වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




පුණ්‍යාගේ පිංතූරය රාමුකර ලකුණුත් ලැබුණා

පුණ්‍යාගේ පිංතූරය රාමුකර ලකුණුත් ලැබුණා

සරසවි පොත් ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි

කලාව කියන්නේ වින්දනයක්. මම කලා කටයුතුවලට දායක වීමෙන් ඒ වින්දනය බලාපොරොත්තු වෙනවා. එය ලබනවා. ගීතයක් ශ්‍රවණය කළත් එහි ශබ්ද රසය වගේම අර්ථ රසයත් විඳීන්න පුළුවන්. චිත්‍රපට විතරක් නෙවෙයි. අපි කරන දේවල්වල පවා කලාවක් තියෙනවා. අපි අපේ වැඩ පිළිවලට කරනවා නම් ඒකත් කලාවක්. අපේ ආයතන පවා අනෙකුත් තැන්වලට වඩා ලස්සනට පිළිවෙලට තියාගන්න උත්සාහ කරනවා. මොකද මම පිළිවෙල ඉහළින්ම අගය කරන කෙනෙක්. අපි සිටින තැන් පවා කලාත්මක විදියට තබා ගැනීම වැදගත්.

කලා ක්ෂේත්‍රයෙන් බැහැරවද කලාවට ලැදි කලා හැකියා ඇති බොහොමයක් දෙනා හමු වෙනවා. ඇතැමුන් වෙනත් ක්ෂේත්‍රයන්හි වගකීම් දරමින් කලා නිර්මාණ බිහිකරන විටදී තවත් පිරිසක් එලෙස කලා නිර්මාණ බිහි කිරීමට නන් අයුරින් දායකවනු දැකිය හැකියි. අද අපට හමුවූයේ එවැන්නෙකි. 'බිත්ති හතර' චිත්‍රපටය නිෂ්පාදනයෙන් සිනමා ලොවට පිවිස ඉන් අනතුරුව 'පවන රළු විය', 'ආකාස කුසුම්', 'කුස පබා', 'Silent in the Court', 'සක්කාරං' චිත්‍රපට නිෂ්පාදනය කළ ඔහු මෙරට අපේ සුප්‍රකට පොත් ප්‍රකාශකයෙකු වන සරසවි ප්‍රකාශන සමාගමේ අධිපති එච්. ඩී ප්‍රේමසිරි. ඔහු මෙවර රයිගම් සම්මාන උලෙළේ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය දිනූ 'තනි අතට යන පාර' ටෙලි නාට්‍යයේ එක් නිෂ්පාදකවරයකු ද වේ.

ව්‍යාපාරිකයකු ලෙසින් කටයුතු කරන අතරතුරදී චිත්‍රපට නිෂ්පාදනය සමඟින් කලාවට වූ ළෙංගතුකම ගැන ඔහු සිය කතාව ආරම්භ කළේ මෙලෙසින්.

"මට වයස අවුරුදු දහයේ විතර පටන් මට පොත පත ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ පාදුක්කේ තිබුණු පොත් සාප්පුවේදී තමයි මුලින්ම පොත් කියවන්න පුරුදු වුණේ. ඒ කාලයේ කුමර කතා, සුරංගනා කතා වගේ පොඩි පොඩි පොත් තමයි තිබුණේ. කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත පොත පිටවෙනකොට මගේ වයස වයස අවුරුදු දහහතක් විතර ඇති. එතකොට අපේ අක්කා මහරගමට මැහුම් පංති එනවා. අක්කා අපේ මහරගම සරසවි පොත් සාප්පුවෙන් ගොළු හදවත පොත අරගෙන ආවා. මම ආසාවෙන් කියවපු පළමු නවකතාව ගොළු හදවත නවකතාව යි."

කලාවට දායක වෙන්නත් පොත් කියවීමද බලපෑම් කළේ?

පොත පතට තියෙන ලැදියාව වගේම මං ගොඩක් ආසා කළ දෙයක් තමයි ඡායාරූපකරණය. වයස අවුරුදු පහළොවක් විතර වෙනකොට මට කැමරාවක් ලැබුණා. ජෙසිකා මිනිස්ටර් ඩී. ඒක ඒ කාලේ තිබුණු හොඳම කැමරාවක්. ඒ වෙනකොට ස්ටුඩියෝ එකක් කරන්නත් ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාවේ බලපෑමක් විදියට තමයි පසුව සේයා කලර් ලැබ් ආයතනය ආරම්භ වුණේ. ඡායාරූප ගන්නෙ නම් ඉතින් විනෝද ගමන් යනකොට තමයි. විශේෂයෙන්ම කියලා ඡායාරූපකරණයට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ නැති තරම්.

ඒ කාලේ වෙසක් කාඩ් නිර්මාණය වෙලා තිබුණේ මොකක් හරි පින්තූරයක් අලවලා ඒකට කවියක් ලියලා. ඒ නිසා අනුරාධපුර, පොළොන්නරුව වගේ සිද්ධස්ථාන වලට ගිහින් පින්තූර අරගෙන ඇවිත් මහරගම සරසවි පොත්හලේ උඩුමහලේ මම හදලා තිබුණු පොඩි ඩාර්ක්රූම් එකේදී ප්‍රින්ට් කරලා වෙසක් කාඩ් හැදුවා.

තරුණ වියේදි චිත්‍රපට නරඹන්නත් ලොකු කාලයක් වෙන් කළා නේද?

මං ඉගෙන ගත් හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරය තිබුණේ නිමාලි චිත්‍රපට ශාලාව පිටුපස. අවසර නැතත් අපි නිතරම චිත්‍රපට බැලුවා. යාළුවෝ එක්ක හොස්ටල් එකෙන් හොරෙන් ගිහින් ගැලරියේ ඉඳගෙනයි චිත්‍රපට බැලුවේ. ඒ කාලේ හෝල් එකට එන හැම චිත්‍රපටයක්ම නරඹන්න අපි පුරුදු වෙලා හිටියා. ඒකට හරියන යාළුවෝ කණ්ඩායමකුත් හිටියා. හොස්ටල් එක තිබුණේ පොල් වත්තක් මැද. ගස් නඟින්න පුළුවන් අය රෑට කුරුම්බා කඩනවා. ඉස්කුරුප්පවකින් හිල් කරලා තමයි කුරුම්බා බොන්නේ.

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ, විද්‍යා අශයෙන්. විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණු නිසා මහරගම බාප්පාගේ පොත් සාප්පුව බලාගන්න මට භාර දුන්නා. එදා පටන් මහරගම සරසවි පොත් සාප්පුව බලාගත්තේ මම. එහි වැඩ කරන ගමන්ම පොත පත ගොඩක් ඇසුරු කළා. අනූෂා, නැෂනල්, ලැවීනියා, එතැනත් වටේම චිත්‍රපට ශාලා. වැඩ ඉවර වෙලා රෑට කරන්නේ යාළුවෝ එක්ක චිත්‍රපට බලන එක තමයි.

ඒ කාලයේ කැමැතිම නිළියක් එහෙම ඉන්න ඇති?

'කුරුළු බැද්ද' චිත්‍රපටය නරඹලා පාසල් වියේදි කැමැතිම නිළිය වුණේ පුණ්‍යා හීන්දෙණිය. හත, අට වසරවලදී අපට ඉස්කෝලේ ළමා අත්වැඩ කරන්න තිබුණා. ඒකට මම පුණ්‍යාගේ පිංතූරයක් රාමු කළා. ඒක ශ්‍රී සඟරාවේ තිබුණු පිංතූරයක්. මට ඒකට ලකුණුත් ලැබුණා. ඊට පස්සේ මම ඒක මගේ කාමරේ තියාගෙන හිටියා.

සිනමාව, සාහිත්‍ය, ඡායාරූපකරණය මේ හැම දේටම ලැදි වුණු ඔබට රංගනයට එහෙම ආසාවක් ඇති වුණේ නැතිද?

රඟපාන්න නම් ආසා හිතුණේ නැහැ. ඒක ඉතින් වෙනම දෙයක් නේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න නිසා එහෙම හිතෙන්න නැතුව ඇති.

කලාවට ලැදියාව ඇති වෙන්න පවුලෙන් යම් බලපෑමක් තිබුණා ද?

මගේ පවුලේ අය නම් කලාවට කිසිම සම්බන්ධයක් නැහැ. මගේ දෙමව්පියන් නැතිවෙලා තියෙන්නේ මට අවුරුදු දහයේදී විතර. මට සහෝදරියෝ තුන්දෙනෙක් ඉන්නේ. මම හැදුනේ වැඩුනේ පාදුක්කේ බාප්පා ළඟ. මං හිතන්නේ, මම කලාවට ලැදි වෙන්න ලොකු බලපෑමක් කළේ ඡායාරූපකරණය සහ පොත පත ඇසුර යි.

මහරගම පොත් සාප්පුවේ ඉන්න කාලයේදී ජී. ඩි. එල් පෙරේරාගේ කලා පෙල ඇසුරු කරන්න ලැබුණා. එතැනදී කලාකරුවන් වගේම කලාවට ලැදි බොහෝ දෙනා මට ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා.

රෝහණ වෙත්තසිංහ, රාජා ටී. බස්නායක අපි කට්ටිය එකතු වෙලා පිටපතක් එහෙම ලියාගෙන චිත්‍රපටයක් කරන්න ලෑස්ති වුණා. ඒක අපට කරන්න ලැබුණේ නැහැ. 1975 දී විතර සුගතපාල ද සිල්වාගේ බිත්ති හතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබුණේ ඊට පසුවයි. ඒකට මම සල්ලි ටිකක් දැම්මා. බැංකු ණයකුත් ගත්තා. හැබැයි චිත්‍රපට නම් පාඩු වුණා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම එක්තරා අන්දමක අභියෝගයක් නේද?

පාඩු වුණත් හොඳ චිත්‍රපටයක් කරන්න, ප්‍රේක්ෂයා නරඹන චිත්‍රපටයක් කරන්න ආසාව තියෙනවා. චිත්‍රපට නිර්මාණය කරන්නෙත් ලාබ ලැබීමේ අරමුණෙන්ම නෙවෙයි. ඒ වගේම චිත්‍රපටයක් නිර්මාණය කරලා ඒකට සම්මාන ලැබෙනවා වගේම හොඳම චිත්‍රපටයක් කළා යැයි හිතට දැනෙන සතුටත් ගොඩක් විශේෂයි.

කලාව ඔබට දැනෙන අයුරු වගේම එය ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේ ද කියා දැන ගන්නත් කැමැතියි?

කලාව කියන්නේ වින්දනයක්. මම කලා කටයුතුවලට දායක වීමෙන් ඒ වින්දනය බලාපොරොත්තු වෙනවා. එය ලබනවා. ගීතයක් ශ්‍රවණය කළත් එහි ශබ්ද රසය වගේම අර්ථ රසයත් විඳීන්න පුළුවන්. චිත්‍රපට විතරක් නෙවෙයි. අපි කරන දේවල්වල පවා කලාවක් තියෙනවා. අපි අපේ වැඩ පිළිවලට කරනවා නම් ඒකත් කලාවක්. අපේ ආයතන පවා අනෙකුත් තැන්වලට වඩා ලස්සනට පිළිවෙලට තියාගන්න උත්සාහ කරනවා. මොකද මම පිළිවෙල ඉහළින්ම අගය කරන කෙනෙක්. අපි සිටින තැන් පවා කලාත්මක විදියට තබා ගැනීම වැදගත්.

ඔබ මේ දිනවල කතාබහට ලක් වූ සිනමා නිර්මාණයක් බිහි කිරීමේ කාර්යයට දායක වෙනවා නේද?

යශෝදරා චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ විශේෂත්වයක් තියෙනවා. එතැනදී මට වුවමනා වුණේ ප්‍රේක්ෂකයාට දැනෙන දෙයක් කිරීමයි. මේ නිර්මාණයට ප්‍රේක්ෂකයා ආකර්ශනය වේවි කියලා මම හිතනවා. ප්‍රේක්ෂකයා සතුටු වෙනවා වගේම සිනමා ශාලාවලටත් හොඳ කාලයක් උදා විය යුතුයි. ඒ නිසා අපි කරන නිර්මාණය අති සාර්ථක නිර්මාණයක් බවට පත් වෙනවා දකින්න ආසයි.

ඔබ කලා කටයුතුවලට දායකවන විටදී පවුලේ උදවිය ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයක්ද?

මගේ බිරිය උපාධිධාරිණියක්. කලක් ඇය ගුරුවරියක ලෙසින් සේවය කළා. ඇයත් ව්‍යාපාරික කටයුතුවලට වගේම කලා කටයුතුවලටත් දායක වෙනවා. පුතා සහ දියණිය ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. දියණිය නම් කලාව සමඟ එතරම් සබඳකමක් නැහැ. මගේ පුතා නම් චිත්‍රපට පිස්සෙක්. ඔහු එංගලන්තයේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ තොරතුරු තාක්ෂණ අංශයෙන්. ඔහු සතුව තිබෙන චිත්‍රපට ගොන්න දැක්කාම නම් හිතෙන්නේ කරලා තියෙන්නේ චිත්‍රපට බලන එකම විතරයි කියලා. ඉදිරියේදි පුතාත් කලා ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කරයි කියලා හිතෙනවා.

මේ වන විට ලෝකය ගොඩක් දියුණු වෙලා. අද කලාව සහ එදා කලාව අතර වෙනස ඔබට දැනෙන්නේ කෙසේද?

මං එදා කලාවට හරිම ආසයි. එදා කලාව නවීණ තාක්ෂණයෙන් දුරස් වී තිබුණත් එයින් අප ලද දේ බොහෝයි. එදා කැමරාවක් පාවිච්චි කරනකොට ඉගෙන ගන්න බොහෝ දේ තිබුණා. ඒ විතරක් නෙවෙයි හොඳ කැමරාවක් හොයා ගන්න එකත් අපහසු දෙයක්. අද එහෙමද ජංගම දුරකථනයේ පවා කැමරා තියෙනවා. දැන් ඡායාරූපයක් ගන්නවා කියන එක හරිම සරළ දෙයක්. එදා එහෙම නැහැ. මට හිතෙන්නේ දැන් පවතින දියුණුව වැඩියි. වැඩත් අධිකයි. වැඩවලින් මිදුනාම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. එවිට කලා කටයුතුවලට දායක වෙන්න ලැබීම සතුටක්.