වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




අධිරජ ධර්මාශෝක ධර්මා

අධිරජ ධර්මාශෝක ධර්මා

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා වෙයි

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම සිනමා නිර්මාණය වූ බිම්බා දේවිය හෙවත් යශෝධරා හි යශෝධරා ලෙස චරිත නිරුපණය කරනුයේ පල්ලවි සුභාෂ්ය. අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍ය මාලාවේ ධර්මාගේ චරිතය නිරුපණය කරමින් ජනහද දිනාගත්තීය. නිරූපිකාවක ලෙස ක්ෂේ්ත්‍රයට එක් වූ පල්ලවී මහා රාශ්ට්‍රයේ නිළියකි. මරාති චිත්‍රපට 12 ට වැඩි සංඛ්‍යාවක චරිත නිරූපණය කළ ඇය මහා භාරත් ටෙලි නාට්‍ය මාලාවේ රුක්මණී ලෙස චරිත නිරූපණය කළාය. එම සිනමාපටයේ සිද්ධාර්ථ වනුයේ ඒ. චෞද්‍රිය. ලැන්කැස්ටර් ග්‍රෑන්ඩ් තියටර් හි රඟපෑම පිළිබඳ හදාරා ඇති ඔහු ලන්ඩන් ඇක්ට්‍රස් ටෙම්පල්හි ශිෂ්‍යයෙකි. මෙහි සෙසු චරිත දිනෙත් ද සිල්වා, සංගීතා තදානි, අජිත් වීරසිංහ, උදාරි පෙරේරා, හේෂාන් මනුල, ශම්මු කසුන්, කමල් දේශප්‍රිය, තුමිඳු දොඩන්තැන්න, රුවී ලක්මාලි, මිල්ටන් ගුණරත්න, ඇන්ට්‍රා ග්‍රේ, නෙත්සුක මුළුතැන්රාල ඇතුළු පිරිස නිරූපණය කරයි.


තානාපතිලාගේ ගෙදර විශේෂ දර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

නලින් මාපිටිය අධ්‍යක්ෂණය කළ ඔහුගේ සිනමා සිතුවම වන තානාපතිලාගේ ගෙදර විශේෂ දර්ශනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. මේ සඳහා මහා සංඝරත්නයට ද ආරාධනා කොට තිබූ අතර මැති ඇමතිවරුන් ඇතුළු විද්වත් පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ. මෙය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

බුද්ධදාස විතානාච්චි, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රීයන්ත මෙන්ඩිස්්, පාලිත සිල්වා, ජනක කුඹුකගේ, ජනක් ප්‍රේමලාල්, දිල්හානි ඒකනායක, රොෂාන් රවීන්ද්‍ර, බිමල් ජයකොඩි, රොෂාන් පිලපිටිය, හිමාලි සිරිවර්ධන, සචිනි අයේන්ද්‍රා, සාරංග දිසාසේකර, උමාලි තිලකරත්න, සූර්යා දයාරුවන්, ගංගු රොෂානා, මනෝහරි විමලතුංග, රත්නා ලාලනි, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රසන්නජිත් අබේසූරිය, සම්පත් තෙන්නකෝන්, චින්තක කුලතුංග, රිචඩ් මානමුදලි, රුවන් වික්‍රමසිංහ, දිමුතු චින්තක, කමල් දේශප්‍රිය, වසන්ත විට්ටච්චි, කුමුදු නිශාන්ත, විල්මන් සිරිමාන්න, අචල වල්පොල ඇතුළු නළු නිළියන් විශාල ප්‍රමාණයක් තානාපතිලාගේ ගෙදර රංගනයෙන් හැඩ කරති. අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදන සැලසුම්කරණය සහ තිර රචනය ද නලීන් මාපිටියගෙනි. නිෂ්පාදන සම්බන්ධිකරණය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගෙනි. චමින්ද උඩවෙල සහාය අධ්‍යක්ෂණයෙන් ද, සුමින්ද අරුණලු කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද මෙයට දායක වී තිබේ. ධම්මික හේවාදුවත්තගේ කලා අධ්‍යක්ෂණයකි. සමීර මධු කිඳෙල්පිටිය අංග රචනා ශිල්පියාය. දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය. අජිත් රාමනායකගේ සංස්කරණයකි.

තානාපතිලාගේ ගෙදර ළඟදීම තිරගතවීමට නියමිතය.


සිතේන්ද්‍ර සේනාරත්න චිත්‍රපට සංස්ථා මුල් පුටුවට

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස සිතේන්ද්‍ර සේනාරත්න මහතා පසුගියදා රාජකාරි බාර ගන්නා ලදී. කීර්තිමත් ව්‍යාපාර පරිපාලකයකු වූ සේනාරත්න මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු කලක් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය ද දැරුවේය.

චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ප්‍රවීණ නිළි සනෝජා බිබිලේ, සම්මානනීය සිනමාවේදී බෙනට් රත්නායක සහ කලක් එම මණ්ඩලයේ සාමාජිකාවකව සිටි මුල්ම සේවකයන්ගෙන් කෙනෙක් වූ වයලා දයාරත්න මහත්මිය පත්වීම් ලදහ. ක්‍රියාකාරි අධ්‍යක්ෂධුරයට පත්වූයේ ආනන්ද බණ්ඩාර දිසානායකයි. මේ සභාපතිතුමන් රාජකාරි ආරම්භ කළ මොහොතයි.


ජෝති සමරා පහන් පූජාවක්

අසහාය ගායන ශිල්පී එච්. ආර්.ජෝතිපාලගේ තිස් වැනි ගුණ අනුස්මරණය නිමිති කරගනිමින් මල් පහන් පූජාවක් මෙම මස 06 වැනිදා එනම් අද සවස පහට කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වේ. ඉන් අනතුරුව පූජ්‍ය පණ්ඩිත දර්ශනපති වතුරවිල සිරිසුමන ස්වාමීන් වහන්සේ දහම් දෙසුමක් ද පවත්වති. මේ සඳහා එච්. ආර්. ජෝතිපාල පදනමේ සභාපති, ජෝති දියණි ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහි සාමාජික සාමාජිකාවන් සහභාගී වනු ඇත. හෙට දිනයේ සවස 3.30 ට බොරැල්ල සුසාන භූමියේ ජෝති සමරු ඵලකය අභියසදී පුෂ්පෝපහාරයක් ද පැවැත්වේ. මෙම මස 09 වැනිදා සවස බොරැල්ල මැගසින් පාරේ ප්‍රජා ශාලාව අසලදී ජෝති උපහාර ගී ප්‍රසංගයක් ද සංවිධානය කොට ඇත.


 

මමෝ-චාන්දනී-කෞශල්‍යා-ලක්ෂ්මන්-ජයනි-නයනා ප්‍රබල චරිත නිරූපණයක

හීන හොයන සමනල්ලු තැනූ රොහාන් පෙරේරා තෙවැන්න අරඹයි

කැපිටල් මහරාජා නිෂ්පාදනයක්

නිෂ්පාදනය කළ ධර්ම යුද්ධය ලබන 14 වැනිදා තිරගතවීමට තිබියදී සීමාසහිත කැපිටල් මහරාජා සමාගම තවත් සිනමාපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වේ. එලෙස නිෂ්පාදනය වන නවතම සිනමාපටය නම් කර ඇත්තේ ගෝල් නමිනි. හීන හොයන සමනල්ලු නමැති සංවේදී ළමා සිනමාපටය අධ්‍යක්ෂණය කළ රොහාන් පෙරේරා ගෝල් හි අධ්‍යක්ෂවරයයා. මේ ඔහුගේ තෙවැනි සිනමාපටය වේ. රොහාන්ගේ දෙවැනි සිනමාපටය වනුයේ ඒ ලෙවල්ය. ගෝල් සිනමාපටයේ ජයලත් මනෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක, ලක්ෂ්මන් මෙන්ඩිස්, නයනා හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂවරයාය. නාරද තොටගමුවගේ අංග රචනයකි. නිෂ්පාදන කළමනාකරණයෙන් රාජා රණසිංහ ද සහාය අධ්‍යක්ෂණයෙන් අශෝක ආතවුදහෙට්ටි ද දායක වෙයි. කුමාර කරව්දෙනිය කලා අධ්‍යක්ෂවරයාය. අජිත් රාමනායකගේ සංස්කරණයකි.

මහරාජා සමාගම චිත්‍රපට නිෂ්පාදනයට මුල පිරුවේ 1982 වසරේ දී 'තී' නම් දමළ චිත්‍රපටය නිපදවමිනි. එහි ප්‍රධාන චරිත රඟපෑවේ රජිණි කාන්ත්ය. ශ්‍රීපියා, සෝභා, ඒ. වී. එම්. රාජන්, මේජර් සුන්දර්රාජන්, සෞකර් ජානකී, තමරා සුබ්‍රමනියම් ඇතුළු නළු නිළියන් රැසක් රඟපෑ එම චිත්‍රපටය සම්පූර්ණයෙන් රූ ගැන් වූයේ ලංකාවේදීය.


සලපතල මළුව සියතට

රිම්සි හොසන් අධ්‍යක්ෂණය කරන පොහොය ටෙලි නාට්‍ය මාලාව සලපතල මළුව මෙම මස 8 වැනිදා එනම් එන පොහොයදා සිට රාත්‍රී 7.00 ට සියත නාලිකාවේ විකාශය ඇරැඹෙයි. නිරෝෂන් විජේසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ, කුසුම් මල්දෙනිය ඇතුළු පිරිස මෙහි චරිත මවයි. මෙහි පළමු කථාංගය වනුයේ ඉරබටු තරුව වෙයි.


උරුමය ටී. එන්. එල්.

මෙරට ස්වභාව සෞන්දර්ය, ඉපැරණි ශිල්පීය ක්‍රම, සම්ප්‍රදායික සිරිත් විරිත් සහ අපේ දායාදයන් සොය යන උරුමය ශ්‍රී ලංකා වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම සවස 6 ට ටී. එන්. එල්. නාළිකාව ඔස්සේ විකාශය වේ. ටී. එන්. එල්. සභාපති ශාන් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂිකා ඉෂිණි වික්‍රමසිංහගේ පූර්ණ අධීක්ෂණයෙන් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කෙරෙන මෙය ටෙරාන් කරන්නාගොඩගේ අධ්‍යක්ෂණයකි. පසුබිම් කතනය සංජීව මශාන්ගෙනි. කැමරාකරණයෙන් අජිත් කුමාරගේ සහ සංස්කරණයෙන් සුජීව ප්‍රියදර්ශන උරුමය ශ්‍රී ලංක සඳහා එක් වෙති.