|
නංගී ඔයාට බැරිද පොඩි කෑල්ලකට ඉන්ඩමානවීගේ තැතිගැන්ම හිතින් පහව ගියේ නැත. පාර දෙපස නොබලා බස් රථය දෙසට දුවන්නට යෑම තමන්ගේ වැරැද්දය. ඒ වැරැද්දට මොහොතකින් ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවනු ඇත. මුළු හන්දියේම සිටි සියල්ලෝම තමා දෙස බලා සිටිතැයි ඇයට හැඟිණ. එය නගරයක් මැද නග්නව සිටිනු වැනි හැඟීමකි. එබැවින් මානවී පසුපස නොබලා පාර පැන ගත්තාය. අනතුරුව ඇය බස් රථයට ගොඩවැදුණාය. ‘හොඳ පාරක් බේරුණේ. නංගි ඔහොම අඩ තියන්න එපා’ ඇය නැඟි බස් රියේ කොන්දොස්තර කෑගැසුවේය. ඈ කිසිත් නොකියා අසුනක වාඩි වූවාය. මුළු ටවුමම දැක්ක වගේ. නතර වූ වෑන් රථය හෙමින් හෙමින් ඉදිරියට ඇදෙනු ඇය දුටුවාය. එහි ඉදිරිපස අසුනේ සිටියේ සුජිත්ය. රියෙන් පසු කවුළුවෙන් ඔළුව දැමුවේ ජිතේන්ද්‍රය. ජිතේන්ද්‍ර දුටු බස් රියේ සිටි කිසිවකු කෑ ගෑවේය. ජිතේන්ද්‍ර එයට සිනාසුණි. ‘මොකද කොච්චි කරල අඩ තියනවද?’ ජිතේන්ද්‍රගේ හඬ බස් රියට ඇසිණ. බස් රියෙන් බැස කොහේ හෝ සැඟවෙන්නට ඇත්නම් කදිම යැයි මානවීට සිතිණ. වෑන් රථය ඉදිරියට ඇදෙනු ඇය දුටුවාය. හොඳ වෙලාවට බස් රියේ දන්නා කිසිවකු නැත. ඇය අතැති තෑගි භාණ්ඩ තද කර ගත්තාය. බස් රථය ආවේ හැල්මේ ගමනකි. ඒ තරම් කෙටි දුරක් යන්නට මේ තරම් වේලාවක් ගත්තා නම් සම්පූර්ණ මඟ ගෙවන්නට කොතරම් වේලාවක් ගනු ඇතිද? කොළඹ සිට අනුරාධපුරයට ගිය බස් රථයක් එයට පෙර පාර බදුගෙන ඉදිරියට දිව ගියේය. මානවී ගෙදරට යන තුරු ද සිටියේ තැති ගැනීමෙනි. එහෙත් පයින් යන අතරමඟ හමුවන සියල්ලටම සුපුරුදු සිනාවත පෑ ඇය සිය හැඟීම යටපත් කර ගත්තාය. මුලින්ම අත්තාටත්, දෙවනුව අත්තම්මාටත් තෑගි බෝග දුන් ඈ අම්මාගේ තෑග්ග අල්මාරියේ තැබුවාය. බැනියම අතට ගත් අත්තා එය දිග හැර බලා අත්තම්මා අතට දුන්නාය. ‘කොහේ හරි යනකොට ඇඳගෙන යන්න බැරිවයැ’ ඔහු පැවසුවේය. අනතුරුව මානවීගේ හිස අත ගෑ අත්තා ගෙයින් එළියට බැස්සේය. අත්තා සුසුමක් පිට කරන අයුරුත් කිසිවක් මුමුනන අයුරුත් ඇයට ඇසිණ. ‘උඹට මොනවද දරුවෝ ගත්තේ’ අත්තම්මා ඇසුවාය. ‘ෆෝන් එකක්’ ඈ දුරකතනය බහාලු පෙට්ටිය පෙන්වූවාය. අත්තම්මා එය අතට ගෙන පිරික්සා ආපසු දුන්නාය. ‘හොඳයිද’ ‘අනේ මං දන්නේ නෑ දරුවෝ’’ ‘අම්මා මේ පාර ගෙනත් දෙනවා කිව්වා. ඒ උණාට මං ගත්තා. දැන් අම්මට කෝල් එකක් දෙතෑකි’ මානවී පැවසුවේ සිනහවෙමිනි. ඇගේ හඬ ගේ ඇතුළ පුරා පැතිර යයි. අත්තම්මා චීත්තය රැගෙන ගෙතුළට ගියාය. මානවී දුරකතනය අතට ගෙන එය පිරික්සුවාය. කඩේ ඉලන්දාරියා දුරකතනය ගැන කළ විස්තරය ඇයට යන්තම් මතකය. දුරකතනය විකුණන අතරතුර ඈ පිළිබඳ විපරම් කරන්නට ද තරුණයා අමතක කළේ නැත. එහෙත් ඈ වැඩි විස්තරයක් කිව්වේ නැත. ‘අම්මේ’ ඈ අම්මාට කතා කළාය. ඇයගේ සතුට දෝර ගලමින් තිබිණ. සුමිත්ගේ සාප්පුවෙන් ලැබුණු මුල්ම වැටුපට කළ දේ ඈ පැවසුවාය. ‘අත්තටයි, අත්තම්මාටයි, අම්මටයි ගත්තා. අම්මා එනවා නේද?’ අම්මා කිසිවත් පැවසුවේ නැත. නිහැඬියාව ඉවසනු බැරි තැන මානවී යළි කතා කළාය. ‘මං අහගෙන ඉන්නේ. මගේ දුවට දැන් මට කතා කරන්න පුළුවන්නේ. මං හිතන් හිටියේ මේ පාර එනකොට අලුත් එකක් අරන් එන්න. දැන් ඉතින් කමක් නෑ’ ඈ අන්තිමට පැවසුවාය. අම්මා සමඟ කතාව නතර කළ මානවී කාමරයට එබුණාය. අත්තම්මා චීත්තය දිග ඇරගෙන එහි සුවඳ විඳිමින් උන්නාය. ඇය බලා සිටියේ ජනේලයෙන් ඈත පෙනෙන අනන්තය දෙසය. මානවී ඈ අසලින් වාඩි වුණාය. ‘ඇයි අත්තම්මේ’ ‘අනේ පුතේ දැන් අපිට මොකටද?’ ‘ඇයි අත්තම්මා මේ චීත්තේ හොඳ නැද්ද?’ ‘නෑ මගේ අම්මා. ගොඩක් හොඳයි. ඒ උණාට පුතේ උඹ මොකටද අපට වියදම් කරන්නේ’ මානවී අත්තම්මාගේ දෙවුරෙන් ඇද වැලඳ ගත්තාය. ‘අත්තම්මා අඬලා’ ‘නැහැ. මොන පිස්සුවටද ඒ’ අත්තම්මා තරහක් මවා ගත්තාය. මානවී උන් තැනින් නැගිට ගත්තාය. ‘මං කවදාහරි දවසක අත්තම්මාටයි අත්තටයි මෙතැන ලොකු ගෙයක් හදනවා. කාර් එකක් අරන් වන්දනාවේ එක්කන් යනවා’ අත්තම්මා සිනා මූණක් පෑවාය. ‘උඹත් අර ගෙයි ඉස්සරහා වාඩි වෙලා ඉඳගෙන මුරුංගා ගහ දිහා බලාගෙන කල්පනා කරපු මිනිහා වගේද’ ‘ඒ මොකක්ද අත්තම්මේ’ ‘ඇයි බං අහලා නැද්ද ඔන්න ගේ ඉස්සරහ මුරුංග ගහක් තියෙනවා. ඉතින් මිනිහා කල්පනා කරනවා. මුරුංගා අරං විකුණනවා. ඒ මුරුංගාවලින් එළදෙනෙක් ගන්නවා. එළදෙනගේ කිරි අරන් විකුණලා ලොරියක් ගන්නවා. ඉතින් ලොරිය ගේන කොට පාර මදි. ඒ පාර මුරුංගා ගහ කපනවා පාර හදන්න. එහෙම හිතලා ඒ ගමන්ම ගිහින් මුරුංගා ගහ කැපුවා’ ‘අත්තම්මා හිතන් ඉන්නේ මං ඒ වගේ කියලද? බලන්න මං ඔය දෙන්නව දඹදිව වන්දනාවෙත් එක්ක යන් නැද්ද කියලා’ ‘පුහ්! මගේ දුව හපනි කියලා මං දන්නවා. ඉඳපං උඹට මං තේ වතුර එකක් හදන්න’ මානවී ගේ සිහිනය ගැන අත්තම්මාට දුක හිතිණ. කෙල්ල උපන් දවසේ කේන්දරය බැලූ පසු පැවසුවේ එය බලගතු කේන්දරයක් බවය. එහෙත් එයින් පසු කිසිවක් හොඳ අතට සිදු වූයේ නැත. ‘මං යනවා කඩේ පැත්තට, අද උදේ හිටියේම නෑ’ ත්තම්මා කිසිත් පැවසුවේ නැත. ‘මං බත් උයලා තියෙන්නේ’ මානවී ගෙයින් එළියට බටුයේ අත්තම්මා අනා කැවූ දිවා අහරෙන් කුස පුරවාගෙනය. පාරට යද්දී කොලු රෑනක් දුව එනු ඈ දුටුවාය. පුරුදු පරිදි ඈ කඩයට ගොඩ වැදුණේ පසුපස දොරිනි. දොරකඩ අහුරාගෙන මෙන් සිටියේ ඈ දන්නා අයෙකු නොවේ. මේ කව්දැයි අහන්නට සිතූ ඇය කඩය ඇතුළේ වෙනදාට වඩා කිහිප දෙනෙකු සිටින වග දුටුවාය. මානවී කඩයට ඇතුළුවන්නට තැත් කරද්දී අමුත්තා ඉඩ දුන්නාය. විදුලි පහනක් කඩය ඇතුළේ සවි කෙරුණේ ඒ අතරය. ඒ තවත් කෙනෙකි. සුමිත් හා සුනීතා පසෙකට වී බලා සිටියහ. ඈ හෙමින් සීරුවේ සුනීතා ළඟට ගියාය. ‘ඇයි අක්කේ’ ‘අර එදා ආපු කට්ටිය, ටෙලි නාට්‍ය කෑල්ලකට අපේ කඩේ ගන්න බැරිද කියලා ඇහැව්වා’ මානවී එළිය බැලුවාය. සුදු පැහැති ආලෝක පුවරුවකින් වැටුණු එළිය ඇගේ මුහුණට වැටිණ. කලබලකාරයන් බොහොමයකි. ‘ආ ඔතන දාගන්න ලයිට් එක’ පොත් රාක්කයක් පැත්තකට තල්ලු කෙරිණ. ඒ මුල්ලේ විදුලි පහනක් සවි කෙරිණ. වයරයක් බිම දිගේ ඇදිණ. ‘ආ කොච්චි කරල වාහනවලටත් සෙල්ලම් දානවා නේද?’ මානවී හැරී බැලුවාය. කෙනෙකු බිත්තිය අසල පුටුවක වාඩි වී සිටිී. ඔහුගේ මුහුණ පැත්තකට වෙස් ගැන්වීමක් කරන තැනැත්තෙකි. ‘තව පොඩ්ඩෙන් අපට පොලීසි යන්න වෙන්නේ’ ඈ ජිතේන්ද්‍ර හඳුනා ගත්තාය. ‘මෙයා පැන්නා පාර ටවුමේදී, ආයේ බැලුවේවත් නෑ පැන්නා බස් එකට’ ජිතේන්ද්‍ර කියාගෙන කියාගෙන ගියේය. සුනීතා එය අසා සිටියේ ඇස් උඩ ඉන්දුවාගෙනය. සුජිත් උන්නේ කඩයේ පිටතය. ඔහුත් සමඟ තවත් තරුණයෙකි. ඔහු සුජිත්ට යමක් පැවසුවේය. ‘නංගි ඔයාට බැරි ද පොඩි කෑල්ලකට ඉන්ඩ’ සුජිත් මානවීගෙන් ඇසුවේය. අනේ, අනේ මට බෑ’ මානවී ආපසු හැරුණේ සුනීතාගෙන් පිළිසරණක් පතාය. |