වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

‘පලංචිය’ මංගල දර්ශනය 29 වැනි දා පිළියන්දල දී...

හෙක්ටර් විජේකෝන්ගේ ‘පලංචිය’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මෙම 29 වැනිදා සවස 3. 30 සහ 6. 30 පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගතවේ.

රින්ස්ලි වීරරත්න, රූපා ගෝමස්, ගුණදාස කටුවාවල, සිරිමෙවන් ගුණතිලක, මහේන්ද්‍ර විජේරත්න, වසන්ති සෙනරත්, මානෙල් වීරසිංහ, රංජිත් විතාරණ, එච්. එම්. සෝමරත්න, සරත් කුමාර, ප්‍රේමසිරි දිසානායක, පි‍්‍රයන්ති මංගලිකා ඇතුළු නළු, නිළි පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්‍ෂණයකි. සංගීත නිර්මාණයෙන් විජේසිරි ගෝවින්ද, සරත් හෙට්ටිආරච්චි, වසන්ත කුමාර, සඳුන් දිල්රුක්‍ෂ ද, අංග රචනයෙන් එම්. බණ්ඩාර ද, පසුබිම් සංගීතය පටිගත කිරීමෙන් සමීර වීරසිංහ ද, රංගාලෝකයෙන් වසන්ත කුමාර ද දායක වන මෙහි කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය හෙක්ටර් විජේකෝන් ගෙනි.

ඇන්ටන් ජෝන්ස් ඇතුළු කලාකරුවෝ රැසකට උපහාර පිදෙති

සමස්ත ලංකා මැද පෙරදිග සේවා සංවිධානය හංවැල්ල ශාඛාව සංවිධානය කරන ජ්‍යෙෂ්ඨ කලකරුවෝ රැසකට උපහාර පිදීම ලබන 29 වැනිදා කඩුවෙල මහනගර සභා ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් වෙනුවෙන් උපහාර දක්වමින් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, විශාරද දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, විශාරද සවර්ණලතා කවීශ්වර, රූපා ඉන්දුමතී, ටී. එම්. ජයරත්න, දයාරත්න පෙරේරා, ශ්‍රීමතී තිලකරත්න, විජේසුන්දර වේරගොඩ, එස්. එච්. පද්මකුමාර, වාද බයිලා ශිල්පී ඇන්ටන් මිහිඳුකුල, කපිල බාලසූරිය, කටුනායක රමේෂ් කුමාර, බී. එම්. පියනන්ද (හින්දි ගායක), සරත් ගලප්පත්ති යන ශිල්පී, ශිල්පිනියන් කලාවෙන් මෙරටට කළ සේවය අගයා උපහාර පිදීමට නියමිතය.

බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් ඇගයීම වෙනුවෙන් නිහාල් නෙල්සන්, වෝල්ටර් ප්‍රනාන්දු, ධනපාල උඩවත්ත, සුජීව ප්‍රනාන්දු, සමන් ද සිල්වා, මයිකල් පෙරේරා ඇතුළු පිරිසක් ඔහු ගැයූ ගී ගයමින් මෙම උපහාර උලෙළට සම්බන්ධ වෙති. මෙම සංගීත රාත්‍රිය නොමිලයේ පැවැත්වෙන බව සංවිධායක කමිටුව දන්වා සිටියි.

බැංග්ලෝර් ළමා සිනමා උලෙළේ ජූරියේ සභාපති ධූරය සෝමරත්නට

ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැත්වෙන දස වැනි අන්තර් ජාතික බැංගලෝර් ළමා සිනමා උලෙළේ ජූරියේ සභාපති ධූරය සඳහා සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකට ඇරැයුම් ලැබ සිටියි. මෙම මස 22 වැනිදා ආරම්භ වූ මෙම සිනමා උලෙළ හෙටින් අවසන් වන අතර ලෝකයේ විවිධ රටවලින් තෝරා ගත් සිනමා කෘතීන් රැසක් තරඟකාරි අංශය යටතේ මේ වන විටත් ප්‍රදර්ශනය වෙමින් පවතියි.

2006 වසරේදී මෙම සිනමා උලෙළේදී සෝමරත්න විසින් නිර්මාණය කරන ලද සමනළ තටු සිනමා කෘතිය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. අන්තර් ජාතික සම්මාන තිස් හතරකින් පිදුම් ලබා ඇති සෝමරත්න දිසානායක මෙරට වැඩිම ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයා වේ.

ප්‍රේමය නම් අන්තර් ජාතික සිනමා උලෙළ ත්‍රිත්වයකට

වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ යන දෙසොහොයුරෝ අධ්‍යක්ෂණය කළ ප්‍රේමය නම් සිනමා කෘතිය ඉන්දියාවේ අන්තර්ජාතික සිනමා උලෙළයන් ත්‍රිත්වයක් නියෝජනය කිරීමට තේරී පත් වී ඇත. ඒ ගෝව අන්තර්ජාතික සිනමා උලෙළ, කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ සහ දිල්ලි අන්තර්ජාතික සිනමා උලෙළයන්ය. ගෝව සිනමා උලෙළ මේ දිනවල පැවැත්වෙන අතර කේරළ සිනමා උලෙළ දෙසැම්බර් 02 වැනිදා සහ දිල්ලි සම්මාන උලෙළ දෙසැම්’බර් මස දෙවැනි සතියේ ඇරැඹීමට නියමිතය.

ශ්‍යාමි ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංග රණවක, විශේෂඥ වෛද්‍ය සතිස් විජේමාන්න ප්‍රේමය නම් හි ප්‍රධාන චරිත මවති.

සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ ප්‍රේමය නම් සිනමාපටය ඔස්සේ ආදරය මඟින් සිත් සුවපත් කළ හැකි බව පසක් කර දේ.

මෙය කල්පන ආරියවංශ, ප්‍රේම් දිසානායක, අතුල මාවලගේ සහ සුජීව විජේසිංහගේ නිෂ්පාදනයකි.

ටෙලි නිර්මාණවේදී වතට තොරතුරු ඕනෑ

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) මඟින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන මෙරට සියලු කලාකරුවන්ගේ දුරකථන අංක සහ ලිපින නාමාවලිය වන ‘ටෙලි නිර්මාණවේදී වත’ 2016 වර්ෂයේදී ද ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කොට ඇත.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නිර්මාණ සහ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණ, කාර්මික, රංගන, සංගීත අධ්‍යක්ෂ, ගීත රචක, නිවේදක විචාරක සහ මාධ්‍යවේදී, ජූරි සභික ඇතුළු ක්ෂේත්‍රයන්ට සම්බන්ධ සියලු ශිල්පීන්ගේ ද සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයන ආයතනවල නමත්, දුරකතන අංක සහ ලිපිනයන් අංශ 23 ක් යටතේ මෙම නාමාවලියට ඇතුළත් වේ.

ක්ෂේත්‍රයට සම්බන්ධ ඔබේ හෝ ඔබ ආයතනයේ තොරතුරු නොමිලයේ මෙම නාමාවලියට ඇතුළත් කර ගැනීම සඳහා නියුතු කෂේත්‍රය, නම, ලිපිනය, දුරකතන අංකය සහ ඊමේල් ලිපි’නය සඳහන් කොට ප්‍රධාන ලේකම්, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය, අංක 131 ඒ, පාගොඩ පාර, පිටකෝට්ටේ යන ලිපි’නයට යොමු කරන ලෙස ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ඉල්ලීමක් කර සිටියි.

ප්‍රථම වරට මේ සඳහා තොරතුරු ඉදිරිපත් කිරීමේදී තමා නියුතු ක්ෂේත්‍රය පිළිබඳ තොරතුරු ඇතුළත් කෙටි හැඳින්වීමක් එවීමට ද කටයුතු කරන ලෙස ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වැඩිදුරටත් දන්වා ඇත. තොරතුරු යොමු කිරිමේ ආකෘතිය, ටෙලිනිස නිල වෙබ් අඩවිය ඹඹඹ.බඥතඥදඪඵචත.ධපඤ වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

උදාරිගේ කලඑළි මංගල්‍යය 18 වැනිදා

මහනුවර මහමායා බාලිකාවේ ඉගෙනුම ලබන උදරි සත්සරණි සමරසිංහගේ භරත නාට්‍යම් අරංගේත්‍රම් කළඑළි මංගල්‍යය මෙම මස 28 වැනිදා එනම් එන සෙනසුරාදා සවස 3.30 ට මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. ඇය මහනුවර යසස් ශ්‍රී රංග කලා ආයතනයේ අධිපතිනි රුක්මා බටුවිටගේ ශිෂ්‍යාවකි. ඩේමියන් සමරසිංහගේ සහ රම්‍යා රත්නායකගේ කණිටු දියණිය වන ඇය බාල වියේ සිටම නර්තනයට සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කොට ඇත.

උදාරිගේ මෙම කළඑළි මංගල්‍යය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රවාහන සහ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සහභාගි වන අතර සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, රැජින සෙල්වනායගම්, කීර්ති පැස්කුවල්, ජනනාත් වරකාගොඩ සහ සුරාජ් මාපා ඇතුළු සම්භාව්‍ය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

ශ්‍රීමත්ගේ නිර්මාණ ජනමාධ්‍ය ඇමතිතුමාට පිළිගන්වයි

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගේ නිර්මාණ කිහිපයක් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට පිළිගැන්වීය.

සිනමා සක්විති ගාමිණී - ශ්‍රීමත් සුසංයෝගය, නිමල් මෙන්ඩිස් සංවාද, අමරණීය ජෝ, රටක් හෙල්ලූ යකඩයා යන ඩී. වී. ඩී. මෙන්ම ආකස්මිත ආදරය, ප්‍රභාෂ්වර ජීවිතය, පත්තර මහගෙදර දශක දෙකක මතකය ඇතුළු ග්‍රන්ථ ද ඒ අතර වේ.

ඉන්දිකගේ නාට්‍යය 28, 29 දෙදින

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘සිඤ්ඤෝ මහතාගේ වැලැක්විය නොහැකි වූ නැඟීම’ මෙම මස 28 සහ 29 වැනිදා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේදී වේදිකා ගත වේ. සෞම්‍ය ලියනගේ, ස්ටෙෆාන් තිිරිමාන්න, සේවියර් කනිෂ්ක, ජිතේන්ද්‍ර විද්‍යාපති, අනසුයා සුබසිංහ, නිපුනි ශාරදා, කසුනි ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

රන්වල බලකායේ රන් සලකුණ 27 වැනිදා

ලයනල් රන්වල සූරින්ගේ හැත්තෑ හය වැනි ජන්ම දිනය නිමිත කර ගනිමින් රන්වල බලකායේ රන් සලකුණ විශේෂ දැක්මක් මෙම මස 27 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලවේදී පැවැත්වෙයි. මෙහිදී රන්වලයන්ගේ ගුණ සැමරුමක් ද සිදු කරන අතර රන්වල පදනම වෙනුවෙන් ගීත රචනා කළ ගීත රචකයින් 17 දෙනෙකුට උපහාර පිදීමට නියමිතය. ප්‍රසංගයේ පළමු අදියර ලයනල් රංවල සූරින්ගේ ගීතවලින් සමන්විත අතර එහි දෙවැනි භාගය වෙන් වනුයේ රංවල බලකායේ නව නිර්මාණ වෙනුවෙනි. ප්‍රදීප් මුතුකුඩආරච්චි සමඟ ප්‍රසාද් කුලසිංහ රන් සලකුණ රංග වින්‍යාසය කොට තිබේ.

මෙය යුද හමුදා පොලීසියේ සේවා වනිතා ඒකකයේ සංවිධානයකි.

රජවත්ත හි පළමු අදියරේ රූගත කිරීම් නිමයි

සුමිත් ගල්හේනගේ නවතම ටෙලි සිතුවම වන රජවත්ත හි පළමු අදියරේ රූගත කිරීම් පසුගියදා නිම විය. එය ළඟදීම විකාශය වීමට නියමිතය. අයිරාංගනී සේරසිංහ, ක්ලිටස් මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, ගයේෂා පෙරේරා, උමයංගනා වික්‍රමසිංහ, චන්දික නානායක්කාර, සුසිලා කෝට්ටගේ, සම්පත් ජයවීර, සරත් චන්ද්‍රසිරි, චංචලා වර්ණසූරිය, ලසන්ත උඩුකුඹුර, නිලන්ති විජේසිංහ, දමිතා සළුවඩන, කුමුදුනී අධිකාරී, නිරෝෂා මෛත්‍රී, ඩිලානි නිකහැටිය, අවන්ති පෙරේරා, අදීශ කාංචන ආදීහු රංගනයෙන් දායක වෙති.

රජවත්ත ශ්‍රීනාත් චම්පික පෙරේරාගේ නිෂ්පාදනයකි.

සංජීව සමරවීර මෙය නිෂ්පාදනය කොට ඇත.

කලාකරුවෝ තිදෙනෙක් රෝගාතුර වෙති

අප කලාකරුවන් තිදෙනෙකු හදිසියේම රෝගී වී ඇති බව සරසවියට වාර්තා විය. ඒ සුසිලා කෝට්ටගේ, දමිතා සළුවඩන සහ සිනමා අධ්‍යක්ෂ නිශාන්ත ද අල්විස් වේ. සුසිලා හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කෙරිණ. ඇයට සැත්කමක් සිදු කරන ලදී. ඇය මේ වන විට විවේක සුවයෙන් පසු වෙයි. දමිතා සහ නිශාන්ත මේ වන විට රෝගාතුරව නිවසෙහි කාලය ගත කරයි. ඔවුන් තිදෙනාම මේ වන විට කලා කටයුතුවලින් බැහැරව සිටියි. සුසිලා, දමිතා සහ නිශාන්ත පිළිබඳ ලිපි ඉදිරි සරසවිය කලාපයන්ගෙන් බලාපොරොත්තු වන්න.

සැඳෑ සමය ගෙවන අසරණ කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක්

කලක් කලා ලොව ජය කෙහෙළි නංවා රටක් පින වූ එහෙත් ජීවිතයේ සැඳෑසමය දුෂ්කරව ගෙවන කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට පසුගිය අයවැය මඟින් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහළොවක් රජය මඟින් වෙන් කොට ඇත. එමෙන්ම රූපවාහිනියේ විකාශය කරන දෙමළ,ඉංග්‍රීසි ටෙලි නාට්‍ය සහ චිත්‍රපට බදු ගාස්තුවලින් නිදහස් කොට ඇත. එමෙන්ම එම භාෂාවන්හි වෙළෙඳ දැන්වීම්වලද බදු මුදල් නිදහස් කොට තිබේ.


විදෙස් ටෙලි රැල්ලට එරෙහි වීම කතිකාව 31 දා

මේ වන විට සියලු රූපවාහිනී නාළිකාවන් ආක්‍රමණය කරමින් සිටින ඉන්දීය සහ කොරියානු නාට්‍ය රැල්ලට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳ කතිකාවතක් ගොඩ නැඟීම සඳහා විශේෂ රැස්වීමක් මෙම මස 31 වැනිදා උදෑසන 10 ට බොරැල්ල සුදර්ශී ආයතනයේදී පැවැත්වෙන බව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සහ මෙහි කැඳවුම්කරු ජනක චමින්ද අත්තනායක සරසවියට දන්වා සිටියි. මේ සඳහා ක්ෂේත්‍රයේ දැනට සක්‍රීයව කටයුතු කරන සියලු කලාකරුවන්ට පැමිණෙන්නට ඔහු විවෘත ආරධනාවක් කරයි.