වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




චාලි ෂීන්ට ඒඩ්ස්

චාලි ෂීන්ට ඒඩ්ස්

චාර්ලි ෂීන් හොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟාකර ගත්තේ අසූව දශකයේ රිදි තිරයේ කඩවසම් නළුවෙකු ලෙසින්ද නමක් දිනා ගනිමිනි. ටොම් කෲස්, ටොම් හෑන්ක්ස් තිරයේ ඔහු සමඟින් තරඟ කළ අනෙක් නළුවන් දෙදෙනා විය. චාර්ලි ෂීන් ළමා නළුවෙකු ලෙසින් සිනමා ගමන ආරම්භ කළේ තම පියා ප්‍රධාන චරිතය නිරූපණය කළ චිත්‍රපටයකිනි. ඒ 1973 වසරේදීය. ‘ප්ලැටෝන්’ (1980), ‘වෝල් සිට්‍රීට්’ (1987), ‘යන්ග් ගන්ස්’ (1988), එයිට් මෙන් අවුට්’ (1985), ‘මේජර් ලීග්’ (1989) ‘හොට් ෂොට්’ (1991), ‘ද ත්‍රී මස්කිටීස්’ (1993) වැනි සාර්ථක චිත්‍රපට ඔහුගේ රංගනයෙන් ඔපවත් විය.

චාර්ලිගේ පියා මාර්ටින් ෂීන් හොලිවුඩ් නළුවෙකු මෙන්ම මව ජැනට් ටෙම්ප්ලේට් නිළියක සහ නිෂ්පාදිකාවකද වූවාය. 1965 වසරේ සැප්තැම්බර් 03 වැනිදා නිව්යෝක් හිදී උපත ලද ඔහුගේ මුල් නම චාර්ල්ස් අර්වින් ස්ටීවන්ස්ය. වැඩිමල් සොහොයුරන් දෙදෙනෙකු සහ බාල සහෝදරික සිටින මේ පවුලේ සියලු දෙනාම රංගන ක්ෂේත්‍රයේ නිරතවීද විශේෂත්වයකි.

රූපවාහිනි ක්ෂේත්‍රයේද ඉහළ ජනප්‍රියත්වක් දිනාගත් චාර්ලි ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උලෙළේ හොඳම සංගීත සහ විකට ටෙලි නාට්‍ය මාලාවේ හොඳම නළුවා ලෙසින් සම්මානයටද පාත්‍රවිය. ඔහු ටෙලිවිෂනයේ ඉහළම මුදලක් උපයා ගන්නා නළුවා බවටද පත් වූයේ, එක් කතා මාලාවකින් අමෙරිකානු ඩොලර් මිලියන 1.8ක මුලදක් උපයා ගනිමිනි. ගෝල්ඩක් ග්ලෝබ් සහ ඇමී සම්මාන රැසක් වෙනුවෙන් ඔහුගේ රංගනය නිර්දේශ වී ඇත.

කෙසේ නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතය නම් ගැටළුකාරි එකක් වූයේය. මත් පැන්, මත් ද්‍රව්‍ය සහ කාන්තාවන් නිසා එය අවුලෙන් අවුලටම පත් විය. ඔහුගේ පළමු විවාහය පැවැතියේ වසරක් පමණි. 1995දී ආරම්භ වූ එය 1996 වසරේදී කෙළවර විය. අනතුරුව 2002 වසරේදී හොළිවුඩ් නිළි ඩෙනිස් ලී රිචඩ්ස් සමඟින් විවාහ වී 2006 වසරේදී එම විවාහයට තිත තැබුවේය. චාර්ලි නැවත විවාහ වූයේ, අමෙරිකානු නිළියක වන බෲක් මුලෙර් සමඟිනි. දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන ඔහු දරුවන්ගේ වගකීම් ඉටු කරන පියෙක් ලෙස නම් දරයි. පසුගිය නොවැම්බර් 17 වැනිදා ඔහු ප්‍රකාශ කළ දෙයින් හොලිවුඩයම කැළඹී ගියේය. එනම් සිව් වසරකට පෙර සිට තමා එච්අයිවී ආසාදිතයකු බවයි. ඔහුගේ මව්පියන්ගේ 50 වැනි විවාහ සංවත්සරයත් මීට සිව් වසරකට පෙර යෙදී තිබීමද දෛවෝපගතය.