වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood News

විජේ වෙනුවට ආක්ෂේ

කොලිවුඩයේ ජනප්‍රියම තරුව විජේ රඟන චරිතයක් නිරූපණය කරන්න බොලිවුඩයේ ක්‍රියාදාම රජු ආක්ෂේ කුමාර් සූදානම්. මුරුගදාස් අධ්‍යක්ෂණය කළ ‘කත්ති’ චිත්‍රපටය තමයි මේ විදියට බොලිවුඩ් නිර්මාණයක් ලෙසින් එළි දක්වන්න සූදානම් වන්නේ. ජගන් අධ්‍යක්ෂණය කරන්න නියමිත මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ‘කත්ති’ අධ්‍යක්ෂණය කළ මුරුගදාස් සහ ලයිකා ප්‍රඩක්ෂන් විසින්. ලබන වසරේ අප්‍රේල් මාසයේදී රූගත කිරීම් ආරම්භ කරන්න සූදානම්.

විජේ රඟ පෑ දෙමළ චිත්‍රපටයක හින්දි නිර්මාණයකට චායක වෙන දෙවැනි අවස්ථාවයි. මීට පෙර අක්ෂේ, රඟ පෑ ‘හොලිඩේ සෝල්ජස් නෙවර් ඕෆ් ඩියුටි’ චිත්‍රපටය, විජේ රංගනයෙන් දායක වූ ‘තුප්පාකි’ චිත්‍රපටයේ හින්දි අනුවාදයයි.

තිනුල් සුරේෂ් දේසායි අධ්‍යක්ෂණය කිරීමට නියමිත ‘රස්තම්’ චිත්‍රපටයේදී අක්ෂේ වෙනස්ම පෞරුෂයකින් දැකබලා ගන්නත් හැකි වේවි. 1950 දශකය පසුබිම් කරගෙන නිර්මාණය කෙරෙන්න නියමිත ‘රස්තම්’ සත්‍ය කතා පවුතක් ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටයක්. එය ඉන්දියාවේදී සහ එංගලන්තයේදී රූගත කරන්න නියමිතයි.

ඒ ඒ කෙහෙල්වලට  ඒ ඒ බනිස්

චිත්‍රපටයකින් පිළිබිඹු කෙරෙන්නේ අධ්‍යක්ෂවරයාගේ චින්තනය යි. මෙහෙම කියන්නේ වෙන කවුරුවත් නොවෙයි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු අනුරාග් බාසු. ඒ විතරක් නෙවෙයි රෝහිත් ෂෙට්ටි වගේ අධ්‍යක්ෂවරයෙකුට කාන්තාව මූලිකකර ගත් ‘ක්වීන්’ වගේ චිත්‍රපටයක් කරන්න බැහැ කියලත් කිව්වේ කාන්තා සංවිධානයක් විසින් පවත්වන ලද උත්සව අවස්ථාවකදීයි.

“නළුවන්ගේ සහ අධ්‍යක්ෂවරුගේ පුද්ගල ස්වභාවය ඔවුන්ගේ චිත්‍රපටවලින් නිරූපණය වෙනවා. ආනන්ද් රායිට ‘තනූ වෙඩ්ස් මනූ’ වගේ චිත්‍රපටයක් වගේම විකාශ්ට ‘ක්වීන්’ වගේ චිත්‍රපට හදන්න පුළුවන් වුණත් රොහිත් ෂෙට්ටිට නම් ඒ වගේ චිත්‍රපටයක් කවදාවත් හදන්න බැහැ. උදාහරණයක් විදියට කිව්වොත් සල්මන් කියන සමහර දෙබස් ෂාරුක්ට නම් කවදාත් කියන්න බැහැ.” අනුරාග් පවසනවා.

දිල්ලි බෙලී 2ට සැරසේ

චිත්‍රපට අධ්‍යක්ෂ අභේ ඩියෝ වගේම තිරරචක අක්ෂත් වර්මා දෙදෙනාම මෙ දවස්වල කාර්යබහුලයි. මේ කාර්යබහුලත්වය අවසානයේ ඔවුන් බොලිවුඩ් රසික රසිකාවන් පුදුම කරවන්න සූදානම්. ඒ ‘දිල්ලි බෙලි - 2’ චිත්‍රපටයෙන්.

‘දිල්ලි බෙලී’ 2011 වසරේදී ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් චිත්‍රපටයක් බවට පත් වුණා. එය නිෂ්පාදනය කළේ අමීර් ඛාන් විසින්. ඉම්රාන් ඛාන්, කුනාල් රෝයි කපූර්, වීර්දාස්, පූර්ණා සමඟින් ෂෙනාස් එහි රංගනයෙන් දායක වුණා. ඉන්දීය රුපියල් මිලියන 250ක වියදමක් දැරූ මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් මිලියන 920ක ආදායමක් ලබා ගත්තා. ඇස් රතුවන තරමේ හාස්‍යයක් ගෙන ආ ‘දිල්ලි බෙලී’ පළමු චිත්‍රපටය හදන්න වසර නවයක කාලයක් ගත වුණත් අලුත් චිත්‍රපටයට නම් ඒ තරම් කාලයක් ගන්න එකක් නැහැ.

රිතික්ගේ නිළිය . . .

රිතික් රෝෂන් තමන්ගේ මීළඟ චිත්‍රපටයට දායක කරගන්න බලාගෙන ඉන්නේ අධ්‍යක්ෂ කබීර් ඛාන්. මේ ගැන කබීර් මාසයක් තිස්සේ කල්පනා කරලා. තමන්ගේ අලුත් චිත්‍රපටයේ පිටපත රිතික්ට දෙන්න සූදානමින් සිටින බව ඔහු පවසනවා. ඒ සමඟින් පිටපත වෙනස් කිරීමේ අවස්ථාවත් රිතික්ට ලැබෙන බවත් කබීර් වැඩිදුරටත් පසනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සූදානමින් සිටින්නේ සජිත් නදියද්වාලා.

කබීර් නිර්මාණය කරන චිත්‍රපට බෙහොමයක ඇතුළත් වන්නේ ත්‍රස්තවාදය, ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් ආදි වූ සිදුවීම්. හැබැයි මේ චිත්‍රපටයේදී රිතික්ට ලැබෙන්නේ වෙනස්ම ආකාරයේ අලුත්ම චරිතයක්. ඒ වුණත් ප්‍රධාන නිළියට අයිති තැන නම් නම් තවම තියෙන්නේ හිස්තැනක්.

රාණිට මවු පදවිය

රාණි මුඛර්ජි - ආදිත්‍ය චොප්රා යුවළ මේ දිනවල තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නේ. වයස අවුරුදු 37ක් වූ රාණි පසුගිය දවසක ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළා. දීපවාලි උත්සවය නිමාවත් සමඟින් ඇති වූ මෙම අසනීප තත්ත්වය මඟහැරී රාණි දැන් නිරෝගි සුවයෙන් කාලය ගත කරනවා කියලා ආරංචියි.

රාණිගේ රංගන අවසන් වරට දකින්න ලැබුණේ 2014 වසරේ ‘මර්ධානි’ චිත්‍රපටයෙන්. ඒ වසරේදීම රාණි – ආදිත්‍ය විවාහ ගිවිස ගත්තේ නෑදැ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතාලියේ පැවැති උත්සවයකදීයි. ලබන වසරේ ජනවාරි මාසයේදී මේ දෙදෙනා කුළුඳුල් දරුවා බලාපොරොත්තුව සිටිනවා.