වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

රන්ජිත් පතිරාජ නම් අව්‍යාජ මිනිසා

මා ධර්මසේන පතිරාජයන් හඳුනා ගත්තේ මීට වසර 50 කට පමණ එපිට, මරදානේ ඩිබ්‍රර්ග්ස් පාරේ (ජයන්ත වීරසේකර මාවත) ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියේදීය. ආනන්දයේ ඉගැනුම ලබමින් සිටි මා කුලරත්න ආරියවංශ (ප්‍රවීණ ගීත රචක), ලක්ෂ්මන් මල්ලවාරච්චි (මිය ගිය) සරත් වීරසේකර යන සගයන් සමඟ සංස්කරණය කළ 'සෙවණ' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් සඳහා කේමදාසයන් හමුවීමට ගිය අවස්ථාවේ සංගීත මංජරියේ දිග බැංකුවේ අමුත්තන් තිදෙනෙකු ඉඳගෙන සිටියහ. ඔවුන් අප සමඟ සිනාසුණාහ. අප සිටියේ පාසල් නිල ඇඳුමෙනි. සරස්වතී දේවියගේ ඡායාරූපයට හඳුන්කූරක් දල්වා පැමිණි කේමදාසයන් අපට වඩා තරමක් වැඩිමහළු තරුණයන් තිදෙනා හඳුන්වා දුන්නේය.

"මේ හන්තානේ කතාවේ තිර නාටකය ලියපු තුන්දෙනා. මේ රන්ජිත්, ආනන්දේ ළමයි කරපු 'වෙර' කියන වාර්තා චිත්‍රපටයට සම්බන්ධ වුණා." මාස්ටර් මා හඳුන්වා දෙමින් කීය.

අපි 'වෙර' දැක්කා. කොළඹ විශ්වවිද්‍යාලයේ නවකලා ගාරයේදී. ගිය අවුරුද්දේ කෙටි චිත්‍රපට උළෙලේදී. රන්ජිත් ලාල්ගේ 'වෙර' යි, රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දුගේ 'පොල්කිච්ච'යි. එක් තරුණයෙක් වූ ධර්මසේන පතිරාජ කීවේය.

'ආනන්දයේ ළමයින්ගේ 'වෙර' ප්‍රසංශනීයයි." එවර කතා කළේ අනිත් තරුණයා වූ බර්ටි ජයසේකරය.

මට පුංචි සතුටක් ඇති විය.

ඊළඟ තරුණයා වූයේ බර්ටි ගුණසේකරය. ඔහු 'වෙර' කෙටි චිත්‍රපටයේ කාර්මික අංශයේ දක්ෂතා ගැන කතා කළේය.

එවකට පතිරාජ, ජයසේකර හා ගුණසේකර පේරාදෙණිය සරසවියේ සිනමාවට ආදරය කළ සිසුන් වූහ. සිරි ගුණසිංහ ගේ ඇසුර ලැබූ ඔවුන් විදේශීය චිත්‍රපට මෙන්ම විදේශීය සඟරා කියවීමෙන් රසවින්දනය සිනමාව පිළිබඳ දැනුම දියුණු කරගත්හ. සම්භාව්‍ය සිනමා කෘති සරසවියේ සිසුන්ට නවකලාගාරයේ දී නැරඹීමට අවස්ථාව උදා කර දුන්නෝය.

පතිරාජ කෙටි චිත්‍රපටයක් කිරීමේ ආසාවෙන් පසුවන බව එදා අපට කීවේය.

සුගතපාල සෙනරත් යාපා ගේ 'හන්තානේ කතාව' චිත්‍රපටය බලද්දී, මේ සරසවි මිතුරන්ගේ කුසලතා අපට මොනවට පැහැදිලි විය. සරසවි ජීවිතයේ රසබර අත්දැකීම් සිනමාත්මකව මතු වූයේ ඔවුන්ගේ තිරනාටකයෙනි.

පතිරාජගේ නමට 'රන්ජිත්' කොටසක් ද ඇතුළත්ව ඇති බව දැනගත්තේ පසුගියදා ආචාර්ය සුනිල් සෙනෙවි ලියූ 'ශ්‍රී ලාංකේය සිනමාවේ දෙවැනි සුසමාදර්ශය' නම් පුස්තිකාව දැකීමෙනි. මා තුළ සියුම් සතුටක් ඇති වුයේ මේ විශිෂ්ට කලාකරුවා 'රන්ජිත්' කෙනෙකු වීම ගැනය. 1943 මාර්තු 28 වෙනිදා පේරාදෙණියේ ගොඩංදෙණියේ උපත ලැබූ පතිරාජ නවරත්න වන්නිනායක මුදියන්සේලාගේ රංජිත් ධර්මසේන, පේරාදෙණියේ ද්විභාෂා කනිටු විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ද්විතිය අධ්‍යාපනය ලබා අනතුරුව පේරාදෙණියේ සරසවියට ඇතුළත්ව ඇත. පතිරාජගේ වැඩිමහල් අයියා කවියකු, පත්‍රකලාවේදියකු වූ ආරියවංශ පතිරාජය. අනිත් අයියා ධර්මප්‍රිය පතිරාජ 'දවස' පුවත්පතේ චිත්‍රකලාවේදියෙකි.

එදා සංගීත මංජරියේ දී හඳුනා ගත් මිතුරන් ත්‍රිමුර්තිය පසුව අපගේ මිතුරන් විය. මේ අතරින් පතිරාජට හිමි වූයේ ප්‍රමුඛස්ථානයකි. ඔහු ඒ වන විට සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිතුරා විය. 'වෙර' කෙටි චිත්‍රපටය කළ ආනන්දයේ රන්ජිත් ලාල් ප්‍රමුඛ අපේ මිතුරු කැළ වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට වීර්යය කළෙමු. එදා ඇතැමුන්ට විහිළුවක් විය.

"මුන්ට පිස්සු, පික්චර් හෝල්වල පෙන්නන්න පුළුවන් ෆිල්ම් එකක් හදන්න. ඒක ලේසි වැඩක්ද? ඕව කවද වෙන වැඩද? අපට අසුභවාදී ප්‍රතිචාර දැක්වූවන් එකල බහුල වූහ.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් ප්‍රථමවරට නිෂ්පාදනය කළ 'නිම්වලල්ල' චිත්‍රපටය අප නිපදවීමේ යෙදී සිටි දාරක සමයයි ඒ. 'නිම්වලල්ල' චිත්‍රපටයේ කථාව ලියා තිරනාටකය රචනා කළේ සුනිල් මාධව ප්‍රේමතිලකය. අපට මේ තිර නාටකයේ ඇතැම් ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය විය. අපට වඩා සිනමාව ගැන පරිචයක් තිබූ ධර්මසේන පතිරාජගේ පිහිට පැතීමට, 'නිම්වලල්ලේ' අධ්‍යක්ෂ රන්ජිත් ලාල් හා කලා අධ්‍යක්ෂවරයා වූ මා ද පතිරාජ හමුවීමට ආනන්ද අසල පිහිටි රවූෆ් ගොඩනැගිල්ල අසළින් ඇති පටු පාරක් දිගේ ගමන් ගතිමු. එහි ඇති පුංචි නිවසක කාමරයක පතිරාජ අපට හමු විය. එදා අප යන විට ඔහුත්, ඩබ්ලිව්. ජයසිරිත්, දයා තෙන්නකෝනුත් තෝස අනුභව කරමින් සිටියහ.

"එන්න... එන්න අපි දැනුයි උදේට කන්නේ, තෝසයක් කමු." පතිරාජ අපට කීවේය.

"අපි ඩිමැල් හෝටලයෙන් කාලා ආවේ."

"වැඩිපුර තෝසයි වඩෙයි මේ තියෙන්නේ කමු කමු." ජයසිරි කීය.

අපි උළුඳු වඩයක් දෙකට කඩා කෑවෙමු.

ඉන්පසු අපි ආ කාරණය පතිරාජට කීවෙමු.

"පතී, අපි ෆිල්ම් එකක් කරන්න ප්ලෑන් කරනවා. චිත්‍රපටයේ තිර නාටකය ලිව්වා. මේක ඔයා බලලා අදහස් කියන්න." මම කීවෙමි.

"මම බොහොම ආදරයෙන් ඒක කරන්නම්. මම එය ගොල්ලන්ට හැම සහායක්ම දෙන්නම්. මේක තියලා යන්න. මම අද නුවර යනවා. අපි සඳුදා හම්බවෙමුද?" පතිරාජ කීවේය.

දවස් තුනකට පසු පතිරාජ කී පරිදි අපි රවුෆ් බිල්ඩිම අසළ නිවසේ දී හමු වුනෙමු.

පතිරාජ අපි යෝජනා කළ හැම වෙනසක්ම යෝජනාවක්ම අපි පිළිගතිමු. ඔහු ඒවා සිනමාත්මකව රූප ගත කරන ආකාරය ගැන ද දීර්ඝ ලෙස කතා කළේය. කුහකත්වයෙන් තොරව ඔහු අපට හදවතින්ම උපකාර කළේය. සුභවාදී ආකල්පයෙන් අප දිරිගැන්වීය. 'නිම්වලල්ලේ' යම් සාර්ථක බවක් ඇද්ද පතිරාජත් එයට හිමිකරුවෙකි. අපි නාමාවලියේ ඔහුට ස්තුතියක් පිරිනැමුවෙමු.

පතිරාජ ධනවතෙකු නොවේ. ඔහු නිර්මාණ කුසලාතාව පැත්තෙන් නම් ලොකු පොහොසතෙකි. අද බොහෝ දෙනෙක් හැම අකුරක්ම ලියන්නේ මුදල් බලාගෙනය. එදා මානව දයාවෙන් අපට බාල සොහොයුරන් මෙන් සළකා, තමා කන කෑම වේලෙන් කොටසක් අපට පිරිනමමින්, ප්ලේන් ටී බොමින් දෙමින් 'නිම්වලල්ලේ' තිරනාටකය සකස්කර දුන් ඒ අතීතය අපට කිසිදා අමතක නොවේ. සැබෑ වාමවාදියෙකු වූ ඔහු ඉහවහා ගිය මානව දයාවෙන් යුතු මිනිසෙකු බව මීට වස 50 කට පෙර අපි වටහා ගත්තෙමු.

හැත්තෑව දශකයේ මුල පතිරාජ 'අහස් ගව්ව' නමින් චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටියේය. ඒ වන විට 1970 නොවැම්බර් 18 වෙනිදා අපේ 'නිම්වලල්ල' ලංකාවේ සිනමා හල් 15 ක තිරගත වෙමින් තිබුණි. මම 'සරසවිය' පුවත්පතේ කර්තෘ මණ්ඩලට සම්බන්ධ වී සිටියෙමි. පතිරාජ දිනක් සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ පී. බී. ඉලංගසිංහ (අද ඉරිදා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ) හා පර්සි ජයමාන්න සමඟ සරසවිය කර්තෘ මණ්ඩලයට පිවිසියහ. සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා හා කතා කරමින් සිටි ඔවුන් මා අසළට පැමිණියහ.

"රන්ජිත්, පතිව අඳුනනවනේ, 'අහස් ගව්ව් ගැන ආටිකල් එකක් ලියන්න. පින්තූරත් අරන් ඇවිත් තිබෙනවා." පී. බී. ඉලංගසිංහයන් කීවේය.

"පී. බී, ඔයා දන්නේ නෑ. අපේ 'නිම්වලල්ල' පතී හුඟක් උදව් කරල තියෙනවා. 'අහස් ගව්ව' ගැන මට ලියන්න ලැබිච්ච එකත් කොච්චර සතුටක්ද?" මම අසුනින් නැගිට පතිව පිළිගත්තෙමි.

පී. බී. ඉලංගසිංහ හා පර්සි ජයමාන්න යනු මගේ පත්‍ර කලාජීවිතයේ ගුරුවරුන්ය. මේ ජ්‍යෙෂ්ඨයින්ට මා තුළ තිබුණේ ගෞරවයකි. ආදරයකි.

"මම රන්ජිත් කියන තරම් උදව්වක් කළේ නෑ පී. බී." පතිරාජ සිනාසෙමින් කීවේය.

එතැන් සිට පතිරාජ කළ සෑම චිත්‍රපටයකටම මට හැකි උපරිම උපකාර කළේ ඔහු විශිෂ්ට චිත්‍රපටකරුවකු වීම නිසාය. 'සරසවිය' පත්‍රයේ වැඩ කරන සමයේ මා පතිරාජ හමුවන්නේ එවකට පී. බී. ඉලංගසිංහයන් නවාතැන් ගෙන සිටි නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ චමරියේදීය. මේ චමරිය කලා ලෝකයෙ පූජිත වූවන්ගේ නිකේතනයකි. එහි වැඩි ඉඩක් නැති වුවද, ඇතැම් විට දහ දොළොස් දෙනෙක් බිම පැදුරු දමා නිදති. ළඟ පහළ අය රෑ බෝවී නිවස්වලට යති. එසේ සිටි අය අතර විජය කුමාරතුංග, පතිරාජ, ජයසිරි, දයා තෙන්නකොන්, ජෝ අබේවික්‍රම, වික්‍රම බෝගොඩ, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ, ඩොනල්ඩ් කරුණාරත්න, ලයනල් විජේසිංහ, පියසේන අහංගම, විමල් කුමාර ද කොස්තා, ලයනල් වික්‍රම, ලක්ෂ්මන් මෙන්ඩිස්, සෝමරත්න බාලසූරිය, මිල්ටන් මල්ලවාරච්චි මට මතක් වන නම්ය.

පතිරාජගේ චිත්‍රපට අතුරින් මා වඩාත් අගය කරන චිත්‍රපටය 'පාර දිගේ' ය. මේ චිත්‍රපටය බිහි වීම එක්තරා අන්දමක දායකත්වයක් මගෙන් ද ලැබී ඇත.

මගේ ගුරුවරයකු වූ අජිත් තිලකසේනයන් (ප්‍රවීණ කෙටිකතා රචක) කොටුව පැත්තේ පැමිණි විට මා සමඟ එළියට ගොස් තේ බොමින් සිනමාව සාහිත්‍ය ගැන කතා කරමින් සිටීම සුපුරුදු කාර්යයකි. ලෝකයේ සම්භාවනීය චිත්‍රපට තිර කතා ගැනත්, ඒවා ඇසුරෙන් පළ වූ පොත් ගැන ද අපි කතා කරන්නෙමු.

"රන්ජිත් මම චිත්‍රපට තිර නාටකයක් ලිව්වා." දිනක් අජිත් තිලකසේනයන් මා මවිතයට පත්කරමින් කීවේය.

"සර් මම තිරනාටකය බලන්න ආසයි."

"මම රන්ජිත්ට දෙන්න අරන් ආවා."

ඔහු තමා ලියූ තිරනාටකය මට බලන්න දුන්නේය.

සතියකට පසු ඔහු මා හමුවීමට පැමිණියේය.

"කොහොමද වැඩේ."

"කියන්න වචන නෑ සර්.... අවංකව මම කියවපු හොඳ තිර නාටකයක්. මේක අධ්‍යක්ෂණයට දෙන්නේ කාටද?"

ඔහු සිනාසෙමින් මෙසේ ඇසීය.

"රන්ජිත් හිතන්නේ කවුද?"

"මට එකපාරටම හිතට ආවේ පතිරාජව."

"එහෙනම් මම හිතපු එක හරි. පතිරාජ තවම ඉන්නේ තොරණ හන්දියේ පොස්ට් ඔෆීස් එක උඩ තියෙන බිල්ඩිමේ උඩ තට්ටුවේද?"

"ඔව්. ඔව්."

"මම හෙට උදේ වරුවක එතැනට යනවා."

"කවුද? සර් චන්දරේගේ චරිතය හිතුවේ. විජය කුමාරතුංග මේ චරිතයට ගැලපෙනවා."

"මම හිතන දේ ම නේ රන්ජිත් හිතල තියෙන්නේ."

"මම සර්ගේ ගෝලයෙක්නේ. ඒකයි ඒ. ඒක නෙවෙයි නිෂ්පාදක කෙනෙකුත් හොයා ගම්මු."

"ඒක හොඳයි, මම පතිරාජව බලන්නම්. රන්ජිත් නිෂ්පාදකයෙක් ගැන බලන්න."

සතියකට පමණ පසු කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ, යසපාලිතගේ රූප ගත කිරීමකදී මට විජය කුමාරතුංග හමුවිය.

"විජේ මගේ සර් කෙනෙක් හොඳ තිරනාටකයක් ලියලා තියෙනවා. කාර් සීසර් කෙනෙක් ප්‍රධාන චරිතය. මම ඒක කියෙව්වා. විජය ඒකට ගැළපෙනවා. සර් පතිරාජට තිර නාටකය දෙන්න යනවලු.

"කවුද ලිව්වේ."

"අජිත් තිලකසේන."

"මම එයාගේ කෙටිකතා කියවල තියෙනවා. පතිත්, එයා ගැන කතා කරල තියෙනවා."

"මම මිස්ටර් ඇල්බට් ගොඩමාන්නට මේ ගැන කියන්නම්. බලමු පතිට කියලා චිත්‍රපටය කරවන්න."

"පාර දිගේ' උපන්නේ එහෙමය. ඇල්බට් ගොඩමාන්න මහතා මම හොඳින් හඳුනා සිටියෙමි. ඔහු මා උපන් කොස්හන්දියේ 'නයින් හාට්ස්' ඡායාරූප ශාලාවේ අධිපතිය. ඔහුගේ පුතා තිලක් ගොඩමාන්නද මගේ මිතුරෙකි. ඔහු ආනන්දයේ අපට සමකාලීන ශිෂ්‍යයෙකි. පතිරාජගේ 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ සම නිෂ්පාදක ද ඔහුය. මම තිලක්ටත්, ඔහුගේ පියාටත් මගේ සර්ගෙ තිරකතා පිටපත ගැන කීවෙමි. 'පාර දිගේ' සිනමාවට නැගිණ.

පසුකලෙක පතිරාජ ඉතා කිට්ටුවේ ඇසුරු කිරීමට ලැබුණේ කේරළයේ පැවති ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට මා සහභාගි වූ අවස්ථාවේ. එවකට උපකතුවරයකු වූ වර්තමාන සරසවිය කර්තෘ අරුණ ගුණරත්න ද මා සමඟ එක්විය. පතිරාජ ද ඔහු ආචාර්ය උපාධිය කළ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයේ ඔහුගේ උපදේශක මහාචාර්යාද මේ උළෙලට පැමිණ සිටියහ. අප හතරදෙනාම නැවතී සිටියේ එකම ලොකු කාමරයකය. උදෙන්ම පිටත්ව චිත්‍රපට නරඹන අපි දිනකට විදේශීය චිත්‍රපට හතරක් බලා නැවත කාමරයට එන්නේ රාත්‍රී 10 ට පමණය. ඉක්මනින් නින්ද යන අරුණ, පතිරාජ, මහාචාර්යවරයා හා මා උදේ අවදිව තේ බොමින් කලින් දා නැරඹූ චිත්‍රපට ගැන සමාලෝචනයක යෙදෙන්නෙමු. මෙය ඉතා රසබර දින 10 ක් මගේ මතක පොතේ ලියවී ඇත.

ගිය වසරේ පතිරාජ අධ්‍යක්ෂණය කළ 'සක්කාරං' චිත්‍රපටයේ ප්‍රචාරක ක්‍රියාදාමයට මා සම්බන්ධ වූයේ නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරිගේ ඉල්ලීමකටය. චිත්‍රපටය තිරගතවනතුරු පතිරාජ, ඩොනල්ඩ් කරුණාරත්න, ඩබ්ලිව්. ජයසිරි, එල්මෝ හැලිඩේ හා නිමල් විජේසිරි සමඟ සමීපව ඇසුර කිරීමට මට හැකිවිය. මා එදා මුලින්ම පනස් වසරකට පෙර දුටු පතිරාජ මිස ඔහු වෙනස් වී නොතිබුණි. චිත්‍රපට අධ්‍යක්ෂණය, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයකු වුවත් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ලොක්කා ලෙස කටයුතු කළත් පතීගේ මානව දයාව නිහතමානී බව අව්‍යාජත්වය සරළකගම එලෙසම රැඳී තිබීම තවත් විශේෂත්වයකි.

ඒ පතිරාජ ලකුණය.