වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




බුදු සන්තෝ ඒවා නිකං ඇඟ වෙව්ලන වැඩ

බුදු සන්තෝ ඒවා නිකං ඇඟ වෙව්ලන වැඩ

‘මයි නේම් ඉස් බන්දු’ සමඟ රට වටා විහිළු බෙදන බන්දු සමරසිංහ . . .

සිනහව කොතැන ද බන්දු සමරසිංහ එතැනය. බන්දු සමරසිංහ කොතැන ද සිනහව එතැනය. මෙවැනි සොඳුරු මිනිසුන් සිනමාපටයකින් හෝ හමුවීම විඩාබර මනසට එක්තරා අන්දමක අස්වැසිල්ලකැයි මට සිතේ.

හතළිස් පස් වසක් පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාව සිනා සයුරේ ගිල්වමින් චිත්‍රපට රැසක තම රංගන කුසලතා ප්‍රකට කළ බන්දු මේ දිනවල අප හමුවට එන්නේ සිය අසූ පස් වැනි චිත්‍රපටයෙනි. සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ‘මයි නේම් ඉස් බන්දු’ එම චිත්‍රපටයයි.

සිනා රසයෙන් මෙන්ම හරබර කතාබහෙන් ද බන්දු සමඟ ගෙවුණු රසබර හෝරා කීපයක වගතුග ඔබට සමීප කරවන්නට අප දැරූ උත්සාහයයි මේ.

‘මයි නේම් ඉස් බන්දු’ ඔබේ අසූ පස් වැනි සිනමා රංගනය. මේ චිත්‍රපටය තිරගත වන්නේත් ඔබේම නමින්. ඇයි ඔබේ නමින්ම චිත්‍රපටයක රඟපාන්න අදහස් කළේ?

ඇත්තටම මේක මගේ අදහසක් නෙවේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුරංග අල්විස් තමයි ‘මයි නේම් ඉස් බන්දු’ කියන නම ඊට යොදන්නේ. ඒ නම චිත්‍රපටයට යෝජනා කළාම ඊට මම අකැමැති වුණේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕනෑ අධ්‍යක්ෂතුමා මාව හොයාගෙන ආවේ නෑ මේ චිත්‍රපටයට. මමයි ඔහුගේ නිවසට ගියේ. සුරංගට මම කියන්නේ ‘සුරංග පුතා’ කියලයි. ‘සුරංග පුත්‍ර’ කියනවා. ‘ලොකු පුතා’ කියනවා. ඔහුගේ පියා ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස් මම මේ ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන්ම දන්නවා. මොකද ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ ගීත පටිගත කිරීමේදී එහි සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක කැටුව ආපු දක්ෂ කීබෝඩ් වාද්‍ය ශිල්පියා හැටියටයි මම ඔහු හඳුනා ගත්තේ. සුරංග මට ‘සුරංග පුත්‍ර’ වෙන්නේ එහෙමයි.

වෘත්තීය වටිනාකමක් එහෙම නැත්නම් හොඳ මාකට් වැලියු එකක් තිබෙන නළුවෙක් හැටියට බන්දු සමරසිංහ ඇයි අධ්‍යක්ෂවරයෙක් හොයාගෙන ගෙදරට ගියේ කියන එක මට ගැටලුවක්?

කර්මාන්තයේ නියැළී ඉන්න අයගේ ප්‍රතිපත්තිත් එක්ක අපේ ප්‍රේ්ක්ෂකයන්ට වින්දනයක් ලබා දෙන්න බැරි වෙයි කියලා මම කල්පනා කළා. කර්මාන්තයේ ප්‍රතිපත්තිත් එක්ක මම හිතන්නේ මගේ ගමන යන්න බැරි වෙනවා. ‘පීටර් ධදඥ’ චිත්‍රපටය ප්‍රදර්ශනය අවසන් වුණාට පස්සේ තමයි මම මේ තීරණය ගත්තේ. එහෙම තීරණය කරලා තමයි මම සුරංග හොයගෙන ගියේ. ගිහින් ඔහුට කිව්වා ‘පුත්‍ර ඔයා මම රඟපාන චිත්‍රපට තුනක් කරන්න ඕනෑ’ කියලා. ඔයා කථන්දර හදාගන්න මගේ අවුරුදු හතළිස් පහක එක්ස්පීරියන්ස් එක මේ කථන්දරවලට දාමු’ කියලා මම වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා පුත්‍රට.

ඔහු ඊට ප්‍රතිචාර දැක්වූවේ කොහොමද?

‘රජ හොරු’ ප්‍රදර්ශනය කරලා ඉවර වෙලා මාස එකහමාරකට විතර පස්සෙයි මම ඔහු හොයාගෙන ගියේ. ඒ වෙනකොට සුරංගගේ අදහසක් තිබුණේ නෑ චිත්‍රපටයක් කරන්න. ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපට තුනක මම රඟපානවා කිව්වාම සුරංග ටිකක් කල්පනා කරන්න පටන් ගත්තා. ඇයි එයා දන්නවනේ මම එහෙම කියන කෙනෙකුත් නෙවේ කියලා. තුෂ්ණිම්භූත වෙලා, ඉර හඳ දිහා බලලා සුරංග පුත්‍ර එයාගේ භාර්යාවට කිව්වලු මේ ගැන. ඇය කියලා තියෙනවා ‘කිසි කතාවක් නැතුව වැඩේ පටන් ගන්න’ කියලා.

ඔබේ නම මාකට් කරන එකට ඔබ එකඟ වුණාද?

ඔය කියන හීනේ සානුකම්පිතව මනුෂ්‍යයෙක් හැටියට මට එන්න පුළුවන්. දැන් මේක ‘මගේ කොම්පැනියක්’ නෙවේ. පිට එකක්නේ. එතකොට ඒ කොම්පැනියට මොකට ද මේ නමක් දෙන්නේ කියන ද්වේෂ සහගත සිතිවිල්ල මට පහළ වෙන්න ඉඩ තිබුණා. නමුත් සිංහල සිනමා කර්මාන්තයේ ප්‍රතිපත්තිවල නෙවෙයිනේ මම ඉන්නේ. ඒ නිසා මට ඒක පහළ වුණේ නෑ.

දැවැන්ත අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු එක්ක අවුරුදු හතළිස් පහක් සිනමාවේ වැඩ කරපු ඔබ ඇයි එක චිත්‍රපටයක් පමණක් අධ්‍යක්ෂණය කළ සුරංග වගේ නවකයෙකුට මේ වැඩේ බාර දෙන්නේ?

මට ඔහු ගැන තිබුණා ලොකු විශ්වාසයක්.

‘රජ හොරු’ නිසා ඇති වුණ විශ්වාසය?

නෑ . . . නෑ . . . ‘රජ හොරු’ නිසා නෙවෙයි. තාත්තා සංගීතයෙන් කළා වගේ පුතාත් යම් කිසි ක්ෂේත්‍රයක ඉදිරියටම යයි කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. වේදිකාවේ හෝ සිනමාවේ රංගන ද්‍රව්‍යවලින් ටිකක් ප්‍රවේශමෙන් පොඩි මොඩ්ල් එකකට යම් දෙයක් කරන්න පුළුවන් ජවසම්පන්න තරුණයෙක් ඔහු කියලා මට තේරුණා. හැබැයි මම මේක කාගෙන්වත් ඇහුවේි නම් නෑ. උපදෙස් ගත්තෙත් නෑ. දැන් මේක ඕපදූප අහලා තෝරාගත්ත එකක් නෙවේ. ‘මේ අරයා කොහොමද, එයත් එක්ක වැඩ කරලා තියෙනවද’ කියලා අරවා මේවා ඕපාදූප හරියට තියෙනවානේ අපේ කර්මාන්තයේ. නිර්මාණයක් කරන එක අපේ වැඩක්නේ. ඇයි කගෙන්වත් අහන්නේ. එතකොට අපි ක්‍රියා කරන්නේ අනුන් කියන විදිහටනේ.

ඒ චෝදනාව සාධාරණයි කියා ඔබ හිතනවාද?

නෑ. මම මේ කර්මාන්තයට දොස් නගනවා නෙවෙයි. මගේ ප්‍රතිපත්තිය ගැනයි කිව්වේ. එහෙම නැතුව මම ‘සරසවිය’ පාඨකයන්ට මේ පාඩමක් කියලා දෙනවාත් නෙවෙයි. මම මගේ ගෙදර, පවුල් පසුබිම රහසක් කරගෙනයි තියෙන්නේ. හැබැයි අපි ඒ රහස හරියට රැකලා තියෙනවා. ඒ රහස කියන්නේ මේ වැරදි වැඩ නෙවෙයි. මම දරුවෝ තුන් දෙනෙක්ගේ පියෙක්. එතකොට මගේ භාර්යාව කියන්නෙත් හොඳ මවක්. අපේ රහස් පවුල් ජීවිතයට දැන් අවුරුදු තිස් පහක්. ඉතින් එහෙම රහසක් වුණ හින්දා තමයි මේක රැකුණේ. මේක විවෘත කරන්න ගියා නම් සරුවත් කඩයක් වගේ වුණා නම් එහෙම නැතිනම් වාහනයක් වුණා නම් මෙලහකට ටයර් හතර උස්සගෙන ගිහිල්ලා.

සති පොලක් වගේ වුණා නම් තවත් වැඩේ හබක්?

හරියට හරි. එතකොට ඒක මම පුරුදු වුණේ ගමෙන්. කොළඹ ඇවිල්ලා නෙවෙයි. ගමේ වෙරළු ගස් යට, නමිනං ගස් යට, උගුරැස්ස , කටු අනෝදා ගස් යට තමයි ජිවිතේ ගෙවුණේ. ඒ වගේම මම හරි ආසයි වැල, වරකාවලට. ඒ ගස්වල අතු තුනක් එකට තිබ්බ තැන්වල ඒ අතු කපලා බංකුවක් හදාගෙනයි මම වැල කෑවේ. එහෙම පැලපදියම් වෙලා වැලකාපු එකෙක් යකෝ මම.

අර පරණ දේවල් ටිකම රිපීට් කළා හැරෙන්න මේ චිත්‍රපටයේ ඔබට අලුත් යමක් කරන්න බැරි වුණා කියලා මට හිතෙනවා. ඔබ මොකද කියන්නේ?

ඒක නම් මම විශ්වාස කරන්නේ නෑ. ඒක මම ඕනෑ වෙලාවක කියනවා. මම මේකෙ පරණ දේවල් කරලා නෑ. ඒක මනඞකල්පිත අදහසක් ඔළුවේ තියාගෙන ඔබ කියාපු කතාවක්. ඔබ අහපු ප්‍රශ්නෙට එරෙහිව මම නැඟී සිටිනවා. ඔබතුමාත් කේලම් අහලා මේ කර්මාන්තයේ තියෙන යම් යම් ප්‍රතිපත්ති විකර්ම කරගෙන අහපු ප්‍රශ්නයක් කියලා ඒක මම මේ වෙලාවේ ප්‍රතික්ෂේප කරනවා හිඞ හිඞ හිඞ

මිනිස්සු හිනා ගස්නවා කියන්නේ මාර සංවේදී, අභියෝගාත්මක කාර්යයක්නේ?

මේ ලෝකේ තියෙන අමාරුම දේත් ඒක තමයි.

ඒත් බන්දුලගේ, ටෙනීලාගේ විහිළුවලට දැන් හිනා යන්නේ නෑ කියන අයත් නැතුවා නෙවෙයිනේ. සමහරු කියනවා එක්දාස් නවසිය බර ගණන්වල ජෝක්ස් තමයි තාම එයාලා දාන්නේ කියලා?

සමහරු ද කියන්නේ නැතිනම් කර්මාන්තයේ අයද?

සමහර ප්‍රේක්ෂකයෝ පවා වෙන්න පුළුවන්?

ඒක ඇත්තට සාධාරණයි. ඒ කට්ටිය එහෙම හිතන එක. ටිකට් එකක් මිලදී අරගෙන ‘මයි නේම් ඉස් බන්දු’ නැරඹුවොත් පව් කියන්න ඕකට පිළිතුරක් හම්බ වෙයි.

ඒ කියන්නේ ‘මයි නේම් ඉස් බන්දු’ ඔබේ රංගන දිවියේ කූටප්‍රාප්තිය?

නෑ . . නෑ . . නෑ ‘මයි නේම් ඉස් බන්දු’ කියන්නේ නැවත චිත්‍රපට විස්සක් කරන්න ශක්තිය, ජවය පෙන්නපු චිත්‍රපටයක්.

දැන් එඩී ජයමාන්න, ක්‍රිස්ටි ලෙනාඩ්, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, ඇන්තනි සී. පෙරේරා වගේ විකට නළු පරම්පරාවක් අපට හිටියානේ. එහෙම ධාරාවක් තිබුණා. එතකොට බන්දු සමරසිංහ ඒ ධාරාවේ කොතැනද සිටින්නේ?

මම නම් හැබැයි ඔය ධාරාව තුළම නෑ. ඇත්තටම මම විකට රංගන ශිල්පියෙක් නෙවෙයි. කොතැන හරි වැරැද්දක් තියෙනවා මාවත් ඒ ලැයිස්තුවට දාලා. මම රඟපාලා ඒක තිරයේ දකිනකොට දැන් කල්පනා කරනවා අනේ මොකද මට වුණේ කියලා. දැන් ඔය අහපු ලැයිස්තුවේ මම නෑ. මට තේරෙන්නේ මොකක් හරි වෙලා මට. මම මෙහෙම වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙවේ.

ඒ කියන්නේ විකට නළුවා නැත්නම් ජෝකර් කියන ටයිටල් එක ඔබ බලාපොරොත්තු නොවුණ දෙයක්?

නෑ . . නෑ . . නෑ . . ඒක බලාපොරොත්තු වුණෙත් නෑ. රඟපාන එක බලාපොරොත්තු වුණෙත් නෑ. මට තාම තේරෙන්නේ නෑ මම රඟපානවද කියලා. මම තාම ඒ ගැන විමර්ෂණයකින් ඉන්නේ. ඒකයි මම කිව්වේ කර්මාන්තයේ එක ප්‍රතිපත්තියකවත් මම නැහැයි කියලා. යම් කිසි පවුල් ජිවිතයක් ගොඩ නඟා ගන්නේ කොහොමද කියන දැනුම නම් මට දැන් තියෙනවා. සීයට අනූ නමයයි දශම ගාණකට ඒක ගොඩනැඟිලා තියෙනවා මේ අවුරුදු තිස් පහ තුළ. මම දරුවෝ හොඳ පාරක ගෙනල්ලා තියෙනවා. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මම ඉන්නෙ කොයි හරියෙද කියලා කියන්න එපායැ. දැන් ඔය කිව්ව ධාරාව විශාල නම් ධාරාවක්නේ. එතැනට එන්නත් කෙනෙකුට බෑ.

ඒ නාමාවලියට ඇතුළ් වෙන්න ලේසියෙන් බෑ?

අනේ බෑ. ඒක මේ හඬ පාලනය කරන තැන්වලට ගිහිල්ලා. රැවුල කපලා, එහෙම නැත්නම් රැවුල වවලා, කොණ්ඩෙ කපලා, තමන් කොට වැඩි නම් යටින් උස්සලා අඩි ගහලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක වෙන පිනක්.

මම පෞද්ගලිකව ඔබ විකට නළුවෙක් කියන තැනට ලඝු කරන්නේ නෑ. නමුත් බන්දු සමරසිංහ කිව්වම කෙනෙකුගේ මුවට සිනහවක් නැඟෙන එක අපට වලක්වන්න බෑ?

දැන් ඒ මොකද කියලා අහපුවාම ඒකට උත්තරයක් දෙන එක ගැටලුවක් වෙලා මට තියෙන්නේ. මගේ රංගනයට ඇළුම් කරන අය මගේ දිහා බලලා හිනා වෙනවා. සමහරු ඒ පික්චර් එකේ මම රඟපෑ චරිතේ නම කියලා කථා කරනවා. ඒ වගේ කතා කරපුවාම ඉතින් මම හිස නමා ආචාර කරලා යනවා. මගේ බිරිය, දරුවෝ එක්ක යනකොටත් සමහරු මට විහිළු කරනවා. එහෙම වෙලාවට මම දරුවන්ගේ මුහුණු දිහා බලපුවාම එයාලටත් නිකං ප්‍රශ්නයක් වගේ ඒක. හරියටම ඉන්න තාත්තා කෙනෙකුට, අපිවත් මොනවත්ම නොකියන තාත්තාට පාරට ගියාම එක එක දේවල් කියනවා, විහිළු කරනවා. ඒ ගැන දරුවෝ කථා කරනවා. ඒ තුන් දෙනාම දැන් ලොකුයි. ස්කෝලේ පහ, හය වසරවල ඉගෙන ගන්න කොට මට දරුවෝ එක්ක පාසලට එන්න, යන්න එපා කියන තැනට ආවා. ලොකු පංතිවලට යනකොට ඒක තවත් වැඩි වුණා. මොකද මේ බන්දු සමරසිංහගේ දරුවෝ කියලා පාසලේ ප්‍රසිද්ධ වුණොත් ඒ අය ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. ඒක අධ්‍යාපන කටයුතුවලට පවා බාධාවක් වෙයි කියලා තමයි අපි හැමෝම කල්පනා කළේ.

හැබැයි ඒ හැම තැනකම තියෙන්නේ රසික ආදරය?

මම අහවල් ජාතියේ නළුවෙක් කියලා කැටගරයිස් කළේත් මම නෙවෙයි. ඒ ඔක්කොම කළේ ප්‍රේක්ෂකයෝ සහ මේ සමාජය.

ඔබ අකැමැතිද විකට නළුවෙක් විදිහට ඔබ හඳුන්වනවාට?

නෑ . . . ඒ ගැන මගේ අකැමැත්තකුත් නෑ. මට ප්‍රශ්නෙකුත් නෑ. එහෙම හඳුන්වන එක සතුටක් මට. මොකද මේක මිනිස්සු සංතෝෂ කරවන එකක්නේ. ඒකට පින් කරන්න ඕනෑ. කොහොම ඒ පින ලැබුණ ද කියන්න දන්නේ නෑ. ඒත් පෙර භවයේ මගේ විශාල කුසල කර්මයක් නිසා මේක ලැබුණා කියලා මට හිතෙනවා.

‘රෝදය’, ‘රජ්ජුමාලා’ වගේ චිත්‍රපටවල අප ඔබ දුටුවේ චරිතාංග නළුවෙක් හැටියට. නමුත් ඒ චිත්‍රපට හරහා ඔබ ඉස්මතු කරන්නට උත්සාහ දැරූ නළු ප්‍රතිරූපයට ප්‍රේක්ෂකයෝ එතරම් හොඳ ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ නේද?

ඔව්. ඇත්තටම හොඳ ප්‍රතිචාරයක් තමයි ලැබුණේ. ඒකට මම ආදරෙයි. චරිතාංග නළුවෙක් වුණා ද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒ ප්‍රතික්ෂේප කරපු එකට මම කැමැතියි. හොඳට ප්‍රතික්ෂේප වුණා.

ඒ කියන්නේ?

හොඳටම ඉතින් ප්‍රතික්ෂේප වුණානේ. ඒ නිසා මම ඒක ආදරයෙන් පිළිගත්තා. කවුරු හරි කියනවා නම් නෑ නෑ බන්දු මහත්මයා ඔයාට පුළුවන් ඒ වගේ චරිත රඟපාන්න කියලා, කවුරු හරි කිව්වට බෑ, ඒක කරන්න බෑ. මොකද ප්‍රතික්ෂේප වුණානේ.

හොඳටම වැඩේ වුණා?

ඔව්, ඔව්, හොඳටම වැඩේ වුණා.

‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපටයේ ඔබ ඉතාමත් රමණිය ප්‍රේම ගීත ජවනිකා නිරූපණය කරනවා. ‘ෂඞ බන්දු කොල්ලගේ පාට් එකට මරු’ අපට එහෙම හිතෙනවා ඒ වෙලාවට. ඒ ‘ග්ලැමර්’ එක ඔබ හදා ගත්තේ කොහොමද?

කොල්ලගේ පාට් එකට කවදාවත් මාව අරන් නෑ. මාව අරන් තියෙන්නේ වෙළෙඳ පොලේ චරිතයට. ඒ හින්දා මට ගැටලුවක් වෙලා නෑ. ප්‍රධාන චරිතයකට මාව ගත්තාට ඒ ගන්නේ කොල්ලාගේ පාර්ට් එකට කියන හැඟීමෙන් නෙවෙයි මම හිතන්නේ. දැන් ‘මයි නේම් ඉස් බන්දු’ ගත්තොත් මම නාට්ටාමියෙක්. ඒ කියන්නේ කොල්ලා නෙවෙයිනේ. ඒ තුළ හීනයක් පේනවා නම් හරි මම සිංදුවක ඉන්නවා, ලව් පාට් දානවා නම් හරි ඒක ඒ දර්ශනයක් පමණයි. ලෝකයේ නැටිලි හරි, රැවිලි, ගෙරවිලි හරි කරන්නේ ඒ චරිතෙත් එක්ක. ඒක ලව් පාට් එකක් නෙවෙයි. මම හිතන්නේ කොල්ලගේ පා(ර්)ට් එක මම අනුමත කරලත් නෑ. රසිකයෝ ඒ විදිහට මාව දැකලත් නෑ.

තාම කොල්ලගේ පාට් එක වුණත් කරන්න බැරිකමක් නෑ?

ඒක මම නෙවෙයි තීරණය කරන්න ඕනෑ. ඇත්තටම අපිට එහෙම ප්‍රතිරූප හදාගන්න බෑ. ඒ ප්‍රතිරූපය කියන එක ජනතාවගේ හද පත්ලෙන් නැගෙන දෝංකාරයත් එක්ක එන දෙයක්. ඒක කාටවත් බලෙන් නවත්වන්න බෑ. ඒක එන්නේ නැතිනම් හැබැයි ගන්නත් බෑ. මේ අහස, පොළොව, හිරු සඳු තියෙනකල් එහෙම විශ්වාසයක් මට තියෙනවා. මං දන්නේ නෑ අනෙක් අය ගැන.

‘මයි නේම් ඉන් බන්දු’ චිත්‍රපටයේ ඇතැම් තැන්වල ඔබ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ රඟපෑම් අනුකරණය කරන්න උත්සාහ කළාදෝ කියලා වෙලාවකට හිතෙනවා?

අනේ නෑ. කවදාවත් නෑ. එහෙම දෙයක් කවදාවත් හිතන්නවත් හොඳ නෑ. එතුමාට අගෞරවයක් කරලා නෑ මං. කවදාවත් එහෙම දෙයක් මගේ අතින් වෙන්නෙත් නෑ. ඒක ඇවිල්ලා වැරදි සිතිවිල්ලක්. එහෙම දෙයක් හිතනවා තියා බුදු සන්තෝ ඒවා නිකං මේ ඇඟ වෙව්ලන වැඩ. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා කියන්නේ මේ රටේ උත්තරීතර රංගධරයෙක්.

එතුමා ප්‍රිය කරන, එතුමා සමීපව ඇසුරු කළ කෙනෙක් හැටියට සමහර විට නොදැනුවත්වම හෝ යම් ආභාෂයක් තිබුණා වෙන්න බැරිද?

නෑ . . නෑ . . නෑ . . මම හිතන්නේ නෑ කවදාක්වත් ඒක වෙයි කියලා. කොහොමවත් ඒක වෙන්නේ නෑ. හේතුව මම දැන් චිත්‍රපට බලන්නෙත් නෑනේ, රූපවාහිනිය බලන්නෙත් නෑ. ඒ නිසා ගාමිණී ෆොන්සේකාගේ රංගන විලාසය ගැන මම විශේෂයෙන් හිතන්න ගිහින් නෑ. ඒ නිසා ඒවා මට අදාල නෑ. අදාලත් නෑ, සුදුසුත් නෑ. ඇයි අපි බලෙන් ලෙඩ දාගන්නේ.

බන්දු - ටෙනී සුසංයෝගය එක්තරා කාලෙක අපේ හිස් වූ ප්‍රේක්ෂකාගාර නැවත පුරවන්නට සමත් වුණා. වෙනම රැල්ලක් හැදුනා. මොකද ඒ සුසංයෝගයට වුණේ. දෙන්නා එකට රඟපාන්නේ නැද්ද දැන්?

සුසංයෝගයක් වුණා කියන එක රසිකයෝ තමයි හිතුවේ. අපි දෙන්නා රඟපෑ සමහර චිත්‍රපට වඩාත් ජනප්‍රිය වුණා. සමහර ඒවාට සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. අපි දෙන්නා හිටපු ජනප්‍රිය නොවුණ පින්තූරත් තිබුණා. එතකොට මේක මේ සුසංයෝගයක් කියලා හදාගෙන නිකං අපි ලෙඩක් දාගන්න ඕනෑ නෑ. නිෂ්පාදක, අධ්‍යක්ෂවරු අපි දෙන්නව යළි චිත්‍රපටවලට ගන්න පුළුවන් තත්ත්වයකට පත් වුණොත් අපි රඟපානවා. අපි දෙන්නා අතරේ ගැටලුවක් නෑ. අපි පවුලේ හිතවතුන්.