වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ කටහඬ ඇසෙද්දී තවමත් රසිකයන් දෙපාරක් හැරී බලනවා

මගේ කටහඬ ඇසෙද්දී තවමත් රසිකයන් දෙපාරක් හැරී බලනවා

රත්නාවලී කැකුණවල

මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය රසවින්ද ශ්‍රාවකයකුට කිසිදා අමතක නොවන චරිතයක් තමයි මැණිකේ. මුවන් පැලැස්සේ කෝරලේ මහත්තයත් සමඟ හරි හරියට වාදකරගන්න මැණිකේ එදා මෙන්ම අදත් ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර නොමඳ ගෞරවාදරයට පත් වෙලා. මුවන් පැලැස්සේ මැණිකේ වුණු අපේ ආදරණීය කලාකාරිනී රත්නාලී කැකුණවල මේ දවස්වල අසනීප තත්ත්වයෙන් පසුවන බවක් අපිට දැනගන්නට ලැබුණා. ඉතින් අපි ගියා ඇගේ දුක සැප කොහොමද කියලා දැනගන්නත් එක්ක ඇගේ නිවහනට. දියණිය සුරතිගේ රැකවරණයන් මැද නොම්මර හත, යශෝධරා මාවත, කළුබෝවිල, දෙහිවල ලිපිනය සඳහන් නිවහනේ කල් ගෙවන රත්නාවලි කැකුණවල සමග කතාබස් කරමු.

* ඉතිං මැණිකේ කොහොමද?

දැන් නම් ඉතිං මම බොහොම අබල දුබල වෙලා. අසනීප තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ. දැන් මට වයස අවුරුදු අසූ හතක්. පහුගිය ජනවාරි මසේ විසි වැනිදා තමයි මම අසූ හය වෙනි උපන් දිනය සැමරුවේ. විශේෂිත රෝග තත්ත්වයක් කියලා කියන්න දෙයක් නෑ. ඇඟේපතේ අමාරුව කකුල් අතපයවල වේදනාව තමයි තියෙන්නෙ. මේව ඉතිං වයසත් එක්ක එන අමාරුකම්. බේත් ගන්නව දිගටම. පසුගිය කාලේ නම් මට ගොඩක් අමාරු වුණා.

* අසනීප වුණා කියල වයසට ගියා කියල නම් මැණිකෙගේ කටහඬේ නම් තවම අඩුවක් වෙලා නැහැ?

මගේ කටහඬ ඇහෙන ඕන කෙනෙක් අදටත් දෙපාරක් ආපසු හැරිල බලන්න අමතක කරන්නේ නැහැ. එදා මුවන් පැලැස්ස රසවිඳි ඕනෑම කෙනෙකු මගේ හඬ ඇසුණ සැනින් මුවන් පැලැස්සේ මැණිකෙවත් මේ ළඟක ඉන්නවද කියල විපරම් කරන එක සාමාන්‍ය දෙයක්.

* මැණිකෙ කියල මමත් කතා කරන්නම්. ඒකට අකමැත්තක් නෑනේ?

මොනවට අකමැති වෙන්නද. මාව මුළු රටම දන්නේ මැණිකෙ කියලනේ. රත්නාවලී කැකුණවල කියන නම ඉතිං ලියන දේකට තමයි.

* කාලෙකින් රඟපාන්න එක් වුණෙත් නෑ නේද?

දැන් අවුරුදු පහක හයක ඉඳල මම මොනම විදියකින්වත් කලා නිර්මාණවලට දායක වුණේ නැහැ. හැබැයි රූපවාහිනී සාකච්ඡා කීපයකට නම් ගියා. ඒ ඇරෙන්න වෙනත් නිර්මාණවලින් නම් මම ප්‍රේක්ෂකයන් අතරට ආවේ නැහැ.

* රඟපාන්න ගිහින් ඉන්න අතරේදී නේද ඔබ අසනීප තත්ත්වයට පත් වුණේ?

මුවන් පැලැස්ස ටෙලි නාට්‍යයක් හැටියට නිර්මාණය කරන්න පටන් ගත්තා. ෂූටිං තිබුණේ රන්මිහිතැන්නේ. දවසක් මමත් වරකගොඩත් අපි දෙන්නා රඟපාමින් හිටියා. ඔය අතරේ එක දර්ශනයක් ඉවර වෙලා ඊළඟ දර්ශනයට යන අතරේ මගේ ඇඟට අමුත්තක් දැනුණා. මම කිව්වා වරක් මගේ ඇඟට අමුත්තක් දැනෙනවා, දණහිස්වලින් කැක්කුමක් එනවා කියලා. ඒ පාර වරක් කිව්වා දැන් අපි වයසනේ රත්නා ඔය වගේ අමාරුකම් දැන් එන කාලේ කියලා. ඒ කියලා පැය භාගයක් ගියේ නැහැ මාව කකුල් පණ නැතිවෙලා ඇදගෙන වැටුණා. ඇඟේ සීනි වැඩිවෙලා කෝමා තත්ත්වයක් තමයි ඇති වුණේ. කල්පනාව අඩු වුණා. කකුල් පණ නැති වෙලා එහෙමත් තිබුණා. එදා ඉඳලා බේත්වලින් තමයි සුවයක් ලබමින් මේ ඉන්නේ.

* මුවන් පැලැස්සට සම්බන්ධ වුණු ඒ අතීතය එහෙම අදත් මතක ඇති?

මගේ අයියා වික්ටර් මිගෙල් තමයි එදා මාව ගුවන් විදුලියට රැගෙන ගියේ. අයියා ගුවන් විදුලියේ නාට්‍ය කරන හැටි මම පුංචි දැරියක්ව සිටිමින් බලා උන්නා. සමහර වෙලාවට ඒ නාට්‍ය දිහා බලන් ඉන්න මම අයියට කියනවා මට එහෙම චරිත රඟපාන්න දුන්න නම් ඔයිට වඩා හොඳට මම ඒක කරනවා කියලා. කොහොම හරි දවසක් මම ගුවන් විදුලියට අයියත් එක්ක ගිහින් ඉන්න කොට මුදලිනායක සෝමරත්න මහත්තයා ඇහුවා පින්තූරයකට එන්න කැමතිද කියලා. කොහොම හරි අයියත් ඒ සඳහා දායකවෙලා හිටිය නිසා මගේ අකමැත්තක් තිබුණෙත් නැහැ. මුවන් පැලැස්ස මුලින්ම ගුවන් විදුලියට රචනා කළේ මුදලිනායක සෝමරත්න මහත්තයා. ඒ මුල් පිටපත් රචනයේදී මුවන් පැලැස්සේ කෝරළේ මහත්තයා මැණිකේ නැහැ. ඒ වෙනුවට මුලින් තිබුණේ ආරච්චිල, එතන හාමි චරිතය. මුලින්ම මම මුවන් පැලැස්සේ රඟපෑවේ එතන හාමි චරිතය. කොහොම හරි පසුව මගේම අයියා වික්ටර් මිගෙල් මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්න පටන් ගත්තාට පස්සේ ආරච්චිල චරිතය කෝරළේ මහත්තයා වුණා. එතන හාමි චරිතය මැණිකේ වුණා. අයියා 91 දී නැති වුණාට පස්සේ මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කළේ ශ්‍රී නිමල් පද්මකුමාර.

* මුවන් පැලැස්සේ හදවත වුණේ මැණිකේ?

ඔව්. ඒකේ දෙකක් නැහැ. කතාව සහතික ඇත්ත. කෝරළේ මහත්තයා කරන අලුගුත්තේරු වැඩත් එක්ක හරි හරියට අඩි හප්පලා වලව්වේ ගෞරවය රැක්කේ මම. කෝරළේ මහත්තයා, පිනා, කදිරා, වෙදරාළ, නාමලී ඔය වගේ තව චරිත බොහොමයක් මේ ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ වුණා. මුවන් පැලැස්සේ කදිරා වුණේ මගේම අයියා වික්ටර් මිගෙල්. පිනාට, වෙද රාළට රඟපෑවේ ගැමුණු විජේසූරිය.

* කොතරම් නිර්මාණ ගොන්නකට ඔබ රංගනයෙන් දායක වුණත්, සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබුවත් අදටත් ඔබ ජනප්‍රිය මැණිකෙ චරිතයෙන්?

ඒක මම ජීවත් වෙලා හිටියත් මම මැරුණත් නොවෙනස් චරිතයක්. මම කොහේ ගියත් කොහේ හිටියත් මේ මැණිකේ රත්නාවලී කැකුණවල පස්සේ එන්නේ වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙසින්. හරියට නිකන් රත්නාවලී කොහෙද මැණිකේ එතන. මැණිකේ කොහෙද එතන රත්නාවලී.

* රූපවාහිනී මාධ්‍ය නොතිබූ යුගයක ශ්‍රාවක මනසේ අපූර්වතම සිද්ධි වැලක් මැවීමට සමත් වූ මුවන් පැලැස්ස එදා රට පුරා ගුවන් විදුලි ශ්‍රාවකයන් වැළඳ ගත්තේ හරියට පැණි බිඳුවකට ඇදෙන කුහුඹි රැලක් සේ?

ඒ කාලේ සෑම සතියකම සඳුදා රාත්‍රී 8.30 ට මුවන් පැලැස්ස ගුවන් විදුලියෙන් විකාශය වුණා. ඉදිරි සතියේ විකාශය වන කොටස සෑම අඟහරුවාදාවකම පටිගත කළා. එහෙම පටිගත කරන කොටස මමත් අනෙක් ශ්‍රාවකයන් සේම සඳුදාට ගුවන් විදුලියෙන් රාත්‍රී 8.30 ට රස වින්දා. ඒ කාලේ මුවන් පැලැස්ස ගුවන් විදුලියේ විකාශය වන වෙලාවට පාරක තොටක මිනිහෙක් නැහැ හොයා ගන්න. සමහරු මුවන් පැලැස්ස ඇහැව්වේ ගෙදරක, කඩපිලක තියෙන රේඩියෝවක් හොයාගෙන ගිහිල්ලා. එහෙම අතීතයක් තමයි මුවන් පැලැස්ස තිබුණේ.

* හඬ නිසාවෙන් ඔබට ආදරය කළ ශ්‍රාවකයෝ සැබැවින්ම ඔබව දැන හඳුනා ගැනීමකදීත් මොන වගේ ප්‍රතිචාරයක් ද දැක් වූයේ?

ඒ කලේ අපි මුවන් පැලැස්ස කණ්ඩායම එළිමහනේ ප්‍රසංගවලටත් සහභාගි වුණා. විජයරත්න වරකාගොඩ, ගැමුණු විජේසූරිය, මම, වික්ටර් මිගෙල් අපි කට්ටිය මේ රටේ නොගිය තැනක් නැහැ. ඒ ගිය හැම අවස්ථාවකම අපේ හඬ අහලා තිබුණු මිනිස්සු අපිව සැබෑවට දැක්කම මොන තරම් සංතෝෂ වුණාද කියලා දැනුත් මතකයට එන කොට ඇස්වලට කඳුළුත් එනවා.

* ආපසු හැරිල බලන කොට අද මොකද හිතෙන්නේ?

දුකක් හිතෙනවා මම මෙච්චර ඉක්මනට අසනීප නොවුණා නම් මම අදත් මුවන් පැලැස්සේ රඟපානවානේ කියලා. අපේ ශිල්පීන් හරිම සහෝදර බැඳීමකින් තමයි හිටියේ. මම අසනීප වුණාට පස්සේ ශ්‍රී නිමල් පද්මකුමාර පිටපත ලියන එකත් නතර කරලා දැම්මා මම නැතුව ඒ චරිතය වෙන කාටවත් කරන්නත් බැහැ කියලා.

* වසර පනහකට අධික කාලයක් කාලවේ නියැලී ඔබට කලා ජිවිතය තුළ ලැබුව නීරස අත්දැකීනුත් ඇති නේද?

අපි කොච්චර කලා ක්ෂේත්‍රයේ නියැලිලා හිටියත් අපිව නිසි ඇගැයීමකට ලක් නොකිරීම ගැන නම් මගේ හිතේ තියෙන්නේ කනගාටුවක්. විවිධ අයුරින් සම්මානයට ලක් වූ අවස්ථාත් තියෙනවා. ඒ සම්මාන සියල්ල මගේ බාල පුතු ඉන්දික එයාගේ ගෙදර සෝකේස් එකක පිළිවෙලට තියල තියෙනවා. මේ සම්මාන පෙළ දකින කොට නම් මට ඇත්තටම හිතට ලොකු සතුටක් ගෙන දෙනවා. මගේ රංගන ජීවිතයේ සිහිවටන රැසක එකතුවක් මා සතුව තිබුණා. එහි මා ගැන පළ වූ ලිපි, කුඩා කල පටන් මගේ රංගනයන් එක් වූ අවස්ථාත් විශේෂිත සම්මානනීය ඇගැයුම් ලැබූ ඡායාරූප එකතුවක්. මේ සිල්ල අද වෙන කොට මට අහිමි වෙලා තියෙනවා. ඒ ගැන මට තියෙන්නේ දුකක්. මම ගැන පත්තරයකට ලිපියක් ලියන්න කියලා පන්නිපිටිය පැත්තේ මුද්‍රණය කරපු පුවත්පතක කර්තෘවරයකුත් ඡායාරූප ශිල්පියකුත් මගේ නිවසට ඇවිත් ඉකුත් පෙබරවාරි මාසයේ මගේ ඒ ඇල්බම් හා ලිපි එකතුව රැගෙන ගියා මට ආපසු ගෙනත් දෙනවා කියලා. ඒත් අද වෙනකන් ගෙනත් දුන්නෙත් නෑ. ඒ ගැන හොයන්න ගියාම අද වෙන කොට ඒ පත්තරය වහල තිබුණ තැනක් හොයා ගන්නත් නැහැ. ගෙනිච්ච අයට කතා කලත් පිළිතුරක් නැහැ. මේ ගැන මට තියන්නේ පුදුම දුකක්. මගෙ ජීවිතයේ සිහිවටන ලෙස තිබුණු ඡායාරූප ඇල්බමය අද වෙන කොට මා සතුව තිබුණා නම් මම මේ අසනීප තත්ත්වය තුළ ඉඳගෙන වුණත් ඒව බලල හිතට සතුටක් ලබන්න තිබුණා. මගේ ඇල්බමය පේපර් කටින් එකතුව ගෙන ගිය අයට මම කියන්නේ අනේ ඒ ටික මම අද ඉන්න තත්ත්වය ගැන හිතලා ආපසු ගෙනත් දෙන්න කියලා.

* දැන් ඉතිං පවුලේ තොරතුරු එහෙම කොහොමද?

මගෙ පුතාලා හතර දෙනා නාලක, තිලංක, රමලික, ඉන්දික දුවල දෙන්නා සුරති, සුරක්ෂණා සියලු දෙනාම විවාහ වෙලා. හැම දරුවෙක්ම මම ගැන හොයලා බලනවා. සුරති දුව හැරුණු කොට අනික් හැමෝම රැකියාවල. දරුවො ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මම විවාහ වුණේ පොලිස් නිලධාරියෙක් සමඟ. මහත්තයා පොලීසියේ රේඩියෝ ඔපරේටර් කෙනෙක් වශයෙන් සේවය කළා. මීට අවුරුදු හතරකට කලින් මහත්තයා නැති වුණා.

* අපේ මුවන් පැලැස්සේ මැණිකේගේ අසනීප තත්ත්වය ආරංචි වෙලා හිත මිතුරන් එහෙම සුවදුක් බලන්න පැමිණියේ නැද්ද?

වරක් (විජේරත්න වරකාගොඩ), ශ්‍රී නිමල් පද්මකුමාර දැන් සති කීපයකට උඩදී ඇවිත් මාත් එක්ක කතාබස් කරලා ගියා. ඒ ඇරෙන්න වෙන නම් කවුරුවත් මාව බලන්න අවේ නැහැ. දුක සැප විමසුවෙත් නැහැ.

එහෙනම් අපි මේ රටේ මැණිකෙට ආදරය කරපු ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයන්ට මැණිකෙටම කතාකරලා දුක සැප විමසන්න මුවන් පැලැස්සේ යට ගියාව ගැන අතීත මතකයන් කතාබස් කරන්න, මැණිකේගේ කටහඬ අහන්න, අතීතයේ මුවන් පැලැස්ස රස විඳි ආකාරය ගැන කතා කරන්න දුරකතන අංකයත් මතක් කරමු. 0775087945.

සරසවිය අපිත් රත්නාවලී කැකුණවලට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරමු.