|
ප්‍රථම සරසවිය ම්මාන උලෙළ ගැලරියේ සිට නැරඹීමිආනන්දයේ අප ඉගෙන ගත් පන්තියක් ඊට යාබද පන්තියත් එකම පන්තියක ස්වරූපය ගත්තේය. පන්ති දෙකේ සිසුන් සහෝදරත්වයෙන් සුහදව කටයුතු කළෝය. පන්ති දෙකේම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් පෑ සිසුන් එකට එකතු වී පුහුණුවීම්වලට සහභාගි වූ අතර සිනමාවට, ඡායාරූප කලාවට, සාහිත්‍යයට ළැදි සිසුන් කල්ලි ගැසුණෝය. මම චිත්‍ර කලාවට දැක් වූ දස්කම නිසාදෝ කලාවට ළැදි සිසුන් ගොන්නේ සාමාජිකයකු වීමි. ‘ආනන්දය’ සඟරාවේ පිට කවරය නිර්මාණය කිරීමේ අවස්ථාව මට පන්ති භාර ගුරුතුමා වූ බර්ටි විජේසිංහ මහතා විසින් පවරන ලදී. සඟරාවේ මා විසින් අඳින ලද ඒ අකුරු තවමත් අඛණ්ඩව වසර 50 ක් විරාජමානව සිටී. පන්තියේ කවියන් වූයේ ප්‍රේමකීර්ති ද අල්විස් හා ධර්මකීර්ති ජයසේකරය. විප්ලවවාදී අදහස් දැරූ ධර්මකීර්ති එකල ‘රතු කඳුළු’ නමින් පුංචි කවි පොතක් පළ කළේය. පිට කවරයක් ඇඳ දෙමින් එය පළ කර දුන්නේ දයාවංශ ජයකොඩිය. ධර්මකීර්ති පසුව් ‘කීර්ති බාලසූරිය’ නමින් ප්‍රකටව දේශපාලනයට කැප වී අකාලයේ මිය ගියේය. සුනිල් වෙත්තමුනි, සංජීව සේනානායක, ලලිත් ගුණරත්න, සුභාෂ් සුමනසූරිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී පෙනුණ අතර, නිමල් හෙට්ටිආරච්චි (ආචාර්ය). කේ. පී. සිද්ධිසේන (මහාචාර්ය), සුදර්ශන සෙනවිරත්න (මහාචාර්ය) අධ්‍යාපන අංශයෙන් ඉහළට ගියේය. අපට ඉගැන් වූ ගුරුවරුන් හැඳින්විය හැක්කේ ගුරු දෙවිවරුන් ලෙසය. කොටගම වාචීස්සර හිමි (ආචාර්ය), බර්ටි විජේසිංහ, සාන්තන රාජපක්ෂ, ජී. ඩබ්ලිව්. රාජපක්ෂ, ඩබ්ලිව්. ඩී. කේ. ගුණවර්ධන, රංජිත් කබ්රාල් (ආචාර්ය), රංජිත් සොයිසා, කේ. එල්. එෆ්. විජේදාස, නීල් කුරුප්පු, ඒ. ඩී. කරුණානන්ද, තනබාලසිංහම් මේ ගුරු දෙවිවරුය. කලාවට ළැදි අපට හැම උපකාරයක්ම කළහ. සිනමාවට ආලය කළ අප කල්ලියේ නායකයා වූයේ රංජිත් ලාල්ය. උපතින්ම ධනවතෙකු වුව ද ඒ කිසිවකින් ඔළුව නරක් කර නොගත් මානව හිතවාදී මිතුරෙකි. ‘හෙට අපේ එසම්බ්ලි හොල් එකට නිහාල්සිංහ එනවලු. පිළිගැනීමේ කතාව තියෙන්නේ මට’ ප්‍රේමකීර්ති ද අල්විස් අලුත් ආරංචියක් ගෙනාවේය. ‘එයා හදපු ‘භක්ති’ කෙටි චිත්‍රපටයත් හෙට පෙන්නනවලු’ ඔහු තවදුරටත් විස්තර කළේය. ආදී ආනන්දීයකු වන ඩී. බී. නිහාල්සිංහගේ ‘භක්ති’ චිත්‍රපටය පොදු රාජ්‍ය මණ්ඩලීය කාඩීෆ් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ පුවත අසා තිබුණත් ඔහු ජීවමානව දැක තිබුණේ නැත. ශාලාව අතුරු සිදුරු නැතිව සිසුන්ගෙන් පිරී ඉතිරි ගියහ. විදුහල්පති ඊ. ඒ. පේරුසිංහ මහතා නිහාල්සිංහ කැඳවානෙ ආවේය. චිත්‍රපටය තිරගත විය. ආදි ආනන්දීයකු වන උත්තුංග දේහධාරී නිහාල්සිංහ ගැන එදා උදම් අනමින් අපි පන්තියට ආවෙමු. ‘අපි කොහොම හරි කෙටි වාර්තා චිත්‍රපටයක් කරමු’ රංජිත් ලාල් එක හඬින් කීවේය. ප්‍රේමකීර්ති, නම්මුනි සොයිසා, චන්ද්‍රසිරි මුදන්නායක, ආනන්ද නිලවීර, පී. ටී. අමරසිරි, සෙනරත් පෙරේරා හා මා ද එක හඬින් එය ස්ථිර කළහ. අප සිටියේ ලෙඩ්බීටර් ශාලාවේ උඩු මහලේ මහ පාරට මුහුණ ලා ඇති පන්තියේය. ‘ප්‍රේම් උඹ හොඳ තේමාවක් කියපන්’ රන්ජිත් ලාල් පන්තියේ සිටි නිර්මාණාත්මක හැකියාවලින් පිරිපුන් ප්‍රේමකීර්ති ද අල්විස්ට කීවේය. ප්‍ර්ම් ‘හිටියේ පාරට මුහණ ලා පිහිටි ජනේලය අයිනේය. ‘මෙහෙ වරෙල්ලා දැන්මම සංකල්පය පහළ වුණා. අර බලපල්ලා අර නාටමි කෙනෙක් ගෙනියන්න බැරි බර පොදියක් ඇදගෙන යනවා.’ අපි ජනේලය අසලට ගියෙමු. කළු මිනිසෙකු සිය නිරාවරණය වූ උඩුකයේ දහඩිය නාමින් කරත්තයක් තල්ලු කරගෙන යයි. ඔහුගේ දහඩිය සහිත කාල වර්ණ දේහය හිරු රශ්මියට දිලිසෙයි. ‘අපි මිනිසුන්ගේ කායික හා මානසික වීර්ය ගැන හොඳ කෙටි චිත්‍රපටයක් හදමු’ යළිත් ප්‍රේම් කීවේය. රංජිත් ලාල් යෝජනාව ස්ථිර කළේය. ‘වෙර’ නම් කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර පිටපත හා සංගීත නිර්මාණය රංජිත් ලාල්ය. කැමරාව මෙහෙය වූයේ කෑගලු විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි ඩිල්මන් ජයරත්නය. මම කලා අධ්‍යක්ෂ වීමි. නම්මුනි, මුදන්නායක, නිලවීර නිෂ්පාදන අංශය කරට ගත්තේය. එකල අපි උසස් විදේශීය චිත්‍රපට බැලීමට සැදී පැහැදී සිටියෙමු. සොළොස්මාන සිනමා කුණ්ඩලිය හා චිත්‍රපට ලේඛක හා විචාරක සංගමය එකල තානාපති කාර්යාලවල අනුග්‍රහයෙන් ප්‍රදර්ශනය කළ පෝලන්ත, චෙකොස්ලොවැකියාව, ප්‍රංශ, ස්වීඩන්, බෙංගාලි, ජර්මන් චිත්‍රපට හැම එකක්ම නරඹා අපි බම්බලපිටියේ විජය හවුස් එකට ගොස් තේ බොමින් ඒ චිත්‍රපට ගැන කතා කළෙමු. අපේ සමකාලීන මිතුරෝ (සිනමාවට ආදරය කළ) මේ කල්ලියට එක් වූහ. කෑගලු විද්‍යාලයේ ඩිල්මන් ජයරත්න, තර්ස්ටන් විද්‍යාලයේ ගාමිණී විජේතුංග, කුමුදු කුසුම් කුමාර, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සුනිල් ආරියරත්න, මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ලාල් දිසානායක, රාජකීය විද්‍යාලයේ අනුර බණ්ඩාරනායක මට මතක් වන නම්ය. පසුකලෙක අප පන්ති සගයකු වූ කුලරත්න ආරියවංශ සමඟ මා චිත්‍රපට නැරඹීමට ගොස් පෝලිමේදී අහම්බෙන් හමු වූ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයේ නීල් විජේරත්න ද අපේ කල්ලියේ හොඳ රසිකයකු විය. කොළඹ විශ්ව විද්‍යාලයේ කලාගාරයේ තිරගත වූ ‘ලේඩි විත් අ ලිටල් ඩෝග්’ (බල්ලා කැටුව යන කාන්තාව‘) බැලූදා අපි සියලු දෙනාම ඒ ගැන අමන්දානයෙන් කතා කළෙමු. ප්ලෙන්ටි විස්සක් පමණ හිස් කරන්නට ඇත. රංජිත් ලාල් ප්‍රමුඛ ආනන්දයේ අපේ පුංචි කට්ටිය ‘වෙර’ වර්තා චිත්‍රපටය නිම කිරීමෙන් පසු මංගල දර්ශනය ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ පැවැත්වීමට අපි තීරණය කළෙමු. ප්‍රධාන ආරාධිතයා ලෙස අපේ සහේදර පාසල්වල සිනමාවට ළැදි සිසුවෙකු ගෙන්වීමට අපි තිරණය කළෙමු. මේ අනුව එදා ‘වෙර’ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ රාජකීය විද්‍යාලයේ අනුර බණ්ඩාරනායකය. සුදුම සුදු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසී පැමිණි ඔහු චිත්‍රපටය බලා අපට සුබපතා ‘ඔයගොල්ලෝ කොහොම හරි සිනමා ශාලාවල පෙන්වන ෆීචර් (වෘත්තාන්ත) චිත්‍රපටයක් කරන්න. මගේ සම්පූර්ණ සහාය දෙනවා’. කීය. අපි අනුරගේ රොස්මිඩ් පෙදෙසේ ගෙදරට ගොස් ඔහුගේ අගනා පුස්තකාලයේ ඇති සිනමාව ගැන ලියූ පොත් ඉල්ලාගෙන යන තරමටම ඔහුට හිතවත් වීමු. පසුව ප්‍රතිභාපූර්ණ ගීත රචකයකු වූ ප්‍රේමකීර්ති මුලින්ම ගීතයක් ලිව්වෙ ‘වෙර’ චිත්‍රපටයටය. ඔහු ලියූ ඒ ගීතය චිත්‍රපටය සඳහා ගායනා කළේ රංජිත් ලාල්ය. අද ප්‍රේම් හා රන්ජිත් ජීවිතයෙන් සමුගෙනය. එහෙත් ප්‍රේම්ගේ ඒ ගීතය තවමත් මගේ මතකයේ රැව් දේ.
‘මහ මුහුද හෝ ගගා
|