වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පිය - පුතු සෙනෙහසක අරුමය

තාත්තලා පුතාලගේ අපූරු කතන්දර

* අවුරුදු විසි හතක් යනකල් මම හිටියේ තාත්තාගේ නීතිරීතිවලට යටත්ව

* සුරංග වගේ පුතෙක් ඉන්න එක මට ලොකු ශක්තියක්

සංගීතඥ සරත් ද අල්විස්
දයාබර පුතු චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග ද අල්විස් ගැන පවසන අපූරු කතා

අද පටන් ඇරැඹෙන මේ විශේෂාංගයට අප එකතු කර ගන්නේ කලා ලොව ජය කෙහෙළි නැං වූ පිය පුතු සහ මව් දූවරු යුවළයන් වෙනුවෙනි. හාහාපුරා කියා අප මේ සඳහා එකතු කර ගත්තේ සරත් ද අල්විස් සහ සුරංග ද අල්විස්. සරත් කියන්නේ අති දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. සුරංග සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් කලා ලොවේ ඉදිරියටම ගමන් කරනවා. සුරංගගේ සිනමාපට සංගීතවත් කළේ සරත්. පුතකුගේ සිනමාපටයන්ට පියකු විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද විරළ අවස්ථාවකට ඔවුන් හිමිකම් කීමද විශේෂත්වයක්. අතීත ආවර්ජන ද සමඟින් සරත්, සුරංග පිය පුතු දෙපොල සරසවිය සමඟ එක් වුණේ මෙන්න මේ විදිහට.

දෙන්නාටම හිතාගන්නට බැහැ වගේ කොතැනින් කොහොම කොයි ආකාරයෙන් මේ සඳහා ප්‍රවේශයක් ගන්න ද කියලා.

මං අර කතාව කියන්නද මුලින්ම?

සරත් ඇහැව්වේ නිකට අතගාන ගමන්.

මොකක්ද?

සුරංගට හිතාගන්න බැරුව ගියා සරත් කියන්න හදන්නේ මොකක්ද කියලා.

ඔයා මුලින්ම ස්ටේජ් එකක රඟපාපු දවස. මතක ද, අර අපි එදා එතනටම යනකම් ඔයා කිව්වේ නැහනෙ ඔයා අම්මවයි මමවයි එදා සර්ප්‍රයිස් කළා.

හානේ ඇත්ත තමයි තාත්තට හොඳට මතකයි නේද ඒ දවස.

මොකද නැත්තේ මට අද වගේ මතකයි.

සුරංගම ඒ කතාව කිව්වොත් හොඳයි. මගේ ඒ ඇරැයුම සුරංගට.

මේකයි තාත්තා සංගීත අධ්‍යක්ෂවරයකු වුණාට මං ඒ සයිඩ් එකට ප්‍රිය කළේ නැහැ. මට සිංදු කියන්නත් බැහැනෙ. ඒ දවස්වල තාත්තව හමුවෙන්න ගායක ගායකාවන් වගේම නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් එහෙමත් ආවා. මං ආදරය කළේ අන්න ඒ අයට. ඉතින් මගේ හිත නිතතින්ම ඇදිලා ගියා රංගනය සහ අධ්‍යක්ෂණය කියන ක්ෂේත්‍රවලට. තාත්තා ඔය කියපු සිද්ධිය වන කොට මට අවුරුදු පහළොවක් විතර ඇති. මං ඉගෙන ගත්තු කේරි විද්‍යාලයේ එක්තරා ප්‍රසංගයක් නරඹන්න මං ගෙදර අයට පෙරැත්ත කළා. අම්මයි තාත්තයි දෙන්නාම එදා ආවා. එහි මාත් අංගයක් ඉදිරිපත් කළා. කවුරු විදිහට ද කියලා තාත්තට මතකද?

ඔව්. මයිකල් ජැක්සන් විදිහටනෙ එදා ඔයා රඟපෑවේ. මට හරි පුදුමයි ගෙදර ඉන්න සයිලන්ට් මෑන් ද මේ කියලා. මෙයා ගෙදරදි ඔය වයසෙදි හරි නිශ්ශබ්දයි. පස්සේ පස්සේ කරපු දග වැඩ නම් එමටයි. නමුත් එදා පුතා කරපු රංගනයෙන් මං එයාගේ අනාගතය දැක්කා කියලා කිව්වොත් වැරැදි නැහැ.

එදා තමයි තාත්තා මගේ සිතුම් පැතුම් හඳුන ගත්තේ. තාත්තට එදා හිතෙන්නට ඇති මං කවදා හරි කලාවේ නමක් තියාවි කියලා.

සුරංගගේ කතාවට සරත් ප්‍රතිචාර දැක්වූයේ හිනාවකින්.

කාලයක් ගියාම සුරංග හරි දඟයෙක් වුණානේ. මටත් සමහර විට කේන්ති ගියා මෙයා කරන වැඩවලට.

මතකද තාත්තා දවසක් මට බයිසිකලයකින් දමලා ගැහැව්වා.

බුදු අම්මෝ අදටත් මට ඒ සිද්ධිය ගැන මතක් වෙද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා. ඔයා එදා මොකක් හරි ලොකු දඟ වැඩක් කළා. මට කේන්තිය උහුලගන්න බැරි වෙලා වටපිට බලද්දී තිබුණා බයිසිකල් එකක්. අතට අහු වුණේ ඒක. මං ඉතින් ඒකෙන් දමලා ගැහැව්වා. මට පස්සේ මාර අප්සට්. මොකද ගහපු පාර පුතාගේ නරක තැනකට එහෙම වැදුණා නම්, අන්න එදායින් පස්සේ මං පුතාට නියපිටින් පහරක් ගැහැව්වේ නැහැ. පුළුවන් තරම් අවවාද කරලයි දඟ වැඩ නතර කර ගත්තේ.

හැබැයි මං පස්සේ කාලෙ තාත්තව කේන්ති අවුස්සපු නැති තරම් නේද.

ඒකනෙ.

තාත්තට මතකද ඔයා රෑ කීයට අවාත් අපව ඇහැරවලා කවන බුරියානි ඒක. මට ඒකෙ රහ අදටත් කටට දැනෙනවා.

මං ඉතින් ෂෝස් ඉවර කරලා එනකොට රෑ වෙනවානෙ. එන ගමන් බුහාරි හෝටලය පැත්තෙන් ඇවිත් එතැනින් බුරියානි එකක් ගන්නවා. ඔයාලත් දන්නවා මං එනකොට බුරියානි එක ගේනව කියලා. කීයට ආවත් මං ඔයාවයි මල්ලිවයි ඇහැරවලා බුරියානි කවෝනවා. ඔයාලත් මූණ කටපුරා තවරාගෙන ඒක කන්නේ රහ කර කර.

මං සරත්ගෙන් ඊළඟට ඇහැව්වේ සුරංග කලාකරුවකු විදිහට කලඑළියට ආව දවස. එතැන් පටන් ඔවුන් දෙපොළ යටගියාවේ රසවත් සිදුවීම් කිහිපයක්ම මතක් කළා.

මං හරි නම් පුුතාගේ පළමුවැනි නිෂ්පාදනය වන්නේ ප්‍රොෆසර් සිතා මතා. ඒක වේදිකා නාට්‍යක්නේ. ඊට පස්සේ යමලෝ. එහි නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණය ද පුතාගෙනෙ.

තාත්තත් මේ අවස්ථා දෙකේම මංගල දර්ශනවලට එකතු වුණා. ඒ වගේම මට ආශිර්වාදත් කළා. එදා මට ලබා දුන්නු ඔවදන් මට මහමෙරක් තරම් වටිනවා.

පුතා දෙයක් හරියට කරනවා කියලා මං දන්නවා. ඒකනෙ මං අදටත් පුතා මොනවා කළත් බය නැතුව ඉන්නේ.

මට අවුරුදු 27 ක් වෙනකම් තාත්තා මට දාපු නීති ටික මං හිතන්නේ වෙන දරුවෙකුට වෙන තාත්තා කෙනෙක් ඒ වගේ වයසක් වෙනකම් දාලා නැතුව ඇති. අවුරුදු 27 නෙ මං කසාද බැන්දේ. ඒ වෙනකම් හැමදාම හවස හය වෙන කොට ගෙදර ඉන්න ඕනෑ. නැත්නම් ඉතිං සොරි ඩොට්කොම් තමයි. ඒ වගේම කොහොම හරි පිටට යනවා නම් දවස් දෙකකට කලින් කියන්න ඕනෑ. ක්ෂණිකව මට කොහෙවත් යන්න බැහැ. යන්න දුන්නෙත් නැහැ. මට දැන් හිතෙනවා තාත්තා ඒ නීති දැම්මේ ඇයි කියලා. අපි අද හැදියාවක් ඇති පුද්ගලයෝ විදිහට ඉන්නේ තාත්තාගේ නීති නිසා.

මං හිතන්නේ දැන් තමයි වෙලාව පුතාගේ බිරිය මුණ ගැහුණු හැටි කියන්න.

ෂා . . . ඇත්තටම ෂෝක්. තාත්තාත් හරියට සී. අයි. ඩී. ඔෆිසර් කෙනෙක් වගේ. මං හා හා පුරා කියලා එයාව මුණ ගැහෙන්න ඔයාට හොරෙන්ම ගියත් අතටම මාට්ටු වුණ හැටි මට අදටත් හිතාගන්න බැහැ. කවුද කිව්වේ තාත්තට මං එයත් එක්ක නුවර ඉන්නවා කියලා.

මටත් යාළුවෝ ඉන්නවා රට වටේම. එහෙම කෙනෙක් තමයි එදා මට ඔත්තුව දුන්නේ. මට මතක විදිහට ඔය කාලෙ තමයි පුතා බිස්නස්වලට යොමු වුණේ.

මං එදා ගෙදරින් ගියා ෂොප් එකට යනවා කියලා. එතනට ගිය ගමන් ෂොප් එක යාළුවකුට බාර දීලා නැග්ගා නුවර ඒසී බස් එකක. ගිහින් එයාව හමු වෙලා ගෙදර එන්න ලැබුණේ නැහැ. ඔයා ඇහැව්වනෙ නුවර මොකද කරන්නේ කියලා. මට හිතා ගන්නට බැහැ. කොහොම හරි අද වන විට ඇය මගේ ප්‍රිය බිරිය වීණා.

කොයි කලේ වගේද පුතාට වීණාව මුණ ගැහෙන්නේ.

දහම් පාසලේදී. එයාගේ පවුලේ අය අපේ පවුලේ අයව හොඳට දන්න හින්දා වැඩිය අප එලිපෙහෙළියට ආවේ නැහැ. කොළඹ හිටියට එයාලගේ ගම නුවර. ඊට පස්සේ දිගටම නුවර පදිංචියට ගියා. තාත්තට මතකද දන්නේ නැහැ අපේ නෑදෑ කෙනෙකුගේ වෙඩින් එකක් තිබුණා නුවර. මං ඒකට ගිය අතරතුරදියි වීණාගේ ගෙවල් හොයාගෙන ගිියේ. එදා තමයි අපේ සම්බන්ධය අලුත් වුණේ.

සරත්, සුරංග පුතාට පොඩි පහරක් ගැසුවේ මෙතෙක් හෙළිදරවු නොවූ රහස් කිහිපයක්ම සුරංග පැවසූ බැවිනි. අද වන විට සුරංග චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දක්වා දුර ගමනක් ඇවිත්. සරත් ඒ ගැන පැවසුවේ මහත් වූ ආඩම්බරයෙන්.

මගේ පුතා තමයි මේ කියලා කට ඇරලා මට කියන්න පුළුවන් ආඩම්බරයක් ඔහු මට ඇති කරලා තියෙනවා. පුතාගේ චිත්‍රපට දෙකම අතිශය සර්ථක වුණා. ඒ වගේම මං තමයි ඔහුගේ චිත්‍රපට දෙකේම සංගීත අධ්‍යක්ෂවරයා වුණේ. මං හීනෙකිවත් හිතුවේ නැහැ මගේ පුතා හදන චිත්‍රපටවල පවා සංගීත අධ්‍යක්ෂණය කරන්න මට පුළුවන් වේවි කියලා. ඇත්තටම ඒක විරළ අවස්ථාවක්.

මං විශ්වාස කරන කාරණයක් තියෙනවා. ඒ සරත් ද අල්විස්ගේ පුතකු වන්නට මං බොහෝ සෙයින් පින් කරලා තියෙනවා කියන එක. ජාති ජාතිත් ඔහුම මගේ තාත්තා වන්නට මං ප්‍රාර්ථනා කරනවා.

සුරංග, සරත් දෙස බැලුවේ අප්‍රමාණ වූ ගෞරවාදරයකින්. ඒ වගේම සරත් අවසන් කොට සුරංග ගැන මෙහෙම කිව්වා.

සුරංග වගේ පුතකු ඉන්න එක මට මහත් වූ ශක්තියක්.