|
ටෙලි කම්කරු සුදු නංගිලා සහ රංගන බේබිලා
වර්තමානයේ බොහෝ විට සමහර චිත්‍රපට තිරගත වන විත්තිය සිනමා කෘතියේ ශිල්පීන් පමණක් නොව ප්‍රේක්ෂකයන් ද නොදනිති. එය වෙනම කතාවකි. එහෙත් අද බොහෝ විට සිදුවන්නේ චිත්‍රපටය තිරගත වන විට එයට අදාළ නළු නිළියන්, කාර්මික ශිල්පීන් සොයා ගන්නට නොහැකි වීමය. මෑතකදී ඉතා විශාල වියදමක් දැරූ නිෂ්පාදකවරයකු සිය චිත්‍රපටය සඳහා නොමිළයේ ලැබුණ ටෙලිවිෂන ප්‍රචාර වෙනුවෙන් එහි රඟපෑ නළු නිළියන් සොයමින් රට පුරා ඇවිද්දේය. ඔහු මා හමු වූ අවස්ථාවක සිය දුක්ගැනවිල්ල කියා පෑවේ මෙරට වර්තමාන සිනමාවේ එක් පැතිකඩක් හෙළිරව් කරමිනි. පසුගිය දවසක සවස මෙරට විශිෂ්ටතම සිනමාකරුවන් කිහිප දෙනෙකු සමඟ සොඳුරු සැන්දෑවක් ගත කරන්නට මට අවස්ථාව ලැබිණ. එහි සිටි එකම පිටස්තරයා මම වීමි. එහෙත් වර්තමාන සිනමාවේ නොදුටු තවත් බොහෝ කතා මේ සැඳෑවේ එළිදැකිණ. මේ අතර බොහොමයක එළි දකිනුයේ ඇත්තටම සිනමවේ එක් අඳුරු පැතිකඩකි.
පසුගිය වකවානුවේ චිත්‍රපට රඟපානවාට වඩා ටෙලි නාට්‍ය රඟපෑම වඩා ලාබදායී එකක් විය. සමහර නිරූපිකාවන් පවා වෙළඳ දැන්වීම් රඟපෑම බාර ගත්තේ එය චිත්‍රපටයක හා ටෙලි නාට්‍යයක රඟපානවාට වඩා ඉහළ ආදායමක් උපයා ගැනිමට හැකි වෙතැයි සැලකීම සමඟය. ටෙලි නාට්‍ය ව්‍යාපාරය කර්මාන්තයක් නොව ජාවාරමක් වීම සමඟ එහි නියැලි බොහෝ දෙනා ද දවස් කුලියට වැඩ කරන්නට පටන් ගත්හ. මෙහි ඇති ශෝකජනක කරුණ වනුයේ ටෙලි නාට්‍ය රංගනයට පමණක් එක්වන පොත්ත සුදු නංගිලා හා රංගන බේබිලා නොව අප විසින් වෘත්තීය නළු නිළියන් ලෙස ගෞරවයෙන් සලකනු ලබන ඇතැම් පිරිස් පවා මේ මඩ ගොහොරුවේ ඇලී ගැලී ඇති වගය. නංගිලා - බේබිලා පන්තියේ ඇතැම් මානව මානවිකාවන් වරින් වර හමු වූ විට, ඔවුනගේ වත ගොත විමසීමේදී හෙළි වන්නේ අපූරු කරුණකි. ඔවුන් බොහෝ දෙනෙකු තමා රඟපෑ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ කවුදැයි නම කියන්නට දන්නේ නැත. කවුරුන් හෝ කතා කොට දවස් දෙක තුනක වැඩකට අදාල ගණන් හිලව්වලට යනවා විනා චරිතය කුමක් ද ඒ පිළිබඳ පූර්ව සූදානමක් අවශ්‍ය ද දන්නේ නැත. වඩාත්ම සිනහ උපදවන කරුණ නම් උදේ නිවසට පැමිණ වාහනයට ගොඩ වී ගමනාන්තය තෙක් තමන් යන්නේ කවර ස්ථානයකට දැයි නොදන්නා අය ද සිටීමය. මගේ මිත්‍ර සමාගමේ කතාබහ මේ ප්‍රවෘත්තිවලට තවත් අලුත් දේවල් ද එක් කළහ. එනම් වර්තමානයේ මුහුරත් උලෙළක් හෝ මංගල දර්ශනයකට පැමිණීමට පවා ඇතැම් නළු නිළියන්ට මුදල් ගෙවිය යුතු බවය. ඒ ඔවුන් බාර ගත් දවස් කුලියේ වැඩට අතින් පාඩු වෙන නිසාය. මේ නිර්මාණවලට දායක වන්නන් ද නැතහොත් දවස් කුලියට එදා වේල සොය ගන්නන් ද යන ගැටළුව ශ්‍රාවකයාට ඇතිවීම වැලැක්විය නොහැක. මෙබඳු කරුණු සාමාන්‍ය පාඨකයාට අනාවරණය වීම ක්ෂේත්‍රයට නුසුදුසු යැයි ඇතැමුන් චෝදනා කළ ද එය ලියා තැබිය යුත්තේ සැබෑ යථාර්ථය කිසිවකු හෝ විසින් හෝ හෙළිදරව් කළ යුතුව ඇති බැවිනි. දිනපතා කුලියට වැඩට ගන්නා කෙනෙකු පවා තමාගේ කාර්යය හා කටයුතු කරන්නේ කා සමඟ ද යන්න හොඳින් දනිති. එදා මිතුරු හවුලේ හමු වූ එක් ප්‍රවීණ සිනමාකරුවකු කියා සිටියේ නම හෙළි කළ නොහැකි වුවත් අද මේ තත්ත්වය වසංගතයක්ව ඇති අන්දමය. එනම් ඇතැම් ප්‍රවීණයන් පවා මේ රෝගයට ගොදුරුව ඇත. අයහපත් කාලගුණය නිසා රූගත කරන්නට නොහැකි වූ එක් දර්ශනයක් සඳහා එබඳු වැදගත් ශිල්පියකුට නැවත දවසේ කුලිය ගෙවන්නට වූ අන්දම ඔහු කියා සිටියේ විස්සෝප වෙමිනි. මේ අන්දමට ගියහොත් තම සහෘද කලාකරුවකුගේ මළ ගෙදරකට යන්නටත් දවස් කුලිය ඉල්ලා සිටින තත්ත්වයට ඔවුන් ඇද වැටෙනු නිසැකය. රුක්මණී දේවියගේ සිට ගාමිණී, ජෝ, මාලිනී, රවීන්ද්‍ර, ජීවරාණි, ටෝනි, සනත්, ජීවන්, වසන්ති, රන්ජන්, සබීතා, දිල්හානි ආදී වූ නේක විධ සිනමා තරු ගොන්නේ දිදුලන පමණක් නොව දෙවැනි තුන්වෙනි පෙළ කාණ්ඩයේ සිනමා තරු පවා ස්වකීය වෘත්තීයත්, එහි ගෞරවයත් පණ සේ රැක ගත් වග ඔවුනට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය. ඉන්දීය අනුකරණ යුගයේ පවා තමන්ගේ වෘත්තීය ආත්මය හෑල්ලු කර ගත්තේ නැත. තමන් රඟපාන චරිතය හෝ නොදැන ඔහේ පෙනී සිටින්නට යෑමෙන් සිදු වනුයේ තමන් පමණක් නොව අනාගතය වෙත රැක ගත යුතු කර්මාන්තය ද අගාධයට ඇද දැමීමය. දවස් කුලියට වැඩ කිරීමට ටෙලිවිෂන් කර්මාන්තය පෙලඹුණේ හේතු සාධක ඇතුවය. එය එහි නිෂ්පාදකයාට ලාබගෙන දෙන ක්‍රමවේදයක් විය. දවසට වැඩිම දර්ශන ගණනක් රූගත කරන්නට සමත් ශිල්පියකු දක්ෂ අධ්‍යක්ෂවරයකු ලෙස ආයෝජකයෝ සලකන්නට වූහ. එහි ගුණාත්මක පක්ෂය වැදගත් නොවීය. එම පරම්පරාව ඉතා පැහැදිලිව ටෙලිවිෂන නාළිකාවට පමණක් කොටු වන පරම්පරාවක් වී අවසන්ය. සිනමාව හා ටෙලිවිෂනය අතර අවකාශය දුරු වී ගිය ද සිනමා කෘතියක ආවේණික ගුණෝපිත ලක්ෂණ තවමත් ලොව පුරා රඳවා ගෙන සිටිති. ලොව බොහෝ රටවල ටෙලිවිෂන හා සිනමාව සඳහා වෙන් වෙන් නළු නිළියන් බහුලව දැක ගත හැක්කේ එහෙයිනි. මේ ආදරයයි, ස්වප්නා වැනි ඉන්දීය මාලා නාටකයන්ගේ දැක ගත හැකි කිසිවකු හින්දි හෝ දෙමළ චිත්‍රපටයක දැක ගත හැකි වනුයේ ඉතා කලාතුරකිනි. අපේ රටේ ආර්ථිකය හා කර්මාන්තයේ ඇති ඉතා සීමිත අවකාශය මැද එබඳු සෘජු බෙදීමක් දැක ගැනීමට නොහැකි වීම සාමාන්‍ය කරුණකි. එහෙත් තම වෘත්තීයට අදාළ ගෞරවය හා කැපවීම කිසිසේත් ලඝු කොට නොගත යුතු යැයි අප විශ්වාස කරන කරුණකි. එයට හේතුව සිනමා රංගන වෘත්තීය මෙරට පරම්පරා ගණනක් රසිකයන් විසින් බහුමානයට ලක් කොට ඇති නිසාය. එමෙන්ම එම තත්ත්වය ගොඩ නැංවීම සඳහා පරම්පරා ගණනාවක නළු නිළියන් ඒ සඳහා මහත් කැපවීමක් කළ නිසාවෙනි. ඔවුන්ට ඉහළ ගෙවීමක් අත්‍යවශ්‍ය වන්නා සේම ඔවුන් ද ඒ ගරුත්වය රැක ගත යුත්තේ එබැවිනි.
|