයට ගියා. එහෙ දෙමළ ජනතාවට මම නාට්‍ය පෙන්නුවා. මම එල්. ටි. ටී. ඊ. සංවිධානයට දැන්වූයේ එක දෙයයි. කරුණාකරලා ආයුධ නැතුව නාට්‍ය බලන්න එන්න කියපු එක විතරයි. ඔවුන් ඒ විදිහට ආවා. ඇවිත් බලලා ගියා. නාට්‍යයෙන් පසු අපි සංවාද කළා. සාමාන්‍ය දෙමළ ජනයා ඒවාට සහභාගි වුණා. යුද හමුදාව වගේම එල්. ටී. ටී. ඊ එකත් මේ වගේ කලා කටයුතුවලට සෑහෙන්න සහයෝගයක් දුන්නා ඒ දවස්වල.

එමඟින් යුද්ධය ගැන කතා කරන්න ඔබ තවත් උතුරට ළං වුණා?

එල්. ටි. ටි. ඊ. සංවිධානයෙන් ආවනේ නාට්‍ය බලන්න. ඔවුනුත් නාට්‍ය ගැන පැහැදුණා. ඒ සංවිධානයේ සංස්කෘතික කටයුතු නායක තමයි පුතුවෛයි රත්නතුරෙයි කියන්නේ. රත්නතුරෙයි ඒ දවස්වල බොහොම වයෝවෘද්ධ කෙනෙක්. ඒ වගේම දෙමළ සමාජයේ මහා කවියෙක් හැටියටත් ඔහු ප්‍රසිද්ධයි. ඔහුගේ පුතා යම් හමුදා ක්‍රියාකාරකමක් නිසා මිය යනවා. එතැනදී තමා ඔහු එල්. ටී. ටී. ඊ. එකත් එක්ක එකතු වෙන්නේ. රත්නතුරෙයිගේ ගම ත්‍රිකුණාමලය. ඔහු අපට පසුව ආරාධනා කළා ත්‍රිකුණාමලයේත් නාට්‍ය පෙන්වන්න කියලා. දකුණේ නාට්‍ය 2 ක් ඔවුන් තේරුවා. එකක් මනමේ. අනික ට්‍රෝජන් කාන්තාවෝ.

ඔබ ඛේදවාචකය ගැන රටම දැනුවත් කළ වග පැහැදියි. මේ වගේ වකවානුවක නැවත ට්‍රෝජන් කාන්තාවෝ ගෙන එන අරමුණ මොකක්ද?

මට පේනවා නැවත ජාතිවාදී ස්වරූපයකට රට ඇදගෙන යනවා කියලා. මං හිතුවා මේක තමයි හොඳම කාලය නැවත ට්‍රෝජන් කාන්තාවෝ වේදිකාවට ගේන්න කියලා. අපි අවුරුදු 30 ක් තිස්සේ විඳවපු විඳවිල්ල ගැන සිහියක් තියෙන මිනිහෙක් ආයෙත් ජාතිවාදයක් ගැන කතා කරන්නේ නැහැ.

ඔබ මනුෂ්‍යත්වය සම්බන්ධ දේවල්වලදී එල්. ටි. ටී. ඊ. ය සමඟින් සංවාදයක් හදා ගත්තා?

කලාකාරයෝ කියන්නේ යුද්ධයට සහාය දක්වන ජාතියක් නෙවෙයි. යුධවාදය ප්‍රතික්ෂේප කරන ජාතියක්. ඒක අපේ මෙහෙවර. ඒ මෙහෙවර මම කළා. අදටත් කරනවා. මේ සිද්ධීන් නිසා මට චෝදනා කළා මම කොටි හිතවාදී කියලා. කොටි හිතවාදී නාට්‍ය හැදුවා කියලත් චෝදනා කළා. කෙනෙක් සාවධානව හරි කල්පනාවකින් නාට්‍ය බැලුවා නම් ඔය වගේ දේවල් ඔළුවට එන්නේ නැහැ.

ඔබේ ට්‍රෝජන් කාන්තාවන්ගේ හෙකාබේ හෙවත් අනෝජා මෙහිදී යුධ ඛේදවාචකයේ ප්‍රබල සංකේතයක්. නැවත යාපනයට යන්න අදහසක් නැද්ද හෙකාබේව අරන්?

නැතුව නෙවෙයි. අදටත් මම හිතනවා ට්‍රෝජන් කාන්තාවෝ බලපු පරණ මතක තිබෙන පිරිසක් එහේ ඇති. එනවා නම් ඒ අය එයි බලන්න. එදා යුද්ධයක් තිබ්බා. අද නැහැ. ඒ නිසා එහේ තිබෙන වටපිටාව පරිසරය අද වෙනස්. එදා සාකච්ඡාවට ගත්ත දේවල් අද සාකච්ඡාවට එන එකක් නැහැ. ඒ වෙනුවට අලුත් සාකච්ඡාවක් ආදේශ වෙයි.

සංඛ්‍යා ලේඛන අනුව උතුරේ යුධ වැන්දඹුවන් සංඛ්‍යාව 45,000 ක්. ඇයි ඔබ ට්‍රෝජන් කාන්තාවෝ අරන් උතුරේ හතර කොනේ යන්නේ නැත්තේ?

අපට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි භාෂා ප්‍රශ්නෙ. දෙවැනි භාෂාව කියන්නේ මුළු රටේම තිබෙන අවුලක්. අපිට දෙමළ බැහැ. දෙමළ අයට සිංහල බැහැ. කරන්න තිබෙන ලොකුම දේ තමා දෙමළ පිටපතක් සකසලා වෙනම නිෂ්පාදනයක් කරලා ඒ ජනතාවට පෙන්වන එක.

ඔබේ ට්‍රෝජන් කාන්තාවෝ හි කාන්තාවන්ගේ සමාජ තත්ත්වය බැලුවොත් ඔවුන් ප්‍රභූ පැලැන්තියේ කාන්තාවන්. ඒ කාන්තාවන් සහ ඔබේ භූමියේ අමතන කාන්තාවන් අතර විශාල අසමානකමක් තිබෙනවා නේද?

ඔව්. ඔවුන් ඉහළ ස්ථරයක හිටිය කාන්තාවන්. නමුත් ඛේදවාචකයත් එක්ක ඔවුන් පහතට වැටෙනවා. එහිදී වෙන්නේ හෙක්ටර්ගේ දරුවව මරනවා. ඇස්ටියනාක්ස් කුමරුව මරණවා කියන්නේ සියල්ලෝම අනෙක් පැත්තට කම්පනයෙන් ප්‍රශ්න කරනවා ඒ දරුවා මොන වැරැද්දක් කළාට ද මරන්නේ. ඒ කම්පනය ඔය කියන තැනදී සමාන වෙනවා.

ඔබට හිතෙන්නේ නැද්ද අප මේ ඛේදවාචකය විඳිමින් ඉන්නා අතරේ නිර්මාණකරණයේදී මේවා ඇති කරන දේශපාලකයන් මීයන් මෙන් පැන ගිහින් කියලා. මම යෝජනා කරනවා නිර්මාණකරුවෝ හිතාමතාම සිදුරු හදලා ඔවුන්ට පැන යන්න දුන්නා කියලා?

එකක්. අපිට හම්බවුණේ කිසිම අරගලයක් කරලා නැති, නිකම්ම උඩින් පාත් වෙච්ච නිදහසක්නේ. සමාජයක් හැටියට නිදහස කියන දේ ගැන හැඟීමක් නැත්තේ ඒකනේ. මේක ව්‍යාධියක්. මේක හැම තැනම තිබෙනවා. කෙටින්ම කලාකාරයෝත් රට කරවන ආණ්ඩු පස්සෙම වැටිලා ඉන්නේ ඒ කාරණය නිසානේ.

අනෝජා වීරසිංහ අදටත් ට්‍රෝජන් කාන්තාවන්ට ආලෝකයක් නේද?

අනෝජා කිව්වා ඇය ගොඩක් දේවල් ඉගෙන ගත්ත නාට්‍යයක් තමයි ට්‍රෝජන් කාන්තාවෝ කියන්නේ කියලා. ඇය නාට්‍යයට උචිතම ශෛලියක් ගේනවා. ඒකට ඇයගේ පසුබිම බලපෑවා. එකක් ඇය පිටරට අධ්‍යාපනය තුළින් ගෙනාපු දේවල්. අනෙක් දේ ඇය යෝග කරන කෙනෙක්. ඒ නිසාම මේ නාට්‍යයට මට වෙන කෙනෙක් ට්‍රේන් කරන්න කිිසිම උවමනාවක් තිබුණේ නැහැ. අමෝජාගේ වෙලාවල්වලටම තමයි නාට්‍යයේ පුහුණුවීම් එහෙමත් සිද්ධ වෙන්නේ.

නුවරක් දිනන්නට එම නුවර වනසා, එහි වෙසෙන දන නසා බැති පුද ලබන දේවපුදසුන් ද, මළවුන් නිසලව සැතපෙන සොහොන් කොත් ද, වනසාලන යම් අමනයෙක් වේ ද, සිදු කරන්නේ හෙතෙම තම වටා කතරක් ඉදි කොට ඌද නැති වී නැසී යාමය . . .

- යුරිපිඩීස් -