වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘එදා චිත්‍රපට රිදීවලට විකුණා. රෑට බුරියානි පාටි දාලා’
ආචාර්ය ලෙස්ටර්ගේ සිහිනය සැබෑ වෙන ලකුණු?

‘එදා චිත්‍රපට රිදීවලට විකුණා. රෑට බුරියානි පාටි දාලා’

දම්මිත් ෆොන්සේකා හෙළි කරන කතාව

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ට පෞද්ගලිකව කෙතරම් සැබෑ කරගන්නට යෙදුණු සිහින තිබුණාදැයි අපි හරිහැටි නොදනිමු. එහෙත් එතුමන්ට තිබුණු සිහිනයක් මුළු රටම දන්නා සිහිනයක් වූ බව සිනමාව ඉව කළවුන් හොඳින්ම දනී. ඒ අන් කිසිවක් නොව රටේ චිත්‍රපට උරුමය පවත්වා ගැනීම අරමුණු කොට ගත් සංරක්ෂණාගාරයක අවශ්‍යතාව 60 දශකයේ පටන්ම සමාජයට කාන්දු කළේ ආචාර්ය ලෙස්ටර් වීමයි. 60 දශකයේ නිර්දේශ කාලයාගේ ඇවෑමෙන් දූවිලි කන්නට වූ නිසා එය සිහිනයක් ලෙසට එතුමන්ගේ හිතේ තැන්පත් වන්නට ඇත. සිනමා සංරක්ෂණය යනු එතරම්ම සරල කරුණක් නොවේ. ගබඩා කර තැබීම, වීඩියෝ මාධ්‍යයට හැරවීම හෝ ඩිජිටල් මාධ්‍යයෙන් රූප යළි සැකසීම පමණක් සංරක්ෂණය වන්නේ නැත. එය සංරක්ෂණය, ප්‍රතිෂ්ටාපනය, ආරක්ෂණය (Preservation, Restoration, Conservation)යන සියුම් එහෙත් තාක්ෂණික ක්‍රියාවලින්ගේ එකතුවකි.

අප දැනටමත් ප්‍රමාද නමුත් වල්ගයේ අගිස්ස අල්ලා ගැනීමට නොහැකි තරම් අප ප්‍රමාද නැත. මේ වසරේ විසර්ජන පනතෙන් (අයවැය) රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් වන්නේ මේ වල්ගයේ අගිස්ස අල්ලා ගැනීම සඳහාය. නමුත් අප රටක් ලෙස සිනමාව සංරක්ෂණය කරගන්නට සූදානම්ද? එය ඇසිය යුතු අත්‍යාවශ්‍ය පැනයකි. ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදය, පුහුණුව, දැනුම ආදියෙන් ලංකාව සන්නද්ධද? කලකට පෙර ලංකාවේ සිනමාව පිළිබඳ ප්‍රාමාණිකයන් කිහිප දෙනෙකුම විදේශයන්ට ගොස් මේ ගැන දැනුම්වත් වී පෙරළා පැමිණියෝය. තම පියාණන්ද ඇතුළත් සිනමාව සංරක්ෂණය කිරීමට මහත් උවමනාවෙන් ඒ දැනුම රැස්කර ගත් අයෙක් වනුයේ ගාමිණී ෆොන්සේකා රංගධරයාණන්ගේ පුත්‍ර දම්මිත් ෆොන්සේකාය. වරෙක ඉන්දියාවට ගොස් තම නොඉවසිලිවත්කම නිසාම සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික කුසලතාවය ලබා ගන්නා ඔහු ලංකාවට පැමිණෙන්නේ අනාගත බලාපොරොත්තු රැසක් හිතේ තබාගෙනය. මෙවර ජාතික චිත්‍රපට සංස්ථාව මූලික වී අරඹන සිනමා සංරක්ෂණ වැඩ පිළිවෙලේ නියමු කාර්යභාරයක් භාරව සිටින්නේ දම්මිත්ය. මේ වන විටත් ඔහු ඇතුළු පිරිස මේ වැඩ පිළිවෙලේ සමාරම්භයට සියල්ල සූදානම් කර තිබේ. දම්මිත් හා මා අතර මේ සංවාදය දිවෙන්නේ ඒ පිළිබඳ කොන් සතර පැහැදිලි කර ගැනීම සඳහායි.

මේ ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ කුමන නමකින්ද?

ව්‍යාපෘතියේ නම තමයි චිත්‍රපට ජාතික උරුම සංරක්ෂණ ව්‍යාපෘතිය.

මා දන්නා විදිහට වගකිව යුතු රජයේ ආයතන කිහිපයකුත් මීට පෙරදී මේ කාර්යයට අත ගැසුවා?

ඔව්. සංස්ථාව ඇතුළුව මේ කාර්්‍යය දිගටම කරගෙන ගියා ජාතික ලේඛනාරක්ෂණාගාරයත්. දළුගම සරසවි චිත්‍රාගාරය තුළත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේත් චිත්‍රපට ගබඩා කරලා යම් කාර්යයක් වුණාට කිසිම වෙලාවක ප්‍රතිෂ්ටාපනය වුණේ නැහැ. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා තමයි මේ ක්‍රියාවලිය ක්‍රමවත්ව වැඩ පිළිවෙලක් ඇතිව මේ දේ කරන්න අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඊට අපි ළඟ දැනුම ප්‍රමාණවත් මදි.

දැනුම්වත් වීම මදි යන්නෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද?

දැනට ප්‍රතිෂ්ටාපනය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ වගේම චිත්‍රපට පිළිබඳ දැනුම ලත් පිරිස ඒකරාශී වී නැහැ. ප්‍රතිෂ්්ටාපන අවධියට ඒ දැනුම අත්‍යාවශ්‍යයයි. උදාහරණයක් හැටියට ගොඩක් චිත්‍රපටවල අධ්‍යක්ෂවරු අද ජීවතුන් අතර නැහැ. ඔවුන් තමා ඒ ඒ චිත්‍රපටවල නියමු කාර්යභාරය කරපු දැනුම තිබෙන පිරිස. ඒක තමා අපට තිබෙන ලොකුම ගැටළුව. අඩුම ගණනේ අධ්‍යක්ෂවරයා නොමැති නම් එහි කැමරා අධ්‍යක්ෂවරයා, ඔහුත් නොමැති නම් සංස්කරණ ශිල්පියා, ඔහුත් නොමැති නම් කලා අධ්‍යක්ෂවරයාවත් සිටිනවා නම් මේ ප්‍රතිෂ්ටාපන කාර්්‍යය පහසු වෙනවා.

කෙසේ නමුත් චිත්‍රපට සංස්ථාව අවසාන මොහොතේ හෝ සෘජුව මැදිහත් වෙනවා?

මේ අවුරුද්දට නියමිත අයවැයෙන් සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මිලියන 100 ක් වෙන් වුණා. ඒ මිලියන 50 ක් සංරක්ෂණ කටයුත්ත වෙනුවෙන් සහ මිලියන 50 ක් චිත්‍රපට ඇකඩමියක් වෙනුවෙන්. වෙන් වෙච්ච මුදල් අපට පරිහරණය කරන්න වෙන්නේ චිත්‍රපට සංස්ථාව හරහා. මේ මොහොතේ අපි ඒ මුදල් පරිහරණය කළේ නැත්නම් ඒ මුදල් නැවත මහා භාණ්ඩාගරයට යනවා. එවිට අපිට ඒ මුදල් නැවත ගන්න බැහැ. ඒ නිසා අපි සූදානම් වෙන්න ඕනෑ චිත්‍රපට සංරක්ෂණ හා ප්‍රතිෂ්ටාපන වැඩ පිළිවෙල ක්‍රියාකාරී මට්ටමකට ගේන්න.

ඇයි සංස්ථාව මෙහිදී ප්‍රධාන වගකීම දැරිය යුත්තේ?

ප්‍රධානම දේ තමා සංස්ථාවට තමයි මේ සම්බන්ධව බලය තිබෙන්නේ. චිත්‍රපට සම්බන්ධයෙන් ගත්තත් විශාල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒවාට මැදිහත් වෙන්න අවශ්‍ය සංස්ථාවයි. බොහෝ චිත්‍රපටවල අයිතිය සම්බන්ධ ගැටළු තිබෙනවා. ඉස්සර බුද්ධිමය දේපල නීති එතරම් බලපෑවේ නැහැ. ඒත් අද එහෙම නෙවෙයි. සමහරුන්ට අයිතිිය තිබෙනවා චිත්‍රපටය සන්තකයේ නැහැ. තවත් සමහරුන්ට අයිතිය නැහැ චිත්‍රපටය සන්තකයේ තිබෙනවා. ඒ නිසා මේ ගැටළු විසඳන්න බලය තිබෙන ආයතනයක මැදිහත්වීම අත්‍යාවශ්‍යයි.

මේ ක්‍රියාවලීන් වඩාත් පහසුවෙන් සිදුකිරීම සඳහා ඔබ සංරක්ෂණාගාරයක් පිහිටුවන්න යෝජනා කරන්නේ කොහේද? ඔබ පෞද්ගලිකව යෝජනා කරපු තැන තමා දියතලාව?

60 දශකයේ අග භාගය වෙද්දී යෝජනාවක් එනවනේ ලංකාවේ සිනමා සංරක්ෂණාගාරයක් පිහිටුවන්න. ඒ ගැන සොයා බලන්න විශේෂඥයන් ආවේ චෙක් ජන රජයෙන්. ඔවුන් මේ භූමිය පරීක්ෂා කරලා බලලා යෝජනා කළේ බණ්ඩාරවෙල ප්‍රදේශය මේ කාර්යය සඳහා යෝග්‍ය යයි කියලා. බණ්ඩාරවෙලට යාබද දියතලාව මා යෝජනා කළේ හේතු කිහිපයක් උඩ. චිත්‍රපට සංරක්ෂණයට අවශ්‍ය උචිත දේශගුණ තත්ත්වය මෙන්ම ආර්ද්‍රතාවය දියතලාවෙත් පිහිටා තිබීම සහ සෑම අතින්ම ආරක්ෂාව ද එයට ලැබීම. මොකද යුධ හමුදා විද්‍යාපීඨය හා කඳවුරු සංකීර්ණය අයත් විශාල භූමි භාගය ඇතුළේ සංරක්ෂණාගාරයක් පිහිටුවන්න උචිතම තත්ත්වයක් තිබුණා. නමුත් මම මේ අවස්ථාවේදී නම් දියතලාව වගේ දුර බැහැර ප්‍රදේශයක් යෝජනා කරන්නේ නැහැ.

මොකක්ද හේතුව?

දැනට ගොඩක් චිත්‍රපට ගබඩා කරලා තිබෙන්නේ දළුගම චිත්‍රාගාරයේ, සංස්ථාවේ සහ ලේඛනාරක්ෂකයේ. අපි දියතලාවේ ගොඩනැගිල්ලක් හදලා ඒකට මේවා ප්‍රවාහනය කරනවා කියන්නේ විශාල පරිශ්‍රමයක් දරන්න වෙන වැඩක්. සුළුපටු නැහැ. අනික වෙන්න පුළුවන් අකටයුතුකම් බොහොමයි. කලිනුත් මේ වගේ දේවල් වෙලා තිබෙනවා අනන්තවත්.

නොසැළකිල්ල ගැන ද ඔබ කියන්නේ?

කොහෙත්ම අපේ උදවිය මේවාට සැළකිල්ලක් දැක්වූයේ නැහැ. මම සමහර අවස්ථාවල දැකලා තිබෙනවා උයන්පල්ලෝ ගිහින් පටල පටි එහෙට මෙහෙට විසි කරනවා. පටල පට කියන්නේ රසායනික ක්‍රියාවලියක්. කලක් ගතවෙද්දී මේ පටල පටවල 'සිල්වර් නයිට්ට්‍රේට්' කියන රසායනිකය හැදෙනවා. ඒ දවස්වල හිටපු නිලධාරීන් පිරිසක් මේ සිල්වර් නයිට්ට්‍රේට් හැදිච්ච පටලපට හොරෙන්ම වික්කා රිදී නිස්සාරණය කරන්න. විකුණලා කොමිස් ගත්තා. ඊට පස්සේ එදා රෑම අරක්කුයි බුරියානියි ගෙනල්ලා විකුණපු ප්‍රීතිය සැමරුවා.

මෙවර වැඩ පිළිවෙල සඳහා චිත්‍රපට තෝරාගන්නා ක්‍රමවේදය මොකක්ද?

අපේ සොයා බැලීම අනුව දැනට චිත්‍රපට 300 ක් පමණ අපට සොයා ගත හැකි මට්ටමේ තිබෙනවා. ඒත් අපිට මේ 300 ම සංරක්ෂණයට යොමු කරන්න හැකියාවක් නැහැ. එයින් අපි තෝරා ගත් චිත්‍රපට 100 ක් පමණ මේ Preservation, Restoration, Conservation  ක්‍රියාවලියට යොමු කරනවා ප්‍රමුඛතා හැටියට.

මිලියන 50 ක ප්‍රතිපාදනය ඊට ප්‍රමාණවත්ද?

අපිට පුළුවන් මේ කෝටි 5 කළමනාකරණය කර ගන්න. මොකද රජයේ සම්පත් මේ සඳහා අපි විශාල වශයෙන් භාවිත කරනවා. සමහර උපකරණත් මෙහේ තිබෙනවා. අලුත් උපකරණ ස්වල්ප වශයෙන් අපට ගෙනෙන්නට තිබෙනවා. ඒ නිසා අපට ප්‍රතිෂ්ටාපන අවදියේ වියදම් සෑහෙන්න කළමනාකරණය කරගන්න පුළුවන්. චිත්‍රපට පරීක්ෂා කිරීම, නාමාවලි ගත කිරීම, අළුත්වැඩියා සහ සුද්ද කිරීම සහ ස්කෑන් කිරීම අපි සියළු චිත්‍රපටවලට කරනවා. නමුත් සංරක්ෂණය කියන්නේ එය පමණක්ම නොවෙයි. ඒ ඒ වකවානුවේ චිත්‍රපට ගැන ලියැවිච්ච පුවත්පත් ලේඛන, ගීත පොත්, ඡායාරූප හා පෝස්ටර් පවා සංරක්ෂණයට ඇතුළත්. අපි ඒ දේත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.

ලබන ජූලි 14 වනිදා ඔබ ඇතුළු කණ්ඩායම මේ කාර්්‍යයට මුල පුරනවා දේශනයකින්?

ඔව්. මේ විශේෂ දේශනය කරන්නේ ශිවේන්ද්‍ර සිං දුන්ගප්පූර් කියන ඉන්දියානු සිනමා සංරක්ෂණ විශේෂඥයා. දේශනයේ නම තමයි චිත්‍රපට සංරක්ෂණය, චිත්‍රපට ප්‍රතිෂ්ටාපනය සහ චිත්‍රපට ආරක්ෂණය සඳහා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දේශනය. මේ සඳහා ආචාර්ය ලෙස්ටර්ගේ නම යෝජනා කළේත් ශිවේන්ද්‍රම තමයි. ඉන්දියාවේ පූනේ නුවර ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයේ නිර්මාතෘ පී. කේ. නායර් මහත්මයාගේ ගෝලයෙක් තමා ශිවේන්ද්‍ර. ඒ වගේම ඔහු එතුමන් ගැන චිත්‍රපටයක් හැදුවා 'ඛ්ඥතතභතධඪඤ ර්චද' කියලා. ඒ වගේම ඔහු ඉන්දියාවේ චිත්‍රපට හා රූපවාහිනී ආයතනයෙන් බිහිවුණු කෙනෙක්. ඉන්දියානු චිත්‍රපට උරුම පදනම සමඟ ඔහු චිත්‍රපට සංරක්ෂණය ගැන ඉතාම වැදගත් වැඩමුළු ඉන්දියාවේ සංවිධානය කළා.

මේ දේශනයෙන් ඔබලා බලාපොරොත්තු වෙන්නේ මොනවද?

එකක් මේ මෙහෙයුමට අවශ්‍ය යාන්ත්‍රණය සකසා ගැනීම. අනෙක් කරුණ රාජ්‍ය සහයෝගය මේ සඳහා වැඩි කර ගන්නටත් අවශ්‍යයි. අනික අපිට තිබෙන සැක දුරු කර ගන්නටත් ලෙකු අවස්ථාවක් ලැබෙනවා. අනෙක් අතින් ප්‍රධාන දේශකයා හැටියට ශිවේන්ද්‍ර කතා කරනවා තමන්ගේ අත්දැකීම් ගැන. ඒ වගේමයි ඇයි සංරක්ෂණය කියන එක වැදගත්, ඒ වගේම ඒවායේ ප්‍රමිතීන් මොනවාද යන්න ගැනත් ඔහුගේ දේශනයේ කියැවෙනවා.

කාලය ඉදිරියට යාමත් එක්ක ඔබ ඇතුළු කණ්ඩායමට සිද්ධ වෙනවා මේ කාරණා යාවත්කාලීන කරන්න?

ඔව්. ඇත්තෙන්ම කලකට ඉහතදී කියපු සංරක්ෂණය ගැන අදහස් නෙවෙයි දැන් ඉදිරිපත් වෙන්නේ. ඒවත් වෙනස්. අනෙක් කාරණය තමයි ඩිජිටල් සහ ඇනලොග් කියන තාක්ෂණයන් අනාගතයේදී සමගාමීව වැඩ කරයිද කියලත් මට හිතෙනවා. ඒ වගේම වඩාත් හොඳ සංරක්ෂණයක් වෙනුවෙන් බැක්ටීරියාවක් හඳුන්වා දෙන්නත් දැන් කතාබහක් ඇති වෙනවා රසායනික හානිවීම් නවත්වන්න.