|
රොනී-රොඩ්නි මංකොල්ල කනවා යැයි කාන්තාවක් ඇත්තටම බයවෙලා
'ජීවිතේ විඳිමු, ලත වෙන්න 'රොක් ඇන්ඩ් රෝල් ෆිනිෂ් දැන් වර්ණවත් විදුලි බුබුළු සමඟ එළි දහරා දර්ශන තලය පුරා විහිද ඇත. රාත්‍රී සමාජ ශාලාවක තරුණ තරුණියන් උමතුවෙන් රැඟුම් රඟන්නේ බාහිර ලෝකයේ වන කිසිදු දෙයක් ගැන නොදැනය. ඔවුන් හොඳ හැටි මී විතෙන් සප්පායම් වී ඇත. මේ සමාජ ශාලාවේ ප්‍රධාන නළඟන නීලාය. ඇයගේ රැඟුම පමණක් නොව නර්තනය ද සැමගේ හැඟීම් උද්දීපනය කරයිි. මේ අරුම පුදුම ලෝකය අද තරුණ තරුණියන්ගේ නවීනතම විලාසිතාව බවට පත්ව ඇත. මේ නිසාම බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත අකාලයේ මත් ද්‍රව්‍ය රකුසා විසින් බිඳ දමා හමාරය. සති දෙකක් . . . සති දෙකක් ඇතුළත මේ මත් ද්‍රව්‍ය උවදුර මේ රටින් තුරන් කරන්න මේ රටේ තරුණ පරපුර ජාති භේදයකින් තොරව බේරා ගන්න. . . ඒ රටේ ඉහළම නියමය ඉදිරියේ උසස් පොලිස් නිලධාරියා සිය දුක් ගැහැට අනාවරණය කරයි. සර් . . . අපි මේ කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නීතියේ රැහැනට අල්ල ගත්තම ප්‍රබල ඇමැතිවරුන් එනවා අපට බලපෑම් කරන්න. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ට යටත් වුණ කාලේ ඉවරයි. තවත් මැකෝ කෙනෙක් වෙන්න. ඕනෑම ප්‍රශ්නයකදී මම ඉන්නවා. මගේ දේශපාලන ජීවිතය කවදාවත් කුඩු එතනෝල් කාරයන්ගේ කළු සල්ලිවලින් ගොඩනැඟිලා නැහැ. ඒ හින්දා සති දෙකක් ඇතුළත මේ උවදුර මේ රටින් තුරන් කරන්න. පොලිස් නිලධාරියා ස්වාධීන රාජ්‍ය නිලධාරියකු වෙයි. ඔහු මේ සඳහා සිය කාලය මිඩංගු කරනුයේ රටේ ජීවනාලිය බඳු තරුණ පරපුර වෙනුවෙනි. මේ කතා පුවත එනුයේ 'මැද පොඩ්ඩක් පැත්තක් නැහැ' චිත්‍රපටය නිර්මාණ්ය කළ කල්‍යාණ චන්ද්‍රසේකරගේ දෙවන සිනමා නිර්මාණ්ය වන 'නටන් නැතිව දින්නා' චිත්‍රපටයේය. නිර්මාණ වගතුග සරසවිය පාඨකයන්ට හෙළි කිරීම සඳහාම අපි ඔහුගේ දර්ශන තලයට ගියෙමු. ඒ වන විටත් කුඩු ජාවාරම්කාරයන් අතර සිටින තෝරා වන නිශාන් පොරපිටිය සිය සහචරයන් සහ නීලාට සිය අණසක පතුරුවමින් සිටියි. කළු විජේ බිස්නස් එකට බැහැලා. කොහොම හරි අද එන බඩු තොගේ පන්න ගන්න ඕනේ. කළු විජේ නෙමෙයි මොන ජගතා ආවත් මේ නිශාන් පොරපිටියට චැලේන්ජ් කරන්න බැහැ. සහකරුවන් අසා සිටිද්දී නිශාන් නීලාට තමන් දෙසට ඇද ගනියි. 'නේද නීලා ඩාලින්' . . .' කට් . . . කට් . . . ඒ සැනින් දර්ශනය නිමා වෙයි. ආලෝක පද්ධතීන් නිවා දැමෙයි. මෙතෙක් නිශාන් ලෙස අපූරු රංගනයක යෙදුණ රොෂාන් පිලපිටිය සහ මාධි පණ්ඩිතරත්න අප හා කතාව එක් වෙති. මේක කාලෝචිත තේමාවක්. මේ වගේ තේමාවකින් ප්‍රේක්ෂකයාට හොඳ රසාස්වාදයක් දෙන ගමන් මේ මත් ද්‍රව්‍ය උවදුර ගැන සමාජය දැනුම්වත් කරමින් කරන 'නටන් නැතිව දින්නා' හොඳ නිර්මාණයක් වේවි. ඒ නිශාන් හෙවත් රොෂාන් පිලපිටියගේ අදහස්ය. අප නීලා හෙවත් මාධි පණ්ඩිතරත්නගෙන් නීලා ගැන ඇසුවෙමු. මේක මගේ දෙවන නිර්මාණය. මෙහි නීලා කියන චරිතය මට ටිකක් ආගන්තුකයි. විශේෂයෙන් සමාජය මේ චරිතය දිහා වපර ඇසින් බලන්න පුළුවන්. ඒත් මම අධ්යක්ෂවරයා පිළිබඳව තියෙන විශ්වාසය නිසා මම මේ චරිතය රඟපාන්න ඉදිරිපත් වුණා. මම හිතනවා මේ නීලා චරිතය මගේ රංගන ජීවිතයේ විශාල වෙනසක් කරයි කියලා. මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජය මේ මත් ද්‍රව්‍ය උවදුර තුරන් කරලීම සඳහා වැඩ පිළිවෙළක් අරඹා ඇත. ඔහු මේ සඳහා යොදා ගන්නේ පාතාලයට සම්බන්ධ පොඩි සොර දෙටුවෙකි. ඒ කියන්නේ තෝරෙක් අල්ලා ගැනීමට සංජය විසින් හාල්මැස්සෙකු ඉත්තෙකු කර ගැනීමයි. ඔහු වීරාය. වීරා පොඩි පොඩි සොරකම් කරමින් ජීවිකාව ගත කරන්නෙකි. ඔහුගේ සොරකම් මැරකම් දන්නා සංජය වීරාට තර්ජනය කරන්නේ මේ නිශාන් පොරපිටිය අල්ලා ගැනීම සඳහා පොලිස් ඔත්තුකරුවකු කර ගැනීමටය. මේ වැඩේ හරියට කරනවා නම් මම වීරාගේ කලින් වැරදිවලට සමාව අරන් දෙනවා. වීරා අද ඉඳලා මම පොලිස් ඔත්තුකරුවකු කර ගන්නවා. වීරා මේ නිසා මහත් සතුටට පත් වේ. මාව පොලිස් කරනවා . . . . ආයිෂ් ගුණ්ඩු කරමු ද . . . රණ්ඩු . . . නැහැ . . . නැහැ . . . සර් . . . මාව පොලිස් කරනවා නම් මම සර් කියන ඕනෑම දෙයක් කරන්නම්. ඔහු සිය අතීත කතාව පොලිස් පරීක්ෂක සංජයට පවසයි. මම ඒ ලෙවල් ඉවර කරලා පොලීසියට බැඳෙන්න ගියාම මගේ උස අඟලක් අඩුයි කියලා මාව බඳවා ගත්තේ නැහැ සර් . . . හරි වීරා එහෙනම් අද ඉඳලා වීරා නෙමෙයි සිරා. ඒ අනුව වීරා එතැන් පටන් සිරා වෙයි. ඔහු නිශාන් පොරපිටිය හඹා යෑමට පටන් ගනියි. නටන් නැතිව දින්නා චිත්‍රපටයේ වීරා හෙවත් සිරා ලෙස රඟනුයේ නව පරපුරේ මහත් කතාබහට ලක්ව ඇති බින්දු බෝතලේගමය. මෙය ද ඔහු ප්‍රධාන චරිත රංගනයක යෙදෙන දෙවන චිත්‍රපටයයි. වීරා හෙවත් සිරා සිය සහචරයන් වන ආයිෂ් සහ ගුණ්ඩුටද මේ රහස හෙළි නොකරති. සිරා සිය කූට ඥානය තුළින් නිශාන් පොරපිටියට සමීප වෙයි. එහි ප්‍රතිඵලය නිශාන් විසින් නීලාව සිරාට හඳුන්වා දීමයි. එතරම් නිශාන් සිරා ගැන පැහැදී ඇත. නිශාන් පසුපස හඹා යන සිරා නීලා සමඟ සමීප වේ. ඒ සඳහා සිරාට නිශාන්ගේ ආශිර්වාදය ද හිමිව ඇත. මේ නිසාම සිරා නීලා සමඟ මීදුම් කඳුකරයේ සීත අරණක තනි වී මෙලෙස ප්‍රේමාන්විත රංගනයක නිරත වෙයි. පාවී සීත කඳුයායේ ගීතිකාවෝ රාව නැංවේ යෞවනයේ පෙම් සිත් යාවී . . . මේ අතර සිරා වීරා ලෙස ගත කරන කාලයේ දර්ශනයක් රූපගත කිරීමට චිත්‍රපට කණ්ඩායම යුහුසුලු වෙයි. ඒ වීරා ආයිෂ් සහ ගුණ්ඩු සමඟ එක් වී රත්තරන් බඩු කඩයක් මංකොල්ල කන දර්ශනයකි. ආයිෂ් සහ ගුණ්ඩු බොරු පොලිස් නිලධාරීන් ලෙස වෙස් ගෙන ඇත. ඔවුන් වීරාට පහර දෙයි. පෙන්නපිය හොර බඩු . . . වීරා සමඟ පොලිස් නිලධාරීන් එන බව දකින මුදලාලි (මිලින්ද පෙරේරා) සමඟ සිටින සේවකයා වන ප්‍රේමේ හොඳ හැටි බිය වේ. ප්‍රේමේ ලෙස ප්‍රවීණ විකට නළු රොඩ්නි වර්ණකුල රංගනයේ නිරතව සිටියි. මම කිව්වා . . . මම කිව්වා මේ මුදලාලියට මාල සිරාගේ හොර බඩු ගන්න එපා කියලා. අනේ මට නම් පොලීසි යන්න බැහැ . . . එහනම් පෙන්නපිය හොර බඩු . . . දඹ රන් . . . දඹ රන් . . . දඹ රන් . . . දඹ රන් ප්‍රේමේ මුදලාලිගේ හොරට ගත් රත්තරන් බඩු සියල්ල ගුන්ඩු අතට පත් කරයි. රොඩ්නි, මිලින්ද රොනී ලීච් සමඟ තුලිත කරන මේ රංගනය චිත්‍රපට ජවනිකාවක් බව නොදැන ජාඇල සමරතුංග ජුවලර්ස් ඉදිරිපිට සිටින කාන්තාවක් විලාප නඟමින් සිය මාලය සඟවා ගෙන දිව යනුයේ සොරුන්ගෙන් බේරීමටය. මෙය දකින රොඩ්නි, රොනී ඇතුළු චිත්‍රපට කණ්ඩායමට සිනහා පහළ වේ. වීරා ආයිෂ් සහ ගුණ්ඩු රඟන ජවනිකාවක් රූපගත කරනු ලැබුවේ ජාඇල ගුරුගේ පාර්ක්හිදීය. මේ සඳහා දේශශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා දැක් වූ අනුග්‍රහය සුවිශාලය. 'නටන් නැතිව දින්නා' චිත්‍රපටයේ බින්දු බෝතලේගම ද, මාධි පණ්ඩිතරත්න ද, රොෂාන් පිලපිටිය ද, රොඩ්නි වර්ණකුල ද, රොනී ලීච් ද, තුලිත වෛද්‍යකීර්ති ද, මිලින්ද පෙරේරා , දේවින්ද මාර්ක්ස්, ක්ලීටස් මෙන්ඩිස් ද රඟන අතර සෙසු චරිත රංගනය හැරී විමලසේන, ආරියසේන ගමගේ, ජගත් ඇපලදෙණිය, රුවන් අමරසේකර, රූපා ගෝමස්, නිරෝෂන් පාරිස්ටර්, දයාසිරි හෙට්ටිආරච්චි සමඟ භාතිය මදනායක ද රංගනයේ නිරත වේ. 'මැද පොඩ්ඩක් පැත්තක් නෑ' නිෂ්පාදනය කළ ඒ. පාරිස්ටර් නීරෝ එන්ටර්ටේන්ට්මන්ට් වෙනුවෙන් 'නටන් නැතිව දින්නා' නිෂ්පාදනය කරයි. ජින්ජර් වයිට්, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, ප්‍රභාත් කැලුම්, ගයාත්‍රි රාජපක්ෂ, චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් මල්ලවාරච්චි ලියූ ගීත ගායනය කරනු ලබන අතර සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණය කරයි. කැමරාකරණයෙන් අමිත් සුරංග ද, වේශ නිරූපණයෙන් ගාමිණී කොස්තා ද, ශබ්ද පරිපාලනය සහ ශබ්ද සැලසුම සරසවි චිත්‍රාගාරයේ සසිත රුවන් ගෙනි. සංස්කරණය රුවන් විසින් ද, කලා අධ්‍යක්ෂණය ප්‍රසාද් උඩුගමසූරිය විසින් ද නිර්මාණ දායකත්වය ලබා දෙන 'නටන් නැතිව දින්නා' හි නිෂ්පාදන කළමනාකරණය ගුණවර්ධන එදිරිසිංහගෙනි. සහාය අධ්‍යක්ෂණය ලලින්ද්‍ර ප්රනාන්දුයි. 'මැද පොඩ්ඩක් පැත්තක් නෑ' නිර්මාණය කළ කල්‍යාණ චන්ද්‍රසේකර තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන සිනමා නිර්මාණයයි 'නටන් නැතිව දින්නා'. |