|
මට පුරුෂයෙක් ඕනෑ- ජීවන් හඳුන්නෙත්ති කලා ක්ෂේත්රයේ සෑම අංශයකම දක්ෂතා ඇති ඔහු රටක්ම හඳුනා ගන්නේ පුංචි වීරයෝ ළමා නාට්‍යයේ ‘හනීෆා’ නැමැති මුස්ලිම් වෙළෙන්දාගේ චරිතයෙන්. කලා ලෝකයේ කා අතරත් බොහොම මිත්‍රශීලි ඔහු ජීවන් හඳුන්නෙත්ති නම් වූ අපූරු මිනිසාය. ජීවන් අයියා කොහොමද ජීවිතේ . . .? ජීවිතේ මල් තමයි. කාටවත් වෛරයක් ක්‍රෝධයක් නැතිව මගේ වැඩ කටයුතු කරගෙන පාඩුවේ ඉන්නවා. මොකද මේ දවස්වල ‘මට පුරුෂයෙක් ඕනේ’ කියලා කියව කියව යනවා කියන්නේ? ආ . . . ඒ තමයි මගේ දෙවන වේදිකා නාට්‍ය නිර්මාණය. නාට්‍යයේ නම තමයි ඉතින් ඔය. අපේ සමාජෙ සිද්ධ වෙන දේවල් බොහොම සියුම්ව හසුකරගෙන කළ නිර්මාණයක් තමයි මේ නාට්‍යය. නාට්‍ය පිටපත් රචනය රංජිත් වර්ණකුලගෙන්. රංගන ශිල්පීන් ලෙස රින්ස්ලි වීරරත්න, නිලන්ති හීන්දෙනිය, ජයන්ත අතපත්තු, උදය කුමාරි, රොෂානා ඔන්ඩච්චි සහ මම දායක වෙනවා. නර්තන නිර්මාණය නිරෝ්ෂනී හඳුන්නෙත්ති. වේදිකා නිර්මාණය රෝහණ හඳුන්නෙත්තිගෙන්. කවදාද ඉතින් මංගල දර්ශනය සිදු කරන්නේ? මේ මාසේ විසි අට වෙනිදා සවස 6.30 ට ලුම්බිණි රඟලේදී රඟදක්වනවා. එදිනට ඔබ සැමට ‘මට පුරුෂයෙක් ඕනේ’ වේදිකා නාට්‍යය නරඹන්න පුළුවන්. ඔබ කලාවට අවතීර්ණ වෙන්නේ පුංචි කාලෙම නේද? ඔව්. මගේ ගම බලපිටිය. මගේ තාත්තා හොඳ සංගීත ශිල්පියෙක්, වාදකයෙක්. ඒ වගේම මගේ අයියා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. මේ හැම දෙයක් එක්කම තමයි මම ජීවත් වූයේ. කලාව මගේ ජීවිතයට බද්ධ වෙලා තිබුණේ. පාසල් අධ්‍යාපනය හමාර කරලා 1980 මම කොළඹ ආවා. කොළඹ ඇවිත් ඉන්න කොට බන්දුල විතානගේ නාට්‍යකරුවා මුණගැහුණා. එතුමාගේ ‘වැනීසියේ වෙළෙන්දා’ නාට්‍යයෙන් තමයි මම කලාවට සම්බන්ධ වුණේ. ඉන් පස්සේ එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, ඇන්ටන් ජූඩ්, තිලක් වේහැල්ල, මහින්ද පතිරගේ මේ සියලුම දෙනාගේ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ? මගේ මුල්ම ටෙලි රංගනය බන්ධුල විතානගේ මහතාගේ ‘අත්ත බිඳෙයි’ කියන ටෙලි නාට්‍යයෙන්. හැබැයි මම ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වුණේ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ ටෙලි නාට්‍යයේ ‘හනීෆා’ ගේ චරිතයෙන්. පසුගිය සතියේත් මඟ තොටේදී මාව දැක්ක හිතවතියක් මට කතා කළේ ‘හනීෆා’ කියලා. සිනමාවට මම එකතු වෙන්නේ සුනිල්සෝම පීරිස්ගේ ‘ඉරහඳ ඉල්ලා’ කියන චිත්‍රපටයෙන්. දැනට චිත්‍රපට 40 ක විතර රංගනයෙන් දායක වුණා. වැඩ බැරි ටාසන්, අලි සුරතල්, මැතිසබයට, වන්ෂොට්, ගින්දරී, බහුබූතයෝ මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට කිහිපයක්. ඔබ හාස්‍යයට සීමා වුණු රංගන ශිල්පියෙක්ද? මෙහෙමයි, මම දායක වුණු නිර්මාණ බොහොමයකම මට ලැබුණේ හාසේයීත්පාදක චරිත. හැබැයි උදයකාන්ත වර්ණකුලසූරියගේ ‘දිය යට ගින්දර’ චිත්‍රපටයේ ‘රෝහණ’ කියන චරිතයේ හාස්‍ය පොඩ්ඩක්වත් ගෑවිලා නැහැ. ඒ වගේම හෙක්ටර් කුමාරසිංහගේ ‘අභිනික්මන’ චිත්‍රපටයෙත් බොහොම සංකීර්ණ චරිතයකට දායක වුණා. ඔබේ ගමනට සහාය දැක් වූ අය ගැනත් මතක් කරමු? මගේ බිරිඳ නිරෝෂණී හඳුන්නෙත්ති තමයි ඉතින් අංක එකට මතක් කරන්න ඕනේ. පුත් ශනිදු හඳුන්නෙත්තිත් කලාවට බොහොම අදරෙයි. ඒ වගේම මට උදව් උපකාර කළ සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා. |