වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




නොදැනීමේ සුදුසුකම

නොදැනීමේ සුදුසුකම

ජ්‍යෙෂ්්‍යඨ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ විශිෂ්ටත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැනෙ. එතුමාණන් සිංහල සිනමාවෙහි වෙනස්ම මාවතක් විවර කළ අපූරු පුද්ගලයෙක්. එවන් වූ අයකු පිළිබඳ නොදන්නා කෙනෙක් කලා ක්ෂේත්‍රය තුළ ඉන්නවා කියලා හිතන්න අපහසුයි. පතිරාජයන් සිනමාවට පිවිසිලා පණස් වසරක් එහි සක්‍රියව කටයුතු කරමින් කළ මෙහෙවර උදෙසා උපහාර පිදීමක් පසුගිය දිනයක සිදු වුණා. මේ පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ගෙන් ලොකු ඉඩක් ද වෙන්කොට තිබුණා. මේ උත්සවයට පෙර දිනෙක පතිරාජයන්ට දුරකතන ඇමතුමක් ඇවිල්ලා ප්‍රසිද්ධ ගුවන් විදුලියක ප්‍රධානියකුගෙන්.

හලෝ ධර්මසේන . . .

පතිරාජයන් දුරකතනයට පිළිතුරු සපයන්නටත් පෙර අනෙක් අන්තයෙන් එහෙම ඇසුණලු. ඔහු තුෂ්නිම්භූත වෙලා.

දැන් පණහයිලු නේද?

ඊළඟට අර ප්‍රධානියා පතිරජගෙන් එහෙම විමසලා. ඔහු තවත් තුෂ්නිම්භූත වුණාලු. මේ ප්‍රධානියාගේ නොදැනුවත්භාවය ගැන අනුකම්පා හිතිලා 'මට පණහ වුණේ මීට අවුරුදු විසිපහකට කලින් කියලත් පතිරාජට කියන්න හිතුණලු. එත් ඔහු ඒ ගුවන් විදුලි ප්‍රධානියාගේ තත්ත්වයට වැටිලා නැහැ. මේ වගේ අයකු මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු විදිහට කවුුද දන්නේ නැහැ පත් කළේ. එක්කෝ මෙයා පතිරාජයන් ගැන දන්නේ නැහැ. නැත්නම් ඔහු පතිරාජයන්ටත් වඩා උසස් කෙනෙක්. නැතිනම් පතිරාජට නම කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැනෙ. මොනවා වුණත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පතිරාජයන්ව මේ අන්දමින් හෑල්ලු කළ ඒ පුද්ගලයාට ගුවන් විදුලි ආයතනයක මුල් පුටුව ලැබුණේ කොහොමද දන්නේ නැහැ. සමහර විට කිසි දෙයක් දන්නේ නැති හින්දම ඒ පුටුව හිමිවෙන්න ඇති.