වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

අමරණීය ජෝති

එදා ජෝති සිනමාවට අවතීර්ණ වූයේ, 'සුදු සඳේ කළු වලා' චිත්‍රපටයෙනි. ඔහු ගායනයෙන් පමණක් නොව රංගනයෙන්ද රිදී තිරයේ රසික රසිකාවන් පිනවූයේය. 'සුමිතුරෝ', චිත්‍රපටය නිෂ්පාදනය කළේය. ජෝති වරෙක පෙම්වතෙක් විය. තවත් වරෙකි දුෂ්ටයෙකි. පොලිස් පරීක්ෂකවරයෙකි. එපමණක් නොව රහස් පරීක්ෂකවරයෙක්ද විය. වැඩිම වාර ගණනක් පෙම්වතිය වුයේ සුමනා අමරසිංහ ය. ජෝතිගේ හොඳම රංගනය මා දුටුවේ 'දමයන්ති' චිත්‍රපටයේ ය. ජෝති ඔබ අමරණීය යි.

ඊ දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


මළත් නොමළ ජෝති

60 දශකයේදී ගුවන් විදුලියේ ගීයක් ගායන විටදී මම අවු: 10 පමණ කුඩා ළමයෙක්මි. මා ඒ ගීය ගයා ආපසු එද්දී ජෝති හා කරු අයියලා ගුවන් විදුලියට එමින් සිටියා. ඒ කාලයේ ජෝතිගේ කටහඬට වශී වී උන්මාදයට පත්ව සිටි අවස්ථාවක ජෝති එකරම ජීවමානව දැකීමෙන් මා උන්මාදයට පත්වුණෙමි. මා එකවරම ආපසු හැරී ඇවිත් ජෝතිට මගේ තියෙන දැඩි ළෙන්ගතු බව ඔහුට ප්‍රකාශ කර සිටියෙමි. එදා ජෝති මට කොස්වත්ත තලංගම කියන ලිපිනයක් දී ලියුමක් එවන්න මල්ලි කිව්වා. එදා සිට මියෙන තුරුම ජෝති බොහෝ සේ ඇසුරු කරන්නට ලැබුණා. මගේ ජීවිතයේ සතුටට පත්වුණ දවස එයයි.

ජෝතිගේ වැඩිම ඉතාම පැරැණි දුර්ලභ පිංතූර හා තොරතුරු වැඩියෙන්ම ඇත්තේ මා ළඟ බව මගේ දැඩි විශ්වාසයයි. ජෝති තරම් මගේ හදවත සැනසූ, පින වූ කෙනෙක් තවත් නැත. මගේ ජීවිතයේ නොයෙක් පීඩාකාරී අවස්ථාවලදී ජෝතිගේ පැරැණී ගීයක් ඇසීමෙන් මා ලැබූ ලබන මානසික සතුට සුවය අනන්තය, අප්‍රමාණය. ජෝති හා මා අතර ඇත්තේ පෙර ආත්මීය බැඳීමක් බව මගේ දැඩි විශ්වාසයයි.

මේ ජෝති නැති සොවින් තවමත් හඬා වැළපෙන ජෝතිගේ ලැබැඳි සහෘදයා

අජිත් ජෝතිය කරසිංහ

මත්තේගොඩ


මිනිසත්බව පිරි ජෝති

අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන් දැයෙන් සමුගෙන තිස් වසරක් ගෙවී ඇත. අද ඔහු සිටියා නම් අසූවියත් සපුරනු ඇත. අද සිටින යොවුන් පරපුර ද රියැලිටි වේදිකාවේ ජෝතිගේ ගී ගයති. එදා සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රැසක් ඔහු හඬින් ගීතවත් විය. සිනමාව සහ ජෝති රැල්ලයි වෙරළයි මෙන් විය. සිනමා නළුවකු ලෙසින් පමණක් නොව නිෂ්පාදකවරයකු ලෙසින්ද කළ දායකත්වය අගෙයි. මිනිසත් බවෙන් සපිරුණු ජෝති එදා අද මෙන්ම හෙටත් ජෝතිමත්ය.

සරත් ලියනගේ

රන්මුතුගල

කඩවත


ආදර ජෝති තවමත් සුපිරි තරුව ඔබයි

ගී ලොව සක්විති ජෝති, ඔබගේ හඬට ප්‍රිය නොකරන එකදු සවන් යුගලක්වත් මේ දිවයිනේ සොයා ගත නොහැක. ඒ ඔබේ ආශ්චර්යයේ මහිමය යි. ගායන ශිල්පියකු පමණක් නොව නළුවකු ලෙසින්ද අවංක, නිහතමානි මහත්මයකු ලෙසින්ද ඔබ ප්‍රකටය. මේ තරම් ඔබ ජනප්‍රියවීමේ රහස ද එයම වේ. ඔබ අපෙන් වෙන් වී වසර තිහක් ගත වුව ද තවමත් සුපිරි තරුව ඔබමයි.

ආනන්ද වික්‍රමආරචිචි

ඉහළතල්දූව


මා දුටු සොඳුරුතම සංවේදී ගායකයා

ජෝතිපාල කියන්නේ එදා මෙදාතුර සිටිය ගායකයින් අතර ගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙක්. ඒ වගේම ගායන සම්පත්තියෙන් ද, රූප ස්වභාවයෙන් ද ජෝති පිරිපුන් අයෙකි. මේ නිසා එළිමහන් සංදර්ශන වේදිකාවේදී ජෝතිගේ ගායනය හා රූපය යන දෙකම එකට සංකලනය වී මැවෙන ආකර්ෂණයෙන් ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීමට හේතුවක් වුණා. ජෝතිපාලට ශාස්ත්‍රිය අධ්‍යයනයක් නොතිබුණත් ශාස්තී‍්‍රය අධ්‍යාපනය ලැබූ අයට වඩා ඉතා දක්ෂ අන්දමින් ගායනා කිරීමේ හැකියාව තිබුණා.

ජෝතිපාලට කොතරම් අපූර්ව හැකියාවක් ඇති ගායකයෙක් ද කියලා ශ්‍රාවකයන් ඔහුව හොඳින් හඳුනා ගත්තේ චිත්‍රපට ගීත පටිගත කිරීමේදී රඟන නළුවාගේ විලාසයට සරිලන පරිද්දෙන් ගායනය පවත්වාගෙන යාමේ අපූර්ව හැකියාව ඔහු තුළ තිබුණ නිසයි.

ජෝතිපාල මුදල් මත යැපුන පුද්ගලයෙක් නම් නොවේ. ඔහුට අවශ්‍ය වුණේ කෙනෙකුගේ අවශ්‍යතාවයට පිහිටවීමයි. චිත්‍රපට ගීතයකට, සංදර්ශන ගීතයකට කොපමණ මුදලක් අවශ්‍යද කියා ඔහුගෙන් විමසුවහොත් ඔහු පවසන්නේ වැඩේ ඉවර වුණාම සල්ලි තිබුණොත් මට දෙන්න කියායි. එතරම් ඔහු හිතවතුන්ට සංවේදී පුද්ගලයෙක්. ඔහුට පොහොසතුන් දුප්පතුන් කියා පංති භේදයක් නැහැ. ඔහු සැම දෙනා සමඟ සුහදශිලී බැඳුණු මිත්‍රත්වයකින් ජිවත් වූ අයෙකි.

මියගොස් වසර 30 ක් ගතවීත් අදත් ජෝති අමරණීයයි, ජීවමානයි.

ඩබ්ලිව්. හෙන්ඩ්‍රි

89/38, කැටවලමුල්ල පෙදෙස

කොළඹ 06.


මිනිසා ඔබය හදවත රත්තරන් වුණු

වරුසාවකින් නෙත් දිය ගැලු සතඟ මනු
ගවසා මෙබිම තෙත් කොට මඟ නතර වුණු
අවසානයේ කඩඉම තෙක් ගැයුම දිනූ
මිනිසා ඔබය හදවත රත්තරන් වුණූ

සත් සර මුවඟ සරසවි දෙවඟනන් ලබා
අත් කළ රසය රසබර ගීතයෙන් සුබා
සිත් දෙස් විදෙස් සනසා කළ නිතොර ප්‍රභා
මත් කළ රසසය මතකයි ඔබ රැඳුණු සබා

තුන් දශකයක් ගෙවුණි ද නික්මී බවයෙන්
රන් හඬ ඇසේ තවමත් වා රැළි තලයෙන්
පින් කළ දනෝ ඒ හඬ විඳ විඳ සුවයෙන්
සන් සුන් සිතින් සැනසෙති තවමත් දිවියෙන්

පැති රූ ජෝතිමත් හඬ ස්වර සුසර තුලින්
හැසි රූ අයුරු නොදැනුණු සමහරුන් කලින්
බහු රූ අමන කොලම් බස් දෙඩුව මුලින්
පිළි රූ අඹති අද නිහඬව ඉසුරු පලින්

කලාභූෂණ, කිවිපති, කවිධජ
ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි
ලංකා බැංකු මූලස්ථානය


දයාබර ජෝති

සුමිහිරි හඬින් ගැයු ගී තවමත් මතකයි
හදපිරි සොම්නසින් රඟ පෑ හැටි මතකයි
බිව් කිරි කඳුළ සිහි වී මව් ගුණ ගැයුවයි
ගුණපිරි පුතෙකු බිහි කළ මව පින්වන්තයි

දිළෙන සඳ ලෙසින් පායා ගගනේ
කිරණ ලබා දුන්නා සැමටම දෙරණේ
ගැයු ගී මුව මුවඟ පොපියනවානේ
පිපෙන සිඟිති මල් පවසති අභිමානේ

වසර තිහක් සපිරෙයි මේ ජූලි හත
සතර වටින් ඇසෙනව උපහර ගීත
සසර පුරා බැඳී සෙනෙහස අපිරිමිත
සොයුර අප සැමගේ හදවත රැඳී ඇත

කලාභූෂණ චන්ද්‍රා මාලිනී ද සිල්වා
පෝරඹ
අම්බලන්ගොඩ


ගී ලොව කෝකිලයාට

මධුර හඬකින් සවන් පිනවා
මියුරු ගී පද ගැයූ ඔබ අද
අපේ මතකයෙ මැවෙනවා
ජෝතිමත් කළ කලා ලෝකය
එවන් මිහිරැති අසම සම හඬ
තවම සවනේ රැඳෙනවා
සරත් ලතැවුල් සුසුම් කඳුලැළි
වරෙක දෙනෙතට නැඟෙනවා
එවන් මොහොතෙදි ඔබේ ගී හඬ
දිවිය සුවපත් කරනවා
හදේ සැමරුම් මෙසේ පුදමින්
ඔබව සිහිපත් කරනවා
නිවන් පුරයේ රුවන් දොරටුව
විවර වෙන්නයි පතනවා

රවින්ද්‍රාල් අතුකෝරල
තවලතුගොඩ
පිටකෝට්ටේ


ආදරණීය ජෝති

තිස් වසරකුත් ගතව ගියේ අද ඊයේ මෙනි
ගී ලොව අනඟ කුමරා ඔබමය ජෝති
ජෝතිය ඔබයි බිහි කළේ ගී මහා සෑය මෙනි
එය කිසිවෙකුටත් බිඳලිය නොහැකි වුණි

චිත්‍ර ශිල්පී
විජේසිරි
කොළොන්නාව


හෙළ සිනමාවේ ජෝතිගේ හඬ ලද නළුවන්

ආනන්ද ජයරත්න
ප්‍රේම් ජයන්ත්
එස් ජයමාන්න
ඩොමී ජයවර්ධන
ඩී. ආර් නානායක්කාර
අශෝක පොන්නම්පෙරුම
ස්ටැන්ලි පෙරේරා
බොනිපස් ප්‍රනාන්දු
එඩ්වඩ් සේනාරත්න
රිචඩ් ඇල්බට් (ටාසන්)
සම්පත් ශ්‍රී නන්දලෝචන
ඇන්තනි සී. පෙරේරා
ගාමිණි ෆොන්සේකා
ජෝ අබේවික්‍රම
ටෝනි රණසිංහ
විජය කුමාරතුංග
රන්ජිත් පෙරේරා
එල්. එම්. පෙරේරා
බැප්ටිස්ට් ප්‍රනාන්දු
සේනාධීර රූපසිංහ
ඔස්වල්ඩ් ජයසිංහ
රෝයි ද සිල්වා
රොබින් ප්‍රනාන්දු
රවීන්ද්‍ර රන්දෙණිය
උපාලි අත්තනායක
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
බන්දු මුණසිංහ
ෆ්‍රෙඩී සිල්වා
සනත් ගුණතිලක
ජීවන් කුමාරතුංග
ශෂී විජේන්ද්‍ර
අජිත් ජිනදාස
තිස්ස විජේසුරේන්ද්‍ර
ලයනල් දැරණියගල
කිත්සිරි පෙරේරා
ජගත් රෝහාන්
සෙයින් සුහෙර්
මර්වින් ජයතුංග
විජය නන්දසිරි
රෙක්ස් කොඩිප්පිලි
වොලී නානායක්කාර
දොන් සිරිසේන
ජයන්ත දාස් පෙරේරා
නිහාල් සිල්වා
විල්සන් කරුණාරත්න
විමල් කුමාර ද කොස්තා
ක්වින්ටස් වීරකෝන්
ශ්‍රීනාත් බස්නායක
තිලක් කුමාර රත්නායක
සුදේශ් ගුණරත්න
බී. එස් පෙරේරා
අශෝක හේවාවිතාරණ
නාත් ගුණසේකර
ගාමිණි අබේසිංහ
ඩඩ්ලි වානගුරු

සමන් රවීන්ද්‍රලාල්
හෝමාගම