වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝති සමරා සිනමා තරු ගී ගයති

ජෝති සමරා සිනමා තරු ගී ගයති

එච්. ආර්. ජෝතිපාලයන්ගේ තිස්වැනි ගුණ අනුස්මරණය සමරමින් අති දැවැන්ත උපහාර ගී ප්‍රසංගයක් මෙම මස 07 වැනිදා සවස ජාතික චිත්‍රපට සංස්ථාව 'තරංගනී ශාලාවේදී පැවැත්වේ. රවින්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, කලීටස් මෙන්ඩිස්, බන්දු සමරසිංහ, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, විශ්ව කොඩිකාර, අනුෂා දමයන්ති, සහන් විජේසිංහ, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ සහ වසන්ත කුමාරවිල මෙහි ගායන දායකත්වය සපයති. ජීවන් හඳුන්නෙත්ති සංගීතය මෙහෙය වන මෙම ප්‍රසංගය පද්මසිරි කොඩිකාරගේ සංවිධානයකි.


ධම්මිකගේ තිත 7 දා

රංගන ශිල්පියෙකු වන ධම්මික හෙට්ටිගේ රචනා කොට අධ්‍යක්ෂණය කළ තිත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මෙම මස 07 වැනිදා සවස තුනට හා පහට කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයීය රංග ශාලාව්දී වේදිකා ගතවේ. කුසුම් මල්දෙණිය, ධම්මික ජයශාන්ත, හර්ෂණ සෝමරත්න, ශලිකා සසන්ති රාජසිංහ, මයුර නිසල් පෙරේරා සමඟ ධම්මික හෙට්ටිගේ ද මෙහි ප්‍රධාන චරිත රඟපාති.

එම්. චමිල් දසනායක සහාය අධ්‍යක්ෂණයෙන් ද, ධම්මික ශාන්ත හා හර්ෂණ සෝමරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වන තිත වේදිකා නාට්‍යය ධම්මිකගේ දෙවන වේදිකා නාට්‍ය නිර්මාණය වේ. මීට පෙර සමාජ අසාධාරණය වෙනුවෙන් නිර්මාණය කළ නෙත් නාට්‍ය අධ්‍යක්ෂණය කළ ධම්මික මත් උවදුර පිටුදැකීම තේමා කොට මෙවර තිත නාට්‍ය නිර්මාණය ඉදිරිපත් කොට ඇත. 'මත් උවදුර දුරු කරන්නට පළමු වෙඩි මුරය තබන්නෙමු' යන්න තේමා කොට පාසල් දරුවන් ඉලක්ක කොට දරුවන් මත් උවදුරට ගොදුරුවීමේ වියසනය වලකාලීමේ පරමාර්ථය කැටිකොට ධම්මික මෙම නාට්‍ය නිර්මාණ කොට ඇත.

වසර තිහක පටන් කලා නිර්මාණයන්ට විවිධ අයුරින් දායක වන ධම්මික වේදිකා නාට්‍ය නිර්මාණ, ටෙලි නාට්‍ය, චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇත. ආදරෙයි මං ආදරෙයි, ඇලඩින් ඇන්ඩ් ජමිලා ආදී නාට්‍ය සඳහා හඬකැවීම් ශිල්පියෙකු ලෙසින් ද දායක වී ඇත.

ඉසුරු සංග්‍රාමය, ඡායා, ආදර දෑසක්, පැහැසරා, නිසල සඳ ඔබ, සුජාතා, සමනලුන් පියාඹයි, යාය හතර, සකිසඳ සුවාරිස්, මහින්සා ආදී ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ධම්මික සිරස නාළිකාවෙන් විකාශය වන රතු පිච්ච ටෙලි නාට්‍යයෙන් මේ දිනවල ප්‍රේක්ෂක හමුවට පැමිණේ. හිතුවක්කාරයෝ, සුදු අඳුර ටෙලි නිර්මාණ ඔස්සේ ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට මතක හිටින චරිත කිහිපයකින් සමීපවීමට බලාපොරොත්තුව සිටින ධම්මික ඇඩ්ඩ්‍රස් නෑ, ඩොක්ටර් නවරියන් ආදී චිත්‍රපටවල ද රඟපා ඇත.


කුංකුණාවේ යතිවර විත්ති

තිස්ස මාලගමුව විසින් රචිත 'කංකුණාවේ යතිවර විත්ති' කෘතිය නිපුන් ප්‍රකාශනයක් ලෙසින් එළිදක්වා ඇත. සංස්කෘතික අමාත්‍යාංශය විසින් පවත්වන අත්පිටපත් තරගයේ ජනශ්‍රැති අංශයේ පසුගිය 2016 වසරේ දෙවන ස්ථානය දිනා ගත් 'කංකුණාවේ යතිවර විත්ති' කෘතිය උඩරට රාජධානියේ අවසන් කාර්තුවේ විසූ මල්වතු මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කුංකුණාවේ ශ්‍රී සුමංගල මහ තෙරුන් වහන්සේ හා බැඳී විස්මිත මෙන්ම රසාලිප්ත කතාංග ඇතුළත් වේ.


ගෞතම බුද්ධ චරිතය-05 අසිරිමත් සිංහනාදය එළිදකී

'අපේ බුදු හාමුදුරුවෝ' ග්‍රන්ථය ඇතුළුව බෞද්ධ ග්‍රන්ථ රැසක් රචනා කළ දමයන්ති ජයකොඩිගේ නවතම බෞද්ධ කෘතිය 'ගෞතම බුද්ධ චරිතය - 05 අසිරිමත් සිංහනාදය' ජූලි 11 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස් මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී නිකුත් කෙරේ.

'ගෞතම බුද්ධ චරිතය - 05 අසිරිමත් සිංහනාදය' කෘතියේ අප බුදුරාජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ රාජ්‍යෙයහි අභිසෙස් ලබා උතුම් දම්සක් දෙසන්නට බරණැස ඉසිපතනයට වැඩි සොඳුරු ගමනත්, දස දහසක් සක්වල කම්පා කරමින් පස්වග භික්ෂූන් වහන්සේලා ඇතුළු කෝටි ප්‍රකෝටි දෙව් බඹුන්හට දේශනා කරන ලද අසිරිමත් සිංහනාදයත් සරල බසින් ඉදිරිපත් කොට ඇත.