වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට හැදූ කැමරාකරුවන් වැලිකතර නැවතත් තිරයට

චිත්‍රපට හැදූ කැමරාකරුවන් වැලිකතර නැවතත් තිරයට

දෙවැනි වරම සමඟ තවත් කැමරා අධ්‍යක්ෂවරයෙක් සිනමාකරණයට

චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි සහෝදරයන්, පිය - පුතුන්, වැඩිම චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන්, චිත්‍රපට දහයට වඩා වැඩි ගණනක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් ආදි සිංහල සිනමාවේ විශේෂ අවස්ථා සොයා ගිය ගමන ඔබට මතක ඇති. ඒ ඔස්සේ අපේ අවධානය තවත් අතකට යොමු වුණේ පසුගියදා ඩිජිටල් තාක්ෂණයෙන් සංස්ථාපිතව වැලිකතර තිරගතවීම සමඟින්. ආචාර්ය ඩී. බී නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ එය සිංහල සිනමාවේ ප්‍රථම පුළුල්තිර වෘතාන්ත චිත්‍රපටය යි. වැලිකතර ආචාර්ය නිහාල්සිංහයන්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූ අතර ඊට පෙර එතුමන් සම්මානනීය සිනමා නිර්මාණ රැසක් කැමරා අධ්‍යක්ෂණය කළා. ඒ නිසාම අද මේ ලිපිය කැමරාකරණයෙන් පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි සිනමාකරුවන් වෙනුවෙන් වෙන් වෙනවා.

ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන්ගේ පළමු සිනමා කැමරා අධ්‍යක්ෂණය වූයේ, මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ සත් සමුදුර (1967) චිත්‍රපටය යි. දහසක් සිතුවිලි, පාරා වළලු, බිනරමලී හා කැලෑමල් චිත්‍රපට ද කැමරා අධ්‍යක්ෂණය කළ ඩී.බී. නිහාල්සිංහයන් වැලිකතර (1971), රිදී නිම්නය (1982), මල්දෙණියේ සිමියොන් (1986), කෙළිමඬල (1991) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. 1968 වසරේදී සත්සමුදුර සංස්කරණය වෙනුවෙන් ද 1987 වසරේදී මල්දෙණියේ සිමියොන් අධ්‍යක්ෂණය සහ කැමරාකරණය වෙනුවෙන්ද 1992 වසරේදී කෙළමඬල අධ්‍යක්ෂණය වෙනුවෙන් ද ඩී. බී නිහාල්සිංහයන් සරසවිය සම්මානයට පාත්‍ර වුණා.

දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ චිත්‍රපට තැනූ එම්. මස්තාන් ද පළමුව කැමරා අධ්‍යක්ෂවරයෙකි. අශෝකමාලා (1947) සහ සුජාතා (1953) චිත්‍රපටවල කැමරාව මෙහෙය වූ එම්. මස්තාන් සුකුමලී (1957), අදට වැඩිය හෙට හොඳයි (1963), උඩරට මැණිකේ (1963), ධීවරයෝ (1964), අල්ලපු ගෙදර (1965), සූර චෞරයා (1967), අටවැනි පුදුමය (1968), ආත්ම පූජා (1970) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

සිංහල සිනමාවට චිත්‍රපට රැසක් දායාද කළ දයා විමලවීර ද අධ්‍යක්ෂණයට පිවිසෙන්නට පෙර චිත්‍රපට රැසක කැමරාව මෙහෙයවීම විශේෂත්වයකි. වැදිබිම, පටාචාරා, මිරිඟුව, ඉවසන දනා, ආදරයයි කරුණාවයි, අනුහස, කළණ මිතුරෝ, හරිම බඩු තුනක්, යළි ඉපදේ, සිකුරුලියා, හරි පුදුමයි, පරසතුරෝ වැනි චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණය කළ ඔහු චිත්‍රපට තිරරචකයකු, නිෂ්පාදකයකු, සංස්කරණ ශිල්පියෙකු ලෙසින් ද කටයුතු කළා. දයා විමලවීර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වන්නේ, වීදුරු ගෙවල් (1972),ජීවන කඳුළු (1979), මිහිදුම් සිහින, (1982), මේජර් සර් (1982), දෙව්දුව (1986), මධු සිහින (1990), රජ දරුවෝ (1992), ඡායා (1993), බඹසර බිසව් (1993), සුජාතා (1994), සීතල ගිනි කඳු (2002), රණහංසි (2006) යන චිත්‍රපටයන්ය. තම පියා සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ පොඩි පුතා චිත්‍රපටයට ඔහු රංගනයෙන් ද දායක වීය.

1962 වසරේ තිරගත වූ රන්මුතු දූව සිංහල සිනමාවේ සුවිශේෂි සංධිස්ථානයක සටහනක් තැබූ චිත්‍රපටයක්. සිංහල සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ එය අධ්‍යක්ෂණය කළේ මයික් ජේ. විල්සන් විසින්. එහි කැමරාව මෙහෙය වූයේද ඔහු විසින්. අනතුරුව ඔහු විසින් ගැටවරයෝ (1964), සොරුන්ගෙත් සොරු(1967) අධ්‍යක්ෂණය කළා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ නිධානය ඇතුළුව ගැහුනු ළමයි, මඩොල් දූව, අක්කර පහ, සැඬොල් කඳුළු, ප්‍රියංගා, රන් එතනා ආදි චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණය කළ එම්. එස් ආනන්දන් සිංහල සිනමාවට සිතක මහිම (1964), සත පනහ (1965), ඇතුල්වීම තහනම් (1966), ප්‍රවේසම් වන්න (1969) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. මගේ නංගී ශ්‍යාමා (1975) චිත්‍රපටයෙන් ආරම්භ කළ ශ්‍යාමා චිත්‍රපට පෙළ ලෙස, චණ්ඩි ශ්‍යාමා (1978), හෙලෝ ශ්‍යාමා (1982), මම බය නෑ ශ්‍යාමා (1995) චිත්‍රපට ද අධ්‍යක්ෂණය කළ අතර එම චිත්‍රපටවල ශ්‍යාමා ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කළේ ඔහුගේ දියණිය ශ්‍යාමා ආනන්දන් ය.

විජය චිත්‍රාගාරයේ කැමරා ශිල්පියකු ලෙසින් කටයුතු කළ ඩබ්ලිව්. එම්. එස් මහේන්ද්‍රන් 1965 වසරේදී යටගිය දවස චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.

වෙනින් කවුරුවත් නොව - ලෙනින් මොරායස් යනු මෙරට සිනමාවේ බිහිවූ ජනප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. වාණිජ සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත් වූ ඔහු කැමරාකරණයේද අති දක්ෂයෙක් විය. අධ්‍යක්ෂණයට පිවිසි ලෙනින් විසින් සුදු දුව (1966), සූරයන්ගෙත් සූරයා (1969), අභිරහස (1971), එදත් සූරයා අදත් සූරයා (1972), හොඳම වෙලාව (1973), හොඳයි නරකයි (1973), ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974), ආවා සොයා ආදරේ (1975), සූරයා සූරයාමයි (1975), උන්නත් දාහයි මලත් දාහයි (1976), ඔන්න මාමෙ කෙල්ල පැනපි (1976), ආදරෙයි මං ආදරෙයි (1976), හිතුවොත් හිතුවාමයි (1977), හිතමිතුරා (1978) හා යුගයෙන් යුගයට (1987) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

මෙරට ප්‍රමුඛතම කාටුන් චිත්‍රපටකරුවා වන්නේ ගිවන්ත අර්ථසාද්. ඔහු ද මෙරට සිටින ප්‍රවීණතම කැමරා ශිල්පියෙක්. එපමණක් නොව සංස්කරණ ශිල්පයේ සහ කලා අධ්‍යක්ෂණයේද ප්‍රවීණයෙක්. ගිවන්ත අර්ථසාද් මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි, දුටුගැමුණු (1979) නමින් චිත්‍රපට ද්විත්වයක් සහ අන්දරේ නමින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. දුටුගැමුණු චිත්‍රපටය එක් දිනක් තිරගත වී තහනමට ලක්වුණා.

පෙතිගෝමර, රන් ඔන්චිල්ලා, රජගෙදර පරවියෝ, තවලම, සීතල වතුර, කොළඹ හාදයෝ, ශ්‍රී මදාරා, වහල් දූපත, මීමැස්සෝ කැමරාකරණය කළ ඩබ්ලිව්. ඒ. බී ද සිල්වා සිංහල සිනමාවේ පුරෝගාමී කැමරා ශිල්පියකු විය. සරසවිය රණතිසර සම්මානයෙන් පිදුම් ලද ඔහු ජාතික ඇඳුම ඇඳ කැමරාව මෙහෙය වූ එකම කැමරා ශිල්පියා ද වේ. ඔහු විසින් පූජිතයෝ (1971), රජගෙදර පරවියෝ (1975), හුලවාලි (1976) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

සුසී, හතර වටේ,රජ දවසක් කැමරා අධ්‍යක්ෂණය කළ තිමති වීරරත්න අධ්‍යක්ෂණය කළේ, දැවෙන පිපාසය (1971), මේ දෑස කුමටද (1972), සංගීතා (1975), රජ දවසක් (1980), වන බඹරා (1990) චිත්‍රපටයන් ය. තිමති වීරරත්න ද සරසවිය රණතිසර සම්මානයට පාත්‍ර විය.

රේඛාව චිත්‍රපටය වෙනුවෙන් රජයේ රැකියා ඉවතලූ හිතුවක්කාරයන් තිදෙනා අතරින් එක් අයෙකු වූ විලි බ්ලේක් ගම්පෙරළිය, බැද්දේගම, සංදේශය, දෙලොවක් අතර, ලොකු දුව වැනි චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණය කර 1972 වසරේදී වන රජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.

තුෂාරා, අලි බබා සහ හොරු හතළිහ, මහ රෑ හමු වූ ස්ත්‍රිය වැනි චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණය කළ විලියම් ඔලම්ස් ගේ චිත්‍රපට අධ්‍යක්ණයන් වන්නේ, හරියට හරි (1976), සකුන්තලා (1977), කෝකිලා (1984), සමුනොගන්න සුගන්ධිකා (2006).

සුද්දිලාගේ කතාව කැමරා අධ්‍යක්ෂණය කළ පරාක්‍රම ද සිල්වා ඉහළම විචාරක අවධානයට ලක් වූ හෙවනැලි ඇද මිනිස්සු (1980), බිත්ති හතර (1982) චිත්‍රපට අධ්‍යක්ෂණ කළා.

කස්තුරි සුවඳ, චංචල රේඛා, නිල්ල සොයා, වානරයෝ වැනි චිත්‍රපට වෙනුවෙන් කැමරාව මෙහෙය වූ ඩැනී ඩබ්ලිව් පතිරණ බයිසිකලේ (1982), චන්දිරා (1983), කවුළුව (1987), අහිමි දඩමන් (1992), ඉන්ස්පෙක්ටර් ගීතා (1995), සීත සමීරේ (1999) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

කේ. ඩී දයානන්ද පොඩි මල්ලි, අනුපමා, කෝලංකාරයෝ, රත්තරන් අම්මා පමණක් නොව උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපට රැසකද කැමරාව මෙහෙය වූ අතර ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණයන් වන්නේ, ලොකු තාත්තා (1983), මල් වරුසා (1986) චිත්‍රපටයි.

1984 වසරේදී නිවන් දක්නා ජාති දක්නා චිත්‍රපටය කැමරාකරණය කරමින් අධ්‍යක්ෂණය කළේ සෝමවීර බෝපිටිය විසිනි. නොම්මර 17, වාසනා වේවා, උතුර දකුණ, ඔක්කොම රජවරු, කතුරු මුවත්, අබිරහස, සීයේ නෝට්ටුව, ළසඳා, ඇතුල්වීම තහනම් වැනි චිත්‍රපට රැසක කැමරාව මෙහෙයව වූ එම්. ඒ ගෆූර් ශිරාණි (1984), සාගර තිළිණ (1994) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක කැමරාව මෙහෙවූ කැමරා ශිල්පියා වන්නේ ද ගෆූර්.

ඩිල්මන් ජයරත්න 1984 වසරේදී රණ දෙරණ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එහි කැමරාකරණය ද කරමිනි. මෙරට ප්‍රථම චිත්‍රපට වර්ණ රසායනාගාරය වූ “ඩිල් ප්‍රොසෙස් වර්ණ රසායනාගාරය” පිහිටූවීමේ පූරෝගාමියා වූ ඔහු කැමරා ශිල්පයේද ප්‍රවීණයකු විය. ඔහු කැමරාවට අත්පොත තැබූයේ පාසල් ශිෂ්‍යයකුව සිටියදීය. ඒ රංජිත් ලාල් අධ්‍යකෂණය කළ නිම් වළල්ල (1970) චිත්‍රපටයෙනි. නිම් වළල්ල මෙරට පාසැල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම චිත්‍රපටය ද වේ. මොකද වූණේ, එක හිත, විස්මය වැනි චිත්‍රපට ඔහු විසින් කැමරාකරණය කෙරිණි.

කැකිල්ලේ රජ්ජුරුවෝ, අඹු සැමියෝ, නුවන් රේණු, සිටු දියණිය, චතු මධුර චිත්‍රපටවල කැමරාව මෙහෙය වූ මර්සලීන් එස්. පෙරේරා ද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. 1985 වසරේදී එය චලිත රංගාලි නමින් තිරගත කෙරුණා.

මහදැනමුත්තා, හාරත හතර, රන්වන් රේඛා, රංගා, දෙයියන්ගේ තීන්දුව, සැඟවෙන සෙවනැල්ල, සුදු මාමා, පික් පොකට් කැමරා අධ්‍යක්ෂණය කළ එවකට ආර් ටී චිත්‍රාගාරයේ කැමරා ශිල්පියා ලෙසින් කටයුතු කළ එස්. තේවේන්ද්‍ර දුෂ්‍යන්ති (1986) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.

1977 වසරේදී හරියනකොට ඔහොම තමයි චිත්‍රපටයෙන් සිනමා කැමරා අධ්‍යක්ෂණයට පිවිසි කේ. ඒ විජේරත්න සඳවට රන්තරු, මැණික් මාළිගා, කැමරා අධ්‍යක්ෂණය කර 1991 වසරේදී විචාරක අවධානයට පාත්‍ර වූ මධුසමය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.

ත්‍රිෂූලේ (1993), ශක්ති (1994) අධ්‍යක්ෂණය කරන්නට පෙර ලලිත් ගුණවර්ධන රජ දවසක්, මල්මධු, සැබෑ මිතුරා දෙවියෙකි, පෙම් කුරුල්ලෝ කැමරා අධ්‍යක්ෂණය කළා. ආසයි මං පියාඹන්න, ඉර ළඟ වැඩියි කැමරා අධ්‍යක්ෂණය කරමින් සම්මානයට පාත්‍ර වූ ජයනාත් ගුණවර්ධන 2014 වසරේදී පරාවර්තන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.

රෝදය, වැළි සුළඟ, නොහඬන් කුමරියේ, සොඳුරු වසන්තේ, හලෝ මයි ඩාලිං, කම් ඕ ගෝ චිකාගෝ, කේ සෙරා වැනි චිත්‍රපට කැමරාකරණයට දායක වූ ජී. නන්දසේන එක දා වැහි චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවා. චිත්‍රපට කිහිපයක් නිෂ්පදනය කළ ඔහු මේ දිනවල තිරගත කෙරෙන දෙවැනි වරම අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසියා.