|
මහත්තයාගේ සමහර චිත්‍රපටවලට නළු, නිළියෝ යෝජනා කළේ මමයිවිජය ධර්ම ශ්‍රී ගේ බිරිය නිලන්තා ධර්ම ශ්‍රී සම්මානනීය චි'ත්‍රපට අධ්යක්ෂවරයකු, ටෙලි නාට්‍ය, අධ්යක්ෂවරයකු, තිර නාටක රචකයකු ලෙසින් කලා ක්ෂේත්රයේ කීර්තිමත් නමක් දිනා සිටි විජය ධර්ම ශ්‍රී අප අතරින් වියෝ වී මේ වසරේ නොවැම්බර් 18 වැනිදාට වසර විසි එකක් සපිරුණ ද අද ද ඔහු එදා නිර්මාණය කළ කලා නිර්මාණ ප්‍රේක්ෂකයෝ රස විඳිති. දුහුලු මලක්, චූඩා මාණික්‍යය, දඬුමොනර, සිටු කුමරියෝ, ආරාධනා, සූරියකාන්ත, ගුරුගෙදර, හිමගිර, ක්ෂේමභූමි සිනමා නිර්මාණ අදත් ප්‍රේක්ෂක නෙතට සමීප වන වාරයක් වාරයක් පාසා විජය ධර්ම ශ්‍රී නාමය ද මතකයන් අතරට එක් වෙයි. එදා ඔහුට සිය නිර්මාණ කාර්්‍යයේ සෙවනැල්ල වූ බිරිය නිලන්තා ධර්ම ශ්‍රී අද ද ඒ අතීත මතකයන් අතරේ ජීවත්වන නිසාම අපි ඇයත් සමඟ එදා විජය ධර්ම ශ්‍රී ගේ නිවහන වූ අංක 530, ඊරියවැටිය, කැලණිය ලිපිනයේ ඇයත් සමඟ මතක ආවර්ජනයක නියැලීය. * ඔබේ සැමියාගේ 21 වන ගුණ සැමරුම යෙදී තිබෙන මේ දවස්වල මොන වගේ කටයුතුවල ද නියැලිලා ඉන්නේ?අද වෙන කොට මම බොහෝ විට පින් දහම් කටයුතුවල තමයි නියැලිලා ඉන්නේ. සිරිතක් ලෙස මහත්තයා මිය ගියාට පස්සේ පන්සලට මාසයක් මාසයක් පාසා දානයක් පිරිනැමුවා. කොයි ආකාරයේ පිනක් දහමක් කළත් මම මහත්තයා සිහිපත් කරලා එයාට පිං පෙත් අනුමෝදන් කිරීම අද මගේ දින චර්යාවේම කොටසක් වෙලා. * කොහොමද දැන් දරුවො එහෙම?අද වෙන කොට දරුවෝ තුන් දෙනාම විවාහ වෙලා. පුතා මලින්ද හැටන් නැෂනල් බැංකුවේ රැකියාව කරනවා. එයා තමයි මහත්තයා ජීවත් වෙලා හිටිය ඊරියවැටිය ගෙදර පදිංචි වෙලා ඉන්නේ. ලොකු දුව පියුමි උත්පලා මොරටුමුල්ලේ පදිංචි වෙලා ඉන්නේ. පොඩි දූ සඳුන්මාලි මොරටුවේ පදිංචි වෙලා ඉන්නවා. එයා මහජන බැංකුවේ රැකියාව කරනවා. * ඔබේ දවස ගෙවෙන්නේ?දැන් මම මිත්තණියක්. දරු මුණුපුරන් මිනිබිරියන්ගේ වැඩ කටයුතු එක්ක පින් දහම් කටයුතුවල නියැළෙමින් තමයි පසු වන්නේ. * එදා ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ ගත් ඔබේ ස්වාමියාගේ සිනමා නිර්මාණ අද ඔබ රස විඳින්නේ නැද්ද?බොහෝ විට මහත්තයා කළ චිත්‍රපට රුපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය වෙනවා. මම ඒ අවස්ථාවල ඒවා නැවත බලා රස විඳිනවා. මේ ළඟදී දුහුළු මලක්, ආරාධනා චිත්‍රපට විකාශය වුණා. * මේ නිර්මාණ නැවත බලන කොට මොන වගේ හැඟීමක් ද ඇති වන්නේ?මේ නිර්මාණ එදා හදන්න මහත්තයා කැප වෙච්ච හැටි මට මතකයට එනවා. ඒ වගේම මේ නිර්මාණ සඳහා ඒ අවධියේ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කතාබහ ගැන සුන්දර මතකයන් මට අදත් මතකයට එනවා. * මහත්තයාගේ අභාවයත් සමඟ කලාවෙන් ඈත් වුණා නේද?මගෙ දරුවෝ කවුරුවත් තාත්තාගේ අඩි පාරේ කලාවට සම්බන්ධ වුණේ නෑ. ඒත් මගේ ලොකු දුව පියුමි විවාහ වුණේ රංගන ශිල්පී ජගත් චමිල සමඟ. ඒ නිසා මේ සම්බන්ධතාවය හරහා කලාවට තවමත් නෑකමක් තියෙනවා. * ඔබට විජය ධර්ම ශ්‍රී හමු වුණේ කොහොමද?මම පුංචි කාලේ පටන් කලාවට බොහොම කැමැතියි. නළු නිළියන්ගේ විස්තර, ගායක ගායිකාවන්ගේ විස්තර එකතු කිරීම මගේ විනෝදාංශයක්. කලාවට තිබුණ ආශාව නිසාම මම එකල තිබුණු විසිතුර පත්තරය මිල දී ගෙන කියෙව්වා. විශ්ව විද්‍යාලයට මම ගියත් මේ කලා ශිල්පිීන් පිළිබඳ මා තුළ තිබුණ උනන්දුව අඩු වුණේ නැහැ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පස්සේ සංවර්ධන නිලධාරි ලෙස රැකියාවක් ලැබුණා. ඔය අතරේ මම පුවත්පතක පල කරලා තිබුණු මංගල යෝජනාවකට දෙමවුපියන්ගේ අනු දැනුම ඇතිව ලිපියක් දැම්මා. ඔන්න ඔය ලිපිය තමයි අපි දෙන්නා එකතු කළේ. * මංගල යෝජනාව දැම්මේ ඔහු කවුද කියලා කලින්ම දැනගෙනද?අනේ නැහැ මම එයා කවුද කියලාවත් දන්නේ නැහැ. මගේ ලිපියට පිළිතුරන් ලෙස ලිපියක් ලැබුණා. එයාගේ නම විජය ධර්ම ශ්‍රී, චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාව කරන්නේ කියා. එයා එවපු ලිපියේ චිත්‍රපට අධ්යක්ෂවරයෙක් කියලා තිබුණ නිසා මමත් කලාවට ආශා නිසා එයාව හමුවෙලා කතා බහ කරන්න මටත් සිතක් ඇතිි වුණා. * විජය ධර්ම ශ්‍රී, නිලන්තා හමුව කැලණිය පන්සලේදී සිද්ධ වුණා කියන්නේ ඇත්තද?මම එයාව මුලින්ම දැක්කේ කැලණි පන්සලේදී. මම අපේ දෙමාපියෝ එක්ක කැලණි පන්සල් ආවා. එයා එයාගේ දෙමාපියෝ එක්ක කැලණි පන්සල් ආවා. එතනදි අපි එකට හමු වෙලා කතාබස් කළා. ඒ හඳුනා ගැනීම දෙමාපිය ආශිර්වාදය මධ්‍යයේ 1976 දෙසැම්බර් 25 වැනිදා අපි දෙන්නා විවාහ වුණා. * ඔබ දෙපලගේ මංගල උත්සවය එදා කලාකරුවන්ගෙන් පිරී ඉතිරී යන්න ඇති?රවීන්ද්‍ර රන්දෙනිය, වික්ටර් රත්නායක, සුමිත්ත අමරසිංහ වගේ ගොඩක් කලාකරුවන් එදා විවාහ උත්සවයට ලයනල් වෙන්ඩ් එකට ඇවිත් හිටියා. * විජය ධර්ම ශ්‍රී ඔබට හමු වෙන කොට ඔහුගේ මුල්ම චිත්‍රපටය වූ දුහුළු මලක් කර තිබුණාද?එතකොට ඔහු ඒ චිත්‍රපටය කරලා, හැබැයි චිත්‍රපටය පෙන්වලා තිබුණේ නැහැ. මට මතකයි එයා කිව්වා මම චිත්‍රපටයක් කළා, රවීන්ද්‍ර කියලා ලස්සන තරුණ නළුවෙක් ඒකෙ මේන් රෝල් එකට ගත්තා කියලා. මම ඒ පාර එයාගෙන් ඇහුවා රවීන්ද්‍ර රූපසේන ද කියලත්. ඒ පාර එයා කිව්වා රවීන්ද්‍ර රන්දෙණිය කියලා. * විවාහ වුණාට පස්සෙ ද දුහුලු මලක් සිනමා ශාලාවල තිරගත වුණේ?නෑ. මම විවාහ වෙන්න ඉස්සෙල්ලා දුහුළු මලක් හෝල්වල පෙන්වන්න පටන් ගත්තා. මම වේයන්ගොඩ සීගිරි හෝල් එකේදි තමයි' මුලින්ම මහත්තයාගේ මුල්ම චිත්‍රපටය නැරඹුවේ. එදා අපේ ගෙදර හැමෝම චිත්‍රපටය බලන්න ගියා. මම ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මැදගම්පිටිය ප්‍රදේශයේ. * චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා ඔබ කොයි ආකාරයෙන්වත් දායක වුණේ නැද්ද?දායක වුණා. චිත්‍රපට, ටෙලි නාට්‍යවලට නළු නිළියන් තේරීමේදී මම මහත්තයාට උදවු කළා. චිත්‍රපට ෂූටිං කරන කොට මුලදි මුලදී මම ගොඩක් ලෝකේෂන්වලටත් ගිහින් මහත්තයාට උදවු කළ අවස්ථා තිබුණා. චූඩාමාණික්‍ය චිිත්රපටයට වසන්ති චතුරානිව යෝජනා කළේ මම. * කවදාවත් ඔබවත්, දරුවන්වත් ඔහුගේ නිර්මාණවලට රංගනයෙන් එක් කරගන්න ආරාධනා කළේ නැද්ද?මට නම් නැහැ. මගේ දරුවෝ තුන් දෙනා නම් ගුරු ගෙදර චිත්‍රපටයේ නම් රඟපෑවා. * සිංහල සිනමාවේ මැද මාවතේ සිනමාකරුවකු ලෙස ප්රකටව සිටි විජය ධර්ම ශ්‍රී හැම විටම තමන්ගේ නිර්මාණයක් හරහා නවකයන් කලාවට හඳුන්වා දෙන්න උත්සාහ කළා නේද?එයා බොහොම ආශාවෙන් කළ එක දෙයක් තමයි අලුත් කෙනෙක් කලාවට හඳුන්වලා දෙන එක. එයාගේ බොහෝ චිත්‍රපට, ටෙලි නාට්‍යවල මේ නවක පිරිසේ හඳුන්වාදීම සිද්ධ කළා. * සිනමාවට ගායනයට ඒ වගේ හඳුන්වලා දුන් පුද්ගලයෝ අද තරු ගොන්නේ බැබලෙන පුද්ගලයෝ නේද?ඒ වගේ අය ගොඩක් ඉන්නවා. සිටු කුමරියෝ චිත්‍රපටය හරහා එයා සනත් ගුණතිලකව සිනමාවට හඳුන්වලා දුන්නා. දුහුළු මලක් චිත්රපටය් බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතය හරහා අබේවර්ධන බාලසූරිය චිත්‍රපට පසුබිම් ගායනයට හඳුන්වලා දුන්නා. චාරුලතා ටෙලි නාට්‍ය හරහා කීර්ති පැක්කුවල්, දීපිකා සන්දනායක කලාවට හඳුන්වලා දුන්නා. ගුරු ගෙදර චිත්‍රපටය හරහා යශෝධා විමලධර්ම, ජගත් චමිල සිනමාවට හඳුන්වලා දුන්නා. ඔය වගේ ගොඩක් පිරිස් වෙත මහත්තයා බොහොම ආශාවෙන් අත හිත දුන්නා. භාග්‍යා ටෙලි නාට්‍ය හරහා රන්ජන් රාමනායක ද හඳුනාවා දුන්නා. * ධර්ම ශ්‍රී මිය යන කොට ඔහු අවසන් වරට නිර්මාණය කළ ක්ෂේම භූමි චිත්‍රපටය තිරගත වී තිබුණේ නෑ නේද?ඒ චිත්‍රපටය පසු කලෙක සිනමා ශාලාවල පෙන්නුවා. එයා නිර්මාණය කළ චිත්‍රපටවලින් එයාට නරඹන්න බැරිවුණු එකම චිත්‍රපටය ක්ෂේම භූමි විතරයි. * ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් හිමගිර ඔහුගේම නිෂ්පාදනයක් නේද? අද කෝ හිමගිර චිත්‍රපටය?ඒක මම තිස්ස නාගොඩවිතාන මහතාට වික්කා. එයා ළඟ ඒ චිත්‍රපටය තියෙනවා. මහත්තයා කළ චිත්‍රපට සියල්ලම වගේ තිස්ස නාගොඩවිතාන ළඟ සුරැකිව තියෙනවා. * ඔහුගේ නිර්මාණ ගොන්නෙත් ඔබ වඩාත් ආශාවක් දක්වන්නේ මොන යම් නිර්මාණ වෙත?ගුරු ගෙදර, ආරාධනා චිත්‍රපට දෙකට. * ආරාධනා චිත්‍රපටයේ නම ඔබගේ යෝජනාවක්ද?ඔව්. මුලින්ම චිත්‍රපටයේ සිංදු රෙකෝඩ් කළා. ඒ වෙන කොට චිත්‍රපටයට නමක් දාලා තිබුණෙ නැහැ. චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන ආරාධනා ගීතය ඇහුවට පස්සේ මට හිතුණා ආරාධනා කියල නම දැම්මොත් හොඳයි කියලා. මම ඒ අදහස මහත්තයාට කිව්වා. එයත් ඒක අනුමත කළා. චිත්‍රපටයත් හොඳට ජනප්‍රිය වුණා. * ගුරු ගෙදර චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කොට නිර්මාණය වූවක් නොවේද?මහත්තයාගේ කතා සංකල්පයක් අනුව තමයි තිස්ස අබේසේකර චිත්‍රපටයේ පිටපත රචනා කළේ. කැලණිය කිරිබත්ගොඩ ඊරියවැටිය ගමේ සිදු වෙච්ච සත්‍ය සිද්ධියක් පදනම් කොට තමයි ගුරු ගෙදර චිත්‍රපටය නිර්මාණය කළේ. * සිනමාවට වගේම පුංචි තිරයටත් ඔබේ ස්වාමියා ජනප්‍රිය නිර්මාණ රැසක් දායාද කළා?කස්තිරම, සමන්තැන්න, භාග්‍යා, රන් දොරටුව, ඉරබට තරුවක්, අපේ කාලයේ ගැහැනියක්, ඉරා අඳුරු පට, රිදී රේඛාව, දයාබර නිලංකා, චාරුලතා ආදී ටෙලි නාට්‍ය රැසක් ඒකාංගික වගේම ප්රසාංගික නාට්‍ය ලෙසත් නිර්මාණය කළා. රට පුරා ජනප්‍රිය වූ ආජු තපර ලාහිලා ගීතය එදා මුලින්ම එළි දුටුවේ භාග්‍යා ටෙලි නාට්‍ය හරහා. * එදා ඔබේ ස්වාමියා කලාවට හඳුන්වා දුන් අය අද ඔබේ ස්වාමි පුරුෂයා ජීවතුන් අතර නැතත් ඔබලාට නිතර කතාබහ කරනවාද?කතා නොකරන්නේ ඒ අයට විවේකයක් නැතුව ඇති. * ඔබේ ස්වාමියාගේ ගෝලයෙක් අන්තිමට ඔබේ බෑණා බවට පත් වුණා.ජගත් චමිල ඉස්කෝලේ යන ළමයෙක් කාලේ තමයි මහත්තයාගේ කස්තිරම, යොමා නුවන්, ගුරු ගෙදර නිර්මාණ සඳහා රංගනයෙන් දායක වෙන්නේ. අපේ ගෙදර නිතර එනවා යනවා. මහත්තයාට වුණත් මාස්ටර් කියලා තමයි කතා කළේ. කොහොම හරි මහත්තයා නැති වෙන කොට මගේ දරුවෝ ඉස්කෝලේ යනවා. පෙන්ෂන් එක මට ලැබුණ නිසා මම දරුවන්ට හොඳට ඉගැන්නුවා. දුවත් ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ ජගත් චමිල අපේ දුව ගැන අහලා විවාහ යෝජනාවක් ගෙනවා. කාලෙක ඉඳලා අපිත් දන්න කියන කෙනෙක් නිසා අපිත් ඒ යෝජනාවට ආශිර්වාද කළා. * මීට වසර විසි එකකට පෙර නොවැම්බර් දහ අට වෙනිදා දවස ඔබට මතකද?එදා තමයි මහත්තයා අපෙන් සදහටම වෙන් වෙන දවස. එයාට හෘදයාබාධයක් තියෙනවා කියලා දොස්තරලා දන්වලා තිබුණ නිසා ජයවර්ධන පුර රෝහලේදී හෘද සැත්කමක් සිද්ධ කළා. ඒ වෙන කොට එයාගේ වසස අවුරුදු පනස් අටයි. අපිත් එක්ක හොඳින් විනීදයෙන් ඉඳිමින් තමයි හිටියේ. අපි හැමෝම එක්ක රෝහලට ගියේ වෛද්‍යවරුන්ගේ නිර්්දේශය නිසාම තමයි ඔපරේෂන් එකට ගියෙත්. කොහොම හරි එයා ඔපරේෂන් එකෙන් පස්සේ සිහිය නොලබාම අපෙන් සමුගත්තා. එයා මට ලැබුණු හොඳ කෙනෙක්. එයා නැති වෙලා ගෙවන මේ විසි එක් වසර පුරවාටත් මම සිහිපත් කරන්නේ එයාගේ ගුණ යහපත්කම. |