වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මා නැරඹූ එකම සිංහල චිත්‍රපටය - ඔබ නැතුව ඔබ එක්ක

මා නැරඹූ එකම සිංහල චිත්‍රපටය - ඔබ නැතුව ඔබ එක්ක

‘දීපන්’ චිත්‍රපටයේ ලාංකික චරිතය රඟපෑ කලිස්වරී ශ්‍රීනිවාසන්

‍්‍රී ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති කරමින් කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ දෙවැන්න පසුගිය නොවැම්බර් 11 වැනිදා සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙරට සිනමා ප්‍රේක්ෂකයන් වෙත අලුත් අත්දැකීම් රැසක් ගෙන දෙමින් පැවැති මෙවර උලෙළෙ නොවැම්බර් 06 වැනිදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී ආරම්භ කරන ලද්දේ කීර්තිමත් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ෂාක් ඔඩ්යා නිර්මාණය කළ ‘දීපන්’ චිත්‍රපටයෙනි.

මේ වසරේ කාන් උලෙළේ සිනමා හොඳම චිත්‍රපටයට හිමි ගෝල්ඩන් පාම් සම්මානය හිමි වූයේද ‘දීපන්’ චිත්‍රපටයට යි. ‘දීපන්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි කලිස්වරී ශ්‍රීනිවාසන් ද මෙවර කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ වෙනුවෙන් සහභාගි වීම විශේෂ විය.

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ බොහොම විශේෂිතයි. ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් පිළිගැනීම මා ආකර්ෂණය කළා. ප්‍රේක්ෂකයින් වගේම සංවිධායකවරුන්, පිළිගැනීමේ නිලධාරින් මට සැළකූ අන්දමෙන් මේ මගේ ගෙදර වගේ යැයි දැනුණා.

‘කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ’, ‘කාන්‘ සිනමා උලෙළින් වෙනස් වන්නේ කෙසේද? අප නිවාරදි කරගත යුතු යමක් තිබෙනවාද?

මේ සිනමා උලෙළ දෙක සැසඳීම අසාධාරණයි. දෙවන වතාවට සංවිධානය කළ උලෙළක් විදියට කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළෙ ඉතා හොඳින් සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට සම්බන්ධ වූවන්ගේ අවංකබව වගේම ආකල්ප ගැන පැහැදීමට පත් වූ බව මා සංවිධායකවරුන්ට වගේම ස්වේච්ඡාවෙන් සම්බන්ධවූවන්ටත් දැනුම් දුන්නා අනාගතයේදී මෙම සිනමා උලෙළ විශිෂ්ට නමක් සේම විශිෂ්ට සාර්ථකත්වයක් ලබා ගන්නා ඇති බව මට සහතිකයි.

‘දීපන්’ රූගත කිරීමේදී ඔබට දැනුණු හැඟීම විස්තර කළොත්?

මා රඟපෑමේ කටයුතුවල තදින් ගිලී සිටියා. ඒ නිසා හැගීම්වලට ඉඩක් තිබුනේ නැහැ.

මෙහි ඔබ අඩනිරුවත් දර්ශනවලට පෙනී සිටියා. ඒ ගැන ඔබේ අදහස?

වෙල්ලමුල්ලිවයික්කාල් අනාථ කඳවුරේ සිට බෝට්ටුවෙන් පලා යන දර්ශන ගැනත්, යාලිනි හදවත පැළීයන තෙක් හඬන අවස්ථා ගැනත් එවන් අනෙක් අවස්ථා ගැනත් ඔබ අසන වෙලාවක මා ඒ ගැනත් උත්තරදීම සළකා බලන්නම්.

සාරිය ඔබට කදිමට ගැළපෙන බව පේනවා. ඔබ වඩාත් කැමැත්තක් දක්වන්නේ කුමන අඳමකින් සැරසෙන්නද?

මට පහසු ඇඳුමක් අඳින්න මම වඩාත් කැමැතියි. එය ජින්ස්, සායක් හෝ සාරියක් විය හැකියි. එය මගේ මානසිකත්වයත් අදාල අවස්ථාවත් මත රඳා පවතිනවා. කාන් සිනමා උලෙළේදී ම මගේ ප්‍රියතම සාරියෙන් සැරසුනා.

ඔබ රංගනය අර්ථ දක්වන්නේ කෙසේද?

රංගනය අර්ථ දක්වන්නේ කෙසේද කියා ඇත්තටම මම දන්නේ නැහැ. මගේ අදහස නම් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. රංගනයේදී මගේ දර්ශනය එයයි.

ඔබ ලාංකික සිනමා නිර්මාණ නරඹලා තියෙනවාද?

මා නරඹා ඇති සහ නැරඹීමට වාසනාවන්ත වූ එකම චිත්‍රපටය නම් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය යි. ඒ චිත්‍රපටයෙ මා ඇලුම් කළ බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඒ වගේම ශ්‍රී ලාංකික චිත්‍රපට මා නරඹා නැතත් මෙම සිනමා උලෙළේදී හමු වූ ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් මෙන්ම නිර්මාණකරුවන් නිර්ව්‍යාජ මෙන්ම ඉතාම සුහදශීලි පුද්ගලයන්. ඔවුන් විසින් ඉතාම විශිෂ්ට නිර්මාණයන්ට දායක වී ඇති බව මට විශ්වාසයි. ඒ වගේම ඔවුන් සතු හැකියාවන් ඉතාම ඉහළයි.

තිරරචනය චිත්‍රපට නිර්මාණයේදී කෙතරම් දුරට බලපෑමක් කරන්නේද යන බව ඔබ සිතනවාද?

චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කිරීමට සති ගණනාවකට පෙර තිරරචනය අතට ලැබීම අත්‍යවශ්‍ය බව රංගන ශිල්පිනියක් වශයෙන් මට හැඟෙනවා. එය චිත්‍රපටයේ කතාව තේරුම් ගැනීමටත්, චරිතය නිර්මාණයකර ගැනීමටත්, එයට අනුගතවීමටත් ඉතාම වැදගත්.

ඔබ ‘දීපන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමඟින් සසඳන්නේ කෙසේද?

මම සම්පූර්ණ නිර්මාණ කාර්යයක් වෙනුවෙන් ෂාක් සමඟ කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ ප්‍රථම වතාවටයි. එය ඉතා ප්‍රබෝධමත් අවස්ථාවක් වුණා. එය මට බොහෝ දේ ඉගැන්වූවා.

අනාගත නිර්මාණ සැළසුම් ගැනත් සඳහන් කළොත්?

මේ දිනවල මා ඹ්චදඤ ධට ඒඵඩඥඵ චදඤ ච්ඪධථචදඤඵ (‘ලෑන්ඩ් ඔෆ් ඈෂස් ඇන්ඩ් ඩයමන්ඩ්ස්’ - අළු සහ දියමන්ති භූමිය) නම් වේදිනා නිර්මාණයකට දායක වෙලා සිටිනවා. එය දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන කතා පවුතකින් නිර්මාණය වූවක්. දෙමළ චි‍්‍රපට අධ්‍යක්ෂ අරුණ් කාර්තික්ගේ චිත්‍රපටයකටත් දායක වෙනවා.

හොලිවුඩයේ නමක් දිනා ගැනීමත් ඔබගේ බලාපොරොත්තු අතර ඇති?

මම මගේ සිනමා ජීවිතයේ වැදගත්ම දේ ලෙසින් සළකන්නේ, ආකර්ෂණීය වගේම අභියෝගාත්මක චිත්‍රපටයකට දායක වීමයි. එය වේදිකා නාට්‍ය නිර්මාණයක්ද, සිනමා නිර්මාණයක්ද, කොලිවුඩ්ද බොලිවුඩ්ද එහෙමත් නැතිනම් හොලිවුඩ්ද යන්න මට වැදගත් නැහැ.

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ සමාරම්භක අවස්ථාවේදී චන්න බණ්ඩාර විජේකෝන් විසින් කලිස්වරී ශ්‍රීනිවාසන් සමඟින් කළ සාකච්ඡාව.