අපි දෙන්නා තවමත් ඉගෙන ගන්නවා
අපි
දෙන්නා
තවමත්
ඉගෙන
ගන්නවා
එඩ්වඩ්-චරිතා
කලකට
පසුව හමුවී
‘මිණි මිණි පොද වැටේවි
මල්මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුණු පාලම උඩ හැන්දෑවේ
මම එන්නම්’
ඈතින් ඇසෙන මියුරු ස්වරය දෙසවනට මිහිරකි. ඒ මියුරු ස්වරය හා බැඳුණු පියානෝවේ හඬ
පරයා නැඟෙන එඩ්වඩ්ගේ මියුරු ස්වරය අපට පැවසුවේ ඔහුගේ නිවහන ඇත්තේ ආසන්නයේ බව ය.
ගීතයට දෙසවන් යොමුකරගෙන ම අපි එහි ගෙමිදුලට පිවිසියෙමු. උදෑසන ගෙමිදුලේ අසිරිය
විඳීමින් සිටියේ චරිතාගේ පියාණන් වන ආරියදාස පීරිස් ය.
“ මම මේ ටිකක් ඇවිදිනවා ”
ඔහු පැවසුවේ අප දුටුවනම ය. ගේට්ටුවකින් ආවරණය කර ඇති ගෙමිදුලේ එක් පැත්තක එහාමෙහා
දුව පනින බූලාගේ බිරුම අප බිය ගන්වයි. නිවෙසට ඇතුළ් වන්නට පෙර අපි ගෙමිදුලේ ම නතර
වූයෙමු. බූලාගේ බිරුම අසා ඉදිරිපස දොරෙන් මතුවූයේ ඔබ කවදත් ආදරය කරන එඩ්වඩ් ය.
“ එයාට එන්න බැහැ. බය නැතුව එන්න.”
ඔහු පවසන්නේ අප නතර වූ කාරණය දැනගෙන ය. සෙමෙන් සෙමෙන් අපි නිවෙසට ඇතුළ් වීමු.
“ චරිතා තවම සූදානම් වෙනවා. දැන් ඒවි.”
විසල් සාලයේ සුවපහසු අසුනක හරිබරි ගැසුණ අපි යළිත් එඩ්වඩ්ගේ වාදනයට සවන් යොමු
කළෙමු. එවර ඔහු යෙදෙන්නේ වාදනයේ පමණි.
“ එඩ්වඩ් අද ඔය ගෙදරට වෙලා ඉන්නේ ඔයාලා එන නිසා.”
කවදත් සුහද චරිතා ප්‍රියදර්ශනී අප අසලට පැමිණියේ එලෙස පවසමිනි.
“ පළමුවෙන් ම මේ දවස්වල අපි දෙන්නාම අධ්‍යාපනයට මුල්තැන දීලා කටයුතු කරනවා. මම එම්
.ඒ එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. එඩ්වඩ් එයාගේ විභාග කටයුතු අවසන් කරන්න අවශ්‍ය
පොතේ කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. ඒ වගේම ‘මාරම්බරී’ ප්‍රසංගය අරගෙන රට වටා යනවා.
ඊළඟ සියලු කටයුතු සූදානම් වෙන්නේ එහි සිය වැනි ප්‍රසංගය සඳහායි. මම එහි සංවිධායිකාව
නිසා වැඩකටයුතු බොහොමයි. අපගේ ගීතවලට ආදරය කරන අපේ ආදරණීය රසිකයන්ට මමත්, එඩ්වඩ්
ගයන ‘කොහෙදේ නුඹ’ කියන ගීතය යූ - ටියුබ් එක හරහා අසන්නට පුළුවන්. මේ ගීතය රචිතා
වාකිෂ්ට ලියූ තිළිණ රුහුණගේ සංගීතය කළ ගීතයක්. ඒ සඳහා විෂුවල් එකක් කරන්නත් මේ
දවස්වල අපි සූදානම් වෙනවා. ”
අප කතාබහ ආරම්භ කරන්නට මත්තෙන් ඇය කතාව ආරම්භ කළේ එලෙස පවසමිනි. දිගුකලකින් එඩ්වඩ්
ජයකොඩිගේ ගීත රැගත් සංගත තැටියක් ඔහුගේ රසිකයන් අතරට නොපැමිණි වග මට මතක ය. යළිත්
එවැනි නිර්මාණයක් පැමිණෙනතුරු කවුරුත් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.
“අලුත් ගීත ටිකක් කරන්න අදහසක් නැද්ද ? ”
“ ඉදිරියේ දී ඒ ප්‍රශ්නයටත් පිළිතුරු ලැබේවි. මේ දවස්වල ඒ සඳහා අපි වැඩිපුර මහන්සි
වෙනවා. අවුරුදු ගණනාවකින් එඩ්වඩ්ගේ ගීත රැගත් සී.ඩී. පටයක් පැමිණ නැති නිසා ඉදිරියේ
දි සී.ඩී. පට දෙකක් එළිදක්වන්න සියලු කටයුතු කරගෙන යනවා. ඒ වගේ ම මුද්‍රණද්වාරයෙන්
පොත් දෙකක් පැමිණෙන්නටත් නියමිතයි. ”
චරිතා මේ කුමන කටයුත්තක යෙදුණත් සිය පවුල පිළිබඳත්, නිවෙස පිළිබඳත් සැලකිලිමත්
වන්නේ යහපත් ගෘහිණියකගේ භූමිකාවට පිවිසෙමිනි. අරපරිස්සම හා පිළිවෙළකට වැඩ කිරීම
චරිතා කරන්නේ ඇයට ම ආවේණික පිළිවෙළකට ය.
“ ඔබට ම ආවේණික මේ පිළිවෙළ මොකක්ද? ”
“ පවුලේ වැඩ, සමාජයේ වැඩ ආදී බොහෝ කටයුතු අපට පැවරෙන නිසා කාල කළමනාකරණය වඩාත් ම
වැදගත්. එතැනදි ඒ ඒ වැඩ කරන්නට නියමිත දිනය මා කලින්ම වෙන්කර ගැනීමක් කරනවා.
උදාහරණයක් විදියට සතියටම නිවෙසට අවශ්‍ය ආහාර ගේන්නේ එක්දවසකයි. ඒ කටයුත්තත් කරන්නේ
රූපවාහිනියේ වැඩසටහනට ගිහින් එන ගමන්. සතියකට දවසක් සම්පූර්ණයෙන් නිවෙස අස්පස්
කරන්න කාලය වෙන් කෙරෙනවා. ඊට වෙනත් කෙනෙක් පැමිණෙන නිසා ඒ කෙනෙත් සමඟ මා ඒ කටයුත්තේ
නියැළෙනවා. අනෙක් දවස්වල අපි සාමාන්‍ය විදියට නිවෙසත්, වත්තත් අස්පස් කරනවා. මීට
අමතරව සියලුම දේවල් පොතක ලියලා තියන නිසා කිසිම දෙයක් මගෙන් අතපසු වෙන්නේ නැහැ. ”
ඉදිරියට කළ යුතු වැඩ වගේ ම, බැංකුවලට ගෙවිය යුතු මුදල්, ලැබෙන මුදලට කොහොම ද අනෙක්
කටයුතු කෙරෙන්නේ ආදී වශයෙන් ලියැවුණු වෙන ම පොතක් චරිතා සතුයි. සතියේ සියලු
වැඩකටයුතු සැලසුම් කෙරෙන්නේ ඉරිදා දිනයේයි. නිවෙසේ පමණක් නොව සිය දියණියගේ හා
පුතණුවන්ගේත්, සැමියා පිළිබඳවත් ලියැවුණු ලිපි ආදී ඔවුන්ගේ සියලු තොරතුරු ඇතුළත් දේ
වෙන වෙන ම තබන්නට ද ඇය අමතක කර නැත. මේ සෑම කටයුත්තකට ම එඩ්වඩ්ගේ සහයෝගය ද ලැබෙන වග
ඇය සිහිපත් කරයි.
ඒ අතර සාලයේ ඇති පැද්දෙන හාන්සි පුටුවේ සුවපහසු ලෙස අසුන් ගන්නේ එඩ්වඩ් ය. අප කවර
දිනෙක ගියත් එහි හාන්සි වී කතාබහට මුල පුරන දසුන නම් අපට අද මෙන් හුරුපුරුදු ය.
“ ඔබ පසුගිය කාලයේ ගුරු භූමිකාවටත් ආයුබෝවන් කිව්වා ”
“ අලුත් චිත්‍රපට දෙකක මා සංගීතය නිර්මාණය කළා. ඒ ලාල් ප්‍රියදේවගේ සහ එන්. උදය
කුමාරගේ නිර්මාණවලයි. එහිදි මම වගේම චරිතත්, තවත් පුංචි ළමයි කිහිපදෙනෙකුත් ගීත
ගායනා කළා. පසුගිය දවස්වල සිදුවුණේ එහි පටිගත කිරීම්. ඒ වගේ ම ලතා වල්පොල, චලක
චමුපති, බන්දුල විජේවීර වගේ ශිල්පීන් ඒ නිර්මාණවලට ගායනයෙන් දායක වුණා. ”
මේ කටයුතුවලට අමතරව ඔහු පිරි නැමීමට යන එක් සී.ඩී. පටයක ඇත්තේ විශේෂත්වයකි. එය වෙන්
වී ඇත්තේ ළමයින් වෙනුවෙනි.
“ ළමයින් වෙනුවෙන් ම කෙරෙන මේ කටයුත්ත කුමක් ද? ”
“ ළමයින් වෙනුවෙන් ළමා ගීත පොතක් නිර්මාණය කරමින් යනවා. ඒ ළමයින්ට හොඳ පුරුදු,
ඔවුන්ගේ සාරධර්ම, වැඩිහිටියන් කෙරෙහි ළමයින්ගේ සිතේ ආකල්ප මතු කිරීමයි මේ පොතෙන්
වෙන්නේ. මෙහි විශේෂත්වය වන්නේ මේ පොතේ ගීත මම ම රචනා කිරීමයි. ඒ ගීතවලට තනු රචනා
කරමින් දරුවන් සමඟ මමත් ගායනයට හවුල්කාරයෙක් වෙනවා. තමන්ගේ බාල කාලය ආවර්ජනය කරමින්
ලියැවී ඇති මේ ගීත ළමයින්ට වගේ ම වැඩිහිටියන්ටත් සුදුසුයි. ගීත ගැයීම අවසානයේ
වැඩිහිටියන්ටත් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් පොඩි සංගීත ආශාවක් ඇති කරන්නත්
අපේ පුංචි හැඟීමක් තිබෙනවා. මේ නාද රටාව දැන හඳුනා ගන්න සංගීතය දත යුතු ම නැහැ.
ඔවුන් එහි නියැළුණේ නැතිවුණත් තමන්ගේ දරුවන්ව සෞන්දර්යය කෙරෙහි යොමු කිරීමේ හැකියාව
ඔවුන් සතුයි. සෞන්දර්යක් නැතිනම් දරුවා කිසිම වෘත්තියක් තෝරාගෙන වැඩක් නැහැ. ”
ඔහු පවසන්නේ සෞන්දර්යවාදී ළමයාගේ සමාජගතවීමයි. ලොකුමිනිසෙක් වනවාට වඩා හොඳ මිනිසෙක්
වීමට ළමයාට උගත යුතු බව එඩ්වඩ් පසක් කරන්නේ අවධාරණයෙනි.
“චරිතා පවුලේ සියලුම කටයුතු භාරගෙන කරන නිසා මට සැහැල්ලුවෙන් මේ කටයුතු කරගෙන යන්න
පුළුවන් වෙලා තියෙනවා. පුතා ගැන වගේම දුව ගැනත් එයා ම තමයි සොයා බලන්නේ. ඒකට ඇයට මා
ස්තූතිවන්ත විය යුතුයි.”
ඔහු සිය බිරිය ඇගැයීමට ලක් කරයි. ශාරන්‍යා රසෝදි දුව පන්තියට යන්නට සූදානම් වී
චරිතා අසලට පැමිණෙන්නේ මේ අතර ය. කුඩා ශාරන්‍යා දුව දැන් යෞවනයකි. පුතු චන්දීප
ශාරානාත් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීම නිසා සිව්දෙනෙකුගෙන් යුත් කැදැල්ලේ එක් අයකු
නැති පාළුව සියල්ලන්ට ම බොහෝ සේ දැනෙයි. ඒ පාළුව නොදැනෙන්නේ චන්දීප පුතු නිතරම මෙන්
එහි සිට කතාබහ කරන හෙයිනි.
“ දෙන්නාම සංගීතයට ළැදියි. පුතා ඉගෙනීම සඳහා ඕස්ට්‍රෙලියාවට ගිහින් සිටින්නේ. ඉගෙන
ගැනීමේ කටයුතු කරන නිසා කලා කටයුතුවලට සහභාගි වන්නේ ඉඳහිටයි. මොන වෘත්තියක සිටියත්
කලා කටයුතුවලට තරමක් හෝ මැදිහත් වෙනවා නම් අපි කැමැතියි.”
නිවෙසේ පිළිවෙළ පෙන්වන්නට චරිතා අක්කා මා කැඳවන්නේ මේ කටයුතුවලින් අනතුරුව ය. අප
යන්නටත් ප්‍රථම යළිත් වරක් එඩ්වඩ් ජයකොඩි වාඩිවූයේ පියානෝව අසලිනි. ඔහුගේ අතැඟිලි
පියානෝවේ ස්වර අතර එහාමෙහා ගිය තාලය නරඹමින්ම හෝරා කිහිපයක ගෙවුණු සුහද හමුවකින්
පසුව ඒ සොඳුරු කැදැල්ලෙන් අපි සමුගතිමු.
තිලානි ශානිකා විතානාච්චි
සේයා රූ -
ශාන් රඹුක්වැල්ල
|