|
අමුඩෙ කවුද? පස්ස කවුද?
කට් ෂෝට් නව පරපුරේ සංස්කරණ ශිල්පියෙකු ඉන්නවා. මෙයාගේ ගෙවල් තියෙන්නේ තලාහේන පැත්තේ. ඔන්න මේ සංස්කරණ ශිල්පියාට චිත්‍රපටයක් ලැබුණා සංස්කරණය කරන්න. මිනිහා ඒ වැඩේ උපරිමයෙන් කළා. එහි හඬ කැවීම් තිබුණේ දලුගම සරසවි චිත්‍රාගාරයේ. මිනිහත් ඩබිං බලන්න ඇවිත් හිටියා. එදා දවස ඉවරවෙලා ගෙදර යන්න හදද්දි චිත්‍රපටයේ ඩිරෙක්ටත් ඉන්නවා ටැක්සියක් එනකම්. ඔහු යන්නෙත් සංස්කරණ ශිල්පියාගේ ගෙවල් පැත්තට. නිකම් යන එකේ මාවත් දාගෙනම යන්නකෝ කියලා සංස්කරණ ශිල්පියා එල්ලුණා ඩිරෙක්ටර් එන්න කියපු ටැක්සියේ. ඔන්න දැන් ගමන පිටත් වුණාලු. ඩිරෙක්ටර් දන්න පාරවල්වලින් කැලණියේ සිට තලාහේනට යන්න හදද්දී සංස්කරණ ශිල්පියා කියනවලු ඔය පාරෙන් යන්න එපා දුර වැඩියි. මම කියන පාරෙන් යමු කියලා. ඔහොම කියපු මෙයා ඩ්‍රැයිවර්ට උපදෙස් දෙනවලු අතනින් හරවන්න මෙතනින් හරවන්න මේවා තමයි ෂෝර්ට් කට් කියලා. ඩ්‍රැයිවරුත් මෙයා කියන කියන පාරවල්වලින් හරවනවලු. ඩිරෙක්ටර් බැලුවලු මෙයා කොහොමද මෙච්චර පාරවල් දන්නේ කියලා. බැලින්නම් ෆෝන් එකෙන් අන්තර් ජාලයට ගොස් එහි සිතියමක් හරහා තමයි මෙයා පාරවල් කියන්නේ. කොහොම හරි සෑහෙන්න වෙලාවක් යනකම් තලාහේනට ඇවිත් නැතිලු. අන්තිමේ තද වෙච්ච ඩිරෙක්ටර් පරණ පරේ යමු කියලා ආපසු හරවගෙන පරණ පාරේ සුපුරුදු විදිහට තලාහේනට ඇවිල්ලා. සංස්කරණ ශිල්පියාගේ ෂෝර්ට් කට් නිසා ඩිරෙක්ටර් වෙනදා ටැක්සියට ගෙවනවාට වඩා වැඩි මුදලක් ගෙවන්නත් වුණාලු. ඒ විතරක්යැ වෙනදාට වැඩිය රෑ බෝ වුණාලු ගෙදරට එන්න. එදා ඉඳලා අර සංස්කරණ ශිල්පියාට යාළුවො කතා කරන්න පටන් ගත්තේ මිස්ටර් ෂෝර්ට් කට් කියලලු.
පසුගිය දා නිමාව දුටු කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ උදයකාන්ත වර්ණසූරියට නම් කිසිදා අමතක නොවන්නක්. ඒ මොකද කියලා දන්නවද? මෙන්න මේකයි හේතුව. උදයකාන්ත තම ජීවිතය තුළ ඉතාමත් ගෞරවාදරයෙන් සලකන සිනමාවේදියකු තමයි අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් කියන්නෙ. ඔහුගේ මූලිකත්වයෙනුයි කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ හි සමාරම්භය සනිටුහන් වුණේ. ඉතින් මෙම සිනමාවේදියා ඉන්පසුවත් සිනමා උලෙළ සඳහා සහභාගි වුණා චිත්‍රපට නරඹන්න. ඔය අතරේ ඔහු උදයකාන්තගෙ මධුර චාරිකා චිත්‍රපටයත් බලන්න එක්වුණා. උදයකාන්තට හරිම සතුටුයි තමන්ගෙ වීරයෙක් බඳුවූ කෙනෙක් තමන්ගේ චිත්‍රපටය නරඹන්නට පැමිණ සිටීම ගැන. ඒ විතරක් නෙවෙයි අදූර් සහ උදය එක ළඟ වාඩිවෙලා තමයි මධුර චාරිකා බැලුවෙ. අවසානයේ අදූර් උදයට සුබ පතලා. ඒ වගේම මධුර චාරිකා නරඹද්දී තමන් ඉතා සංවේදී වුණ බව අදූර් විසින් උදයට කියලා. ඔහු හා ගත කළ පැය කිහිපය කිසිදා අමතක නොවන බව උදයකාන්ත අපිත් එක්ක කිව්වෙ ඉමහත් වූ සොම්නසින්. විවාහයට සුදුසුකමක් මේ දවස්වල ජනප්‍රිය නළුවකු අපට කතා කළා පුවත්පත් ලිපියක් කරගන්න ඕනෑ කියලා. මෙයා විතරක් නෙවෙයි කොයි කලාකරුවත් ආසයිනේ සරසවියේ තමන්ගේ ලිපියක් යනවාට. සමහරු නම් එහෙම ආස වුණත් කියන්නේ නැහැ තියෙන ආඩම්බරකමට. මෙයා නම් එහෙම නැහැ. අපට ටක් ගාලා කිව්වා. අපේ කර්තෘතුමත් කිව්වා මේ නළුවට ආර්ටිකල් එකක් දාලා දෙන්නම් කියලා. ඒත් මෙයාට තදියම පුළුවන් තරම් ඉක්මනට ආර්ටිකල් එක කරලා දෙන්න කියලා මෙයා කියනවා. පුදුම තදියමක් තියෙන්නේ. බැරිම තැන අපි ඇහැව්වා මොකද සරසවියේ ආර්ටිකල් එකක් කරගන්න මෙච්චර හදිස්සිය කියලා. 'මට මංගල යෝජනාවක් ඇවිල්ලා තියෙනවා, ඉතින් සරසවිය වගේ පුවත්පතක ලිපියක් ගියාම මේ වෙලාවේ මට තවත් වටිනාකමක් එකතු වෙනව වගේ. ඒකයි ඉක්මන් කළේ. මෙයා එහෙම කියනවා. මේ විස්තරේ දැනගත්තට පස්සේ කසාද බඳින්න යෝජනා එන කලාකාරයෝ දිගට හරහට අපිට කතා කරයිද දන්නේ නැහැ ආර්ටිකල් කරන්න.
අපේ ශිරන්ත ප්‍රේමවර්ධන ඉන්නවා නේද. මිනිහා හොඳ නළුවා. ඒ වගේම හිටපු සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායකගේ මාධ්‍ය ලේකම් හැටියටත් කටයුතු කළා. කලක් නිහඬ වෙලා සිටි ශිරන්ත නැවත් කරළියට ඇවිත් ඒ නව තනතුරකුත් සමඟයි. ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායකගේ මාධ්‍ය ලේකම් විදිහටයි ශිරන්තට මේ පත්වීම ලැබිලා තියෙන්නේ. බලාගෙන ගියාම ශිරන්තගේ තනතුර වෙනසක් වෙලා නැහැ නේද. ටී. බී. ඇමතිතුමාගේ ඇමතිකම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. වසර දහයකට ආසන්න කාලයක් ශිරන්ත මේ මාධ්‍ය ලේකම් තනතුර දැරුවා. පසුගියදා නිමා වූ ගිරිකුල ටෙලි සිතුවමේ කෙසෙල් කැන් සෝමේ ලෙස ඔහු අපූරු රංගනයක යෙදුණා. ඉදිරියේදී විකාශයවීමට නියමිත ටිකිරි රත්නායකගේ හේමලයා ටෙලි සිතුවම හරහා ශිරන්තගේ රංගනය දැකගත හැකි වේවි. දූ දරුවෝ, ධවල රාත්‍රිය, කටු ඉඹුල, කළුවර ගෙදර, තරු වළල්ල ආදී නාට්‍ය ගණනාවක ශිරන්ත රංගනයේ යෙදුණා.
ඩිනක්ෂි ප්‍රියසාද් කාර්යබහුල වෙලා තියෙන තරම . . . ඇය මේ දවස්වල දුරකතනයට ද පිළිතුරු දෙන්නේ බොහොම අඩුවෙන්. ඩිනක්ෂි කොච්චර කාර්යබහුල ද කියලා කියනවා නම් ඇයට සමහර වැඩවලට දෙන්න වෙලාවකුත් නැහැ. ඔන්න ඩිනක්ෂිට එක්තරා වැඩසටහනකින් කතා කරලා. ඇයට එම වැඩසටහනට යන්නත් ඕනලු. ඒත් වෙලාවක් නැහැ. අන්තිමේ ඩිනක්ෂි කල්පනා කරලා කල්පනා කරලා වෙලාවක් දුන්නලු. දන්නවද ඩිනක්ෂි දීපු වෙලාව කීයද කියලා. පාන්දර 3. ඒ වෙලාවට තමයි ඇය ඒ වැඩේට ගිහිල්ලා තියෙන්නේ. |