වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිපුරම බනින්නේ සම්මාන නොලැබුණ අයයි

වැඩිපුරම බනින්නේ සම්මාන නොලැබුණ අයයි

සිග්නීස් සම්මාන උලෙළේ අධ්‍යක්ෂ - ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා

38 වැනි සිග්නීස් උත්තමාචාර උලෙළ හෙට BMICH හිදී

සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළ මෙම මස 27 වැනිදා එනම් හෙට සවස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මේ එහි තිස් අට වැනි අදියරයි. එම උලෙළ සංවිධානය කරනු ලබන සිග්නීස් ශ්‍රී ලංකා ආයතනයෙහි අධ්‍යක්ෂ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා තිස් අටවැනි සිග්නීස් උත්තමාචාර උලෙළ පිළිබඳ අදහස් දැක්වූයේ මේ අයුරිනි.

මෙවර සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා වන්නේ පුණ්‍යා හීන්දෙණිය මහත්මියයි. ඇය සම්මාන උලෙළේ පිරිනැමෙන ඉහළම සම්මානය වන සිග්නීස් සුවිශේෂී උපහාර උත්තමාචාරයෙන් පිදුම් ලැබීමට නියමිතයි. මෙවර අප උලෙළට නැවතත් ටෙලි නාට්‍ය ද එකතු කළා. ඒ අනුව 2014 වර්ෂයේ විකාශය වූ කොටස් සියයට නොවැඩි ටෙලි නාට්‍ය සහ ඊට අදාළ නිර්මාණකරුවන්ගේ විශිෂ්ටයෝ සම්මාන ලබාවි. එමෙන්ම පසුගිය වසරේ සම්මාන උලෙළ පැවැත් වූයේ නැහැ. ඒ හින්දා අප 2013 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට සඳහා ද සම්මාන ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වසරේ සහ පසුගිය වසරේ එනම් 2013 සහ 2014 වසරේ චිත්‍රපට ද සම්මාන උලෙළට ඇතුළත්. මේ සියල්ල සඳහා සම්මාන හැත්තෑපහක් පමණ වෙන් කොට තිබෙනවා.

* මෙවර උලෙළට අලුතින් සම්මානයක් එකතු කොට තියෙනවා නේද?

ඔව්. ඒක හඳුන්වන්නේ ලෙස්ලි බොතේජු අනුස්මරණ සම්මානය කියලා. එය අප ලබා දෙන්න තීරණය කළේ වසරේ හොඳම මාධ්‍ය ග්‍රන්ථය සඳහායි. ගාමිණී වේරගම එම සම්මානයට හිමිකම් කියනවා. එයට අමතරව ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සිග්නීස් අන්තර් ජාතික සම්මානය වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය සහ සංගීතය යන ක්ෂේත්‍රවලින් තෝරා ගත් පස් දෙනකු තමන්ගේ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ අනගි මෙහෙය අගයමින් සම්මානනීයවීමට නියමිතයි. ඒ අය වනුයේ ලූෂන් බුලත්සිංහල, අනෝජා විරසිංහ, බන්දු සමරසිංහ, හයිසින්ත් විජේරත්න සහ ප්‍රියා සූරියසේන. මෙහිදී සිනමා සාහිත්‍ය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් ඈෂ්ලි රත්නවිභූෂණ, සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබනු ඇති.

* අනෙකුත් සම්මාන උලෙළයන් හා සසඳද්දී සිග්නීස් සම්මාන උලෙළ වෙනස් වන්නේ කොහොමද?

සිග්නීස් සම්මාන උලෙළ කියන්නේ හරිම ස්වාධීන සම්මාන උලෙළක්. අපි රජයටවත් වෙනත් කිසිම පෞද්ගලික ආයතනයකට සම්බන්ධ නැහැ. ඒ හින්දා මෙහි දෙන සම්මානවලට කිසි කෙනෙකුට පක්ෂග්‍රාහී කියන්නත් බැහැ. එතනින්ම තේරෙනවනෙ වෙනස. අනික සිග්නීස් කියන්නේ අන්තර් ජාතිකව පිළිගත්ත සම්මාන උලෙළක්. මෙහි සම්මාන ලෝකයේ ඕනෑම තැනකට වලංගුයි.

* බොහෝ විට සමාජයේ වැඩිපුරම නෙත ගැටෙන නිිර්මාණ සම්මාන උලෙළයන් නියෝජනය කරන්නේ නැහැ. එහෙම වුණාම ඇතැම් විට කෙනෙකුට සිතෙන්නට පුළුවන් සම්මාන උලෙළකින් වැඩක් නැහැ කියාලා?

නිර්මාණයක් සමාජගත කෙරුවට පස්සේ ඒ නිර්මාණය නිර්මාණකරුටවත් අයිති නැහැ. ඒක තමයි ඇත්ත. සමාජයේ නොයෙක් දෙනාගේ අවධානය ගන්න එක් එක් නිර්මාණවලට පුළුවන්. නමුත් එහෙම වැඩිපුරම අවධානයට ලක්වන නිර්මාණය නෙවෙයි හොඳම එක. බොහෝ විට මිනිසුන් තමන්ගේ රුචි අරුචිකම් මත තමයි නිර්මාණයක් අගය කරන්නේ. සම්මාන උලෙළකදී එහෙම බැහැ. හොඳම නිර්මාණ සහ නිර්මාණකරුවොයි සම්මාන ලබන්නේ මෙතැනදී.

* වසර තිස් අටක් පුරා කිසිම වානිජ අරමුණකින් තොරව සම්මාන උලෙළක් පැවැත්වීම ලොකු අභියෝගයයක්?

ඔව් ඇත්ත. මෙවරත් අපට පැමිණෙන පොදු අභියෝගයට මුහුණපෑවා. ඒ මූල්‍යමය ගැටලුවට. සෑම අවුරුද්දකදීම ඒ ප්‍රශ්නය අපට තදින් බලපානවා. ඇතැම් ආයතන අපට අනුග්‍රාහකත්වය ලබා දෙන්න ඉදිරිපත් වුණත් අපගේ සම්මාන උලෙළ ඇතුළේ ඔවුන්ගේ වානිජ අරමුණු මුදුන්පත් කරගන්න දෙන්න අපහසුයි. එහෙම කළා නම් සිග්නීස් යන නමෙහි වටිනාකම අඩු වෙනවා. ඒ තත්ත්වය ඇති නොකරගෙන මෙවන් වූ වසර ගණනාවකදී අපේ සම්මාන උලෙළ අඛණ්ඩව අප පැවැත්වූවා. කවුරු කොහොම අපව අතහැරියත් කමක් නැහැ. ණය වෙලා හරි සම්මාන උලෙළ අප කරනවා කියන බලාපොරොත්තුවෙන් තමයි අප වැඩ කරන්නේ.

* සම්මාන දෙන්න තරම් නිර්මාණ හැදෙන්නේ අතලොස්සයි. වැඩි ප්‍රමාණයක් වානිජ පරමාර්ථයට හැදෙන ඒවා?

නිර්මාණයක ප්‍රමිතිය අනුව තමයි අප සම්මාන දෙන්නේ. ඒ ප්‍රමිතිය බලපානවා සම්මාන උලෙළට චිත්‍රපට තෝරා ගන්න. අප් රටේ තමයි සම්මාන උලෙළයන් සඳහාම පමණක් චිත්‍රපට හදන්නේ. වෙන රටවල එහෙම නැහැ. ඒ හින්දා වෙන්නට ඇති සම්මාන සඳහා අතලොස්සක් වූ චිත්‍රපට හැදෙන්නේ.

* එක අතකින් බලන කොට හිතෙනවා සිග්නීස් සම්මාන උලෙළේ ප්‍රතිපත්ති වැඩිදෝ කියලා?

අපේ ප්‍රතිපත්ති කිහිපයක් තියෙනවා තමයි. අනෙකුත් සම්මාන උලෙළයන් වගේ අපි සම්මාන සමඟ මුදල් දෙන්නේ නැහැ. ඒ වගේම නියම සුදුස්සෙක් නැත්නම් කාව හෝ තෝරාගෙන සම්මාන දෙන්නෙත් නැහැ. නිසි ප්‍රමිතියට අනුව කෙනෙකු යෝජනා වෙලා නැත්නම් සම්මානේ කැන්සල් කරනවා.

* සිග්නීස් සම්මාන උලෙළෙහි සම්මාන වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ කතෝලික කලාකරුවන්ට කියලා කලා ක්ෂේත්‍රය ඇතුළේ මතයක් පවතිනවා?

ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය මතයක්. මං කියන දේ බොරු නම් ඕනෑ කෙනෙකුට පුළුවන් පසුගිය සිග්නීස් සම්මාන උලෙළයන් හි සම්මාන නාම ලේඛන පිරික්සා බලන්න. ඉන් සම්මානනීය වූ වැඩි දෙනෙක් බෞද්ධයෝ. ඒ වගේම අපේ ජූරි සභාවේ ඉන්න අයගෙනුත් 90% ක්ම අන්‍ය ආගමික අය. ඉතින් කොහොමද සිග්නීස්හි සම්මාන කතෝලික අයට පමණක් වෙන්වන්නේ. කතෝලික පර්ෂදය මඟින් පවත්වන හින්දද දන්නේ නැහැ එහෙම කියන්නේ. ඒ කියන විදිහට කතෝලික අයව වැඩිපුර තෝරා ගත්තොත් අපට සම්මාන දෙන්න කෙනෙක් නැතිව යනවා.

* අද වන විට සම්මාන උලෙළයන් රැසක් මෙරට තුළදී පැවැත්වෙන ඒක ගැන මොකද කියන්න තියෙන්නේ?

හොඳයි. නමුත් සම්මාන උලළවල් විවේචනය කරන්න හොඳ නැහැ. ක්ෂේත්‍රයේ අය දන්නවා විවිධ සම්මාන උලෙළයන්හි ප්‍රමිතිය. ඉතින් මොන සම්මාන උළලයන් වුණත් පැවැත්වීම තමයි වැදගත්.

* සාමාන්‍යයෙන් සම්මාන උලෙළකින් පසුව සෑහෙන්න පිරිසක් උලෙළේ ජූරි සභාවට මෙන්ම සම්මාන උලෙළේ තීරණවලට බනිනවා?

ඒක ඉතින් පොදු දෙයක්නේ. මට හිතෙන විදිහට ඔය අතරින් වැඩිපුරම බනින්නේ සම්මාන නොලැබුණ අය. ඉතින් සම්මානවලට තියෙන ආසාවටනේ බනින්නේ. මම නම් හරි ආසයි අපේ උලෙළකින් පසුව විවේචන එනවට. මොකද මං ඒ දිහා බලන්නේ බොහොම සුභවාදී විදිහටයි.