|
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියෙකු දක්වන අදහස් ඇතුළත් අලුත්ම ලිපි මාලාවජීවිත කාලයක මතක අකුරු බවට පත් වෙලාවාලුකා ගැන ශාන්ති දිසානායක
“ගොවිජනපදය පිහිටුවන්ට පෙර තිබූ මහ කැලයෙන් ඇබින්දක් ඉතිරි කර ගතිමි. සැබැවින්ම කලා ඔය අසබඩ නිසසල බව බිඳ වැටෙන්නේ මෑතකදීය. කැලයත්, ගොවි ජනපදයත් පමණක් නොව කුලවත් හා කුලහීන දෙගම් ද මැදි කරගත් වාලුකා තුළ වාලුකාවන් මෙන් ම ක්ෂේම භූමි ද ඇත්දැයි දැක ගැන්ම පාඨක ඔබට පවරමි”. 2012 වසරේදී ශාන්ති දිසානායක වාලුකා ගෙන එන්නේ උක්ත පෙරවදන පෙරටුකර ගනිමිනි. සාහිත්‍යකරුවෙකුගේ කෘති අතරින් වඩාත් සිත් ගත් කෘතිය ගැන කතා කෙරෙන මං සලකුණු හිදී ඇය කතා කළේ වාලුකා ගැනය. ඒ වාලුකා ඇයට සුවිශේෂ වූ නිසාය. “මගේ නවකතා රාශිය අතුරින් වාලුකා විශේෂ වීමට හේතුව වුණේ ඒ වෙනුවෙන් මම දැරූ වෙහෙස, කාලය වගේම ඒ වෙනුවෙන් වූ අධ්‍යයනය යි. ඒ සමඟම පුංචි කාලයේ පටන් කුල හීන ජනතාව කෙරෙහි මගේ හිතේ තිබුණු බලවත් හැඟීමත් වාලුකා පොතට කැටි කර ගන්න හැකි වුණා. ඇත්තටම සමාජ ස්ථර ගණනාවක් එකට එකතු වුණු නිසා වාලුකා නවකතාව මට ගොඩක් විශේෂයි.” වාලුකා වෙනුවෙන් කතා තේමාව වන්නේ කුමක්ද? මෙහිදී මගේ මනස අතීතයට යනවා. අපේ ගමේ සැර පරුෂ කිරි අම්මා කෙනෙක් හිටියා. වියපත් වුණත් ඇය තරුණ කාලයේ ඉතාම සුන්දරව ඉන්න ඇති කියලා මට හිතුණා. මොකද වියපත් වුණත් ඇයගේ ඒ සුන්දරත්වයේ සළකුණු තිබුණු නිසා. අපේ පරිසරයේ සිටින්නේ බොහොම දුක් මහන්සියෙන් ගොවිතැන් කරන අය. ඒ අතරේ සුන්දර රූප සොබාවෙන් යුතු කාන්තාවන් දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒ වුණත් ඇය තුළින් දිස් වුණේ අමුතුම සුන්දරත්වයක්. ඒත් ඒ ලස්සනට නොගැළපෙන තරමට ඇය සැරපරුෂයි. සුහද කතාවක් ඇත්තෙම නැහැ. නමුත් ඒ චරිතය ගැන මගේ හිතේ ලොකු ආකර්ෂණයක් ඇති වුණා. වාලුකා රචනා කරන්න මුල් වුණේ ඇය සහ මා කුඩා වියේදී දුටු කුල පීඩනය යි. කුල වාදය මෙහිදී මූලික වුණේ ඇයි?
වාලුකා කෘතියට ප්‍රධාන වන්නේ රෙදි හෝදන යැයි සම්මත කුලයේ පුද්ගලයන්. ඔවුන්ගේ
වැඩිහිටි කාන්තාවන්ට අපි කිව්වේ රෙදි නැන්දා කියලයි. අපි පුංචි කාලයේ අපේ
නිවෙස්වලටත් මේ රෙදි නැන්දා ආවා. ඇය ඇවිත් රෙදි පොට්ටනිය අරගෙන යනවා. හොඳට හෝදලා
නැවතත් අරගෙන එනවා. කුල ප්‍රශ්නයක් තිබුණත් රෙදි නැන්දා අපට හරිම ලෙංගතු වුණා. අපේ
අම්මා, කිරිඅම්මා සමඟින් ඔවුනොවුන් දුක් කම්කටුළු හුවමාරු කර ගන්නවා මම දැක්කා.
ඇත්තටම බොහෝ වෙලාවට ඇය අඩු කුලයේ කෙනෙකු යැයි නොහිතෙන තරමට ළබැඳියාවක් ඇති වෙලා
තිබුණා.
නමුත් ඔවුන්ට සළකන විදියේ වෙනසක් මම කුඩා කාලයේ පටන් දැක්කා. අසුන් ගැනීමට දෙන ස්ථානයේ සිට කන්න බොන්න දෙන කෝප්පයේ පිඟානේ පවා වෙනස මට හඳුනා ගන්න හැකි වුණා. ඒ වගේම පුංචි මට ඒක උහුල ගන්නත් ටිකක් අමාරු වුණා. ඇත්තටම ඒ කාලයේත් මට හොඳ නිරීක්ෂණ ඇහැක් තිබුණා. මේ තරම් ළෙංගතු වෙලා පැය ගණන් කතාබහ කළත් දුක් කම්කටුළු බෙදා හදා ගත්තත් ගෙදර කෙනෙක් වගේම සිටින ඇයට මේ වෙනස්කම ඇයි කියලා මම නිතර දෙවේලේ හිතුවා. ඒක මගේ හිත ගොඩක් පෑරුවා. අද වෙනකොට ගොඩක් සතුටුයි ඒ තත්ත්වය ගොඩක් අඩුවෙලා ගිහින්. ඒ කාලයේ වගේ නෙවෙයි අක්කේ, අයියේ, නංගී, මල්ලී කියා ආමන්ත්‍රණය කරනවා. හැබැයි මහා ලොකුවට තිබුණු දේ අඩු වෙලා පමණයි. නැත්තටම නැති වෙලා නැහැ. මගේ අත්දැකීම් තියෙන්නේ 70 – 80 දශක වල. දැන් නම් බැලූ බැල්මට අඩුවෙලා වගේ පේනවා. ඉදිරියේදී ඒක නැත්තටම නැතිවෙලා යනවා නම් මම ගොඩක් කැමැතියි. අනෝහාමි, කර්තේලිස්, සෙදෝ නෝනා, කබරා වලුකා තුළින් අප නොදන්න යමක් අපට යමක් කියනවා. ඒ වෙනුවෙන් මේ චරිත වාලුකා අතරට පැමිණෙන්නේ කොහොමද? අපි ජීවත් වෙන්නේ ගොවි ජනපදයක. මේ ගොවි ජනපදය වටේ කුලවත් ගමක්, කුලහීන ගමක් සහ කැළයක් තිබෙනවා. මේ කතාවේත් ගොවි ජනපදය, කුලවත් ගම, කුලහීන ගම සහ කැළය මුලික කරගෙන කතාවක් ගොඩනඟන්න මට අවශ්‍ය වුණා. හැත්තෑව දශකයේ මුල් කාලයේ දී අපේ පැත්තට විදුලිබලය තිබුණේ නැහැ. අම්මා, තාත්තා, කිරිඅම්මා වැනි අපේ පවුලේ වැඩිහිටි උදවිය රාත්‍රියේදී විවිධ මාතෘකා කතාවට ගැනෙනවා. වස විස, යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම් ගැන එහෙම කතා කරනවා. මට මතකයි තාත්තා දවසක් කියනවා අසවල් ගෙදරදී මට බුලත්විටක් දුන්නා. බුලත් කොළේ හොඳට දිළිසෙනවා මම ලාම්පු එළියට දැක්කා. ඒකේ කබර තෙල් ගාලා තියෙන්න ඇති. මං කෑවේ නැති නිසා මං අනූනවයෙන් බේරුනා, වගේ කතා කියනවා. ලාම්පු එළියෙන් ඒවා අහගෙන ඉන්න කොට බයත් හිතෙනවා. අඳුර කැටි ගැහිලා පොඩි ආලෝකයක් එක්ක රැහැයි සද්දෙට මුසු වුණාම හිතට දැනෙන්නේ පුදුමාකාර බයක්. විවෘත ආර්ථිකය එන්න කලින් ලංකාවේ කෘෂි රසායන ද්‍රව්‍ය එහෙම තිබුණේ නැහැ. පොළොං තෙල්, කබර තෙල් වගේ දේවල් තමයි මිනිස්සු වස විසට පාවිච්චි කළේ. ඊට පස්සේ මිනිස්සු කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තේ. කුඩා වියේ පටන් මම අත්විඳි අත්දැකීම් වගේම පරිකල්පනයත් එකට මුසුකර මම කබරා නම් චරිතය ගොඩනැංවූවේ. ඒ කාලයේ වුණත් කැලයක් තුළ මහා පරිමාණයෙන් මේ විදියට විෂ නිෂ්පාදනය කළ කෙනෙක් හිටියේ නැහැ. නමුත් එදා මිනිසුන් සතුරන්ගෙන් පළිගන්න ඒවගේ දේවල් පාවිච්චි කළා. ඒවා අපව වැඩිහිටියන්ගෙන් අසන්න ලැබුණා. ජීවිත කාලයක් මේ මතක රැඳී තිබුණා. අද ඒවා අකුරු බවට පත් වෙලා. ඒ වගේම අනෝහාමි, කර්තේලිස්, සෙදෝ නෝනා, ජයසේන, ඔත්තප්පු, පළිඟු මැණිකා වැනි චරිත මේ සමාජයේදී මට හමුවෙලා තියෙනවා. ඉතාම දරුණු චරිත ගැන පවා පාඨක සිත් තුළ අනුකම්පාවක් ඇති කරන්නේ ඇයි? වස විස නිෂ්පාදනය කළත් කබරා කළු චරිතයක් කරන්න මට ඕනි වුණේ නැහැ. මිනිසුන්ගේ අදහස මිනිසා හරි සංකීර්ණ බවයි. මම හිතනවා මේ ලෝකයේ අධම හෝ උත්තම කියලා වෙන් වුණු චරිත නැහැ කියලා. මිනිසා කියන්නේ හොඳ නරක දෙකේ සංකලනයක්. ඉතාම නරත මිනිසෙක් තුළ හොඳ ගති ගුණ වගේම ඉතාම හොඳ මිනිසෙක් තුළත් නරක ගතිගුණ තියෙන්න පුළුවන්. මම විශාවාස කරන්නේ දෙවියෙක් වගේම යක්ෂයයෙකුත් එකම මිනිසා තුළ සිටින බවයි. මේ කෘතිය තුළ ලිංගිකත්වයත් විශේෂයෙන් මතු කරලා තියෙනවා? වාලුකා කෘතියේදි එය තදින්ම චෝදනා එල්ල වුණා. මගේ වෙනත් නිර්මාණවලටත් ඔය චෝදනාව එල්ල වෙලා තියෙනවා. මං විශ්වාස කරන්නේ අපි මුලින්ම සාහිත්‍ය මොකක්ද කියලා තේරුම් ගත යුතුයි. සාහිත්‍ය නිර්මාණයකදී අපි අතිශයෙන්ම සදාචාර සම්පන්න විය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම නම් අපට බණ කතා, උපදේශාත්මක කතා තියෙනවා. නවකතාවක් කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. මිනිසුන්ගේ හැසිරීම් සහ මනුෂ්‍ය ස්වභාවය තමයි නවකතාවකින් විස්තර කරන්නේ. එතකොට ඇයි ලිංගිකත්වය අත්හැරලා අපි නිර්මාණ කළ යුත්තේ කියන එක ප්‍රශ්නයක්. මම හිතන්නේ ලිංගිකත්වය අපේ ජීවිත සමඟ බැඳුණු දෙයක්. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ ආහාර නින්ද සහ මෛථුන්‍ය ජීවිතයට අවශ්‍ය කියලානේ. ඒකට අඩු හෝ වැඩි වැදගත්කමක් දෙන්න මම සූදානම් නැහැ. ඒක මිනිස් ජීවිතය සමඟ බැඳුණු සාමාන්‍ය දෙයක්. මම අනවශ්‍ය ජුගුප්සාජනක ලෙස ඉස්මතු කරලා නැහැ. ඒ තැන් විතරක් කියවා බලන කෙනෙකුට වඩා සමස්තයක් කියවන කෙනෙකුට ඇයි මේ චරිතය එහෙම හැසිරෙන්නේ කියන එක එයින් තේරුම් ගන්න පුළුවන්. මේ සැබෑ ගැහැනුන් සහ මිනිසුන් නේද කියන එක වටහා ගනිවී. මේ පොත නොයෙක් ඉසව් කරා ගිහින් තිබුණා. ප්‍රවීණ කලාකරුවන් පවා මෙය අගය කළා. විචාරකයන් අතින් බොහෙම නිර්දය විදියට මෙය විචාරයට ලක් වනවිට සාමාන්‍ය පාඨකයා බොහොම සාධනීය විදියට මෙය භාරගත්තා. වයස අවුරුදු හැට හැත්තෑවේ වයස් සීමාවල පාඨකයන් පවා මට කිව්වේ ලිංගිකත්වය විශේෂයෙන් උළුප්පා ඇති බව ඔවුන්ට විශේෂයෙන් දැනුනේ නැති බවයි.
අපි නවකතාවක් ලියනවිටදී භාවිත වන චරිතවල ස්වභාවය අනුව තමයි භාෂාව වෙනස් වන්නේ. අදාළ චරිතය නගරයේ ජීවත් වෙනවා නම් රැකියාවක් කරන උගත් පුද්ගලයෙකුගේ කතා විලාසය වෙනස්. නගරයේම රස්තියාදුකාර ජීවිතයක් ගත කරන අයෙකුගේ නම් කතා විලාසය එයට බොහෝ සෙයින් වෙනස්. ඒ වෙනස පෙන්වන්න මම නිතරම උත්සහ කරනවා. එහෙම නැති වුණොත් එහි ස්වභාවිකත්වය නැති වෙන්න පුළුවන්. අපේ කිරිඅම්මලා කිරිඅත්තලා කතා කරන විදිය අපට වඩා වෙනස්. ඒ වගේ භාෂා ව්‍යවහාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට, පන්තියෙන් පන්තියට සමාජයෙන් සමාජයට වෙනස්. ඒ වෙනස හඳුනා ගෙන නිර්මාණයට චරිත ඇතුළත් කිරීම වැදගත්. ඒ පිළිබඳ මම ගොඩක් සැළකිලිමත් වෙනවා. සත්‍ය පසුබිම මේ වෙනුවෙන් ඉහළ සාර්ථකත්වයක් ගෙන එනවාද? ඒක සාපේක්ෂ කාරණාවක්. සම්පූර්ණයෙන්ම සැබෑ සිදුවීමක් ගත්තොත් ඒක වාර්තාවක් වෙන්න පුළුවන්. සැබෑව, කල්පිතය එක්ක අපේ පරිකල්පනය මුසු කරලා නිර්මාණයක් කළාම එය සාර්ථකත්වයෙන් ඉහළට යන්න විශාල හේතුවක්. වාලුකා කෘතියත් එලෙස සැබෑව, කල්පිතය සමඟින් පරිකල්පනය මුසු කර කළ නිර්මාණයක්. ඔබේ ජීවිතය සමඟ නවකතාව බැඳිලා තිබෙන්නේ කෙසේද? මේ පරිසරයේදී මම ලේඛිකාවක් නොවෙයි. මම අම්මා කෙනෙක් ගෘහණියක් බිරිඳක් විතරයි. මම ලේඛිකාවක් වෙන්නේ කොළඹ පරිසරයට පමණයි. මම ලේඛිකාවක් කියලා මට දැනෙන්නේ පාඨකයෙක් සමඟ කතා කරන විට පමණයි. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී මම සාමාන්‍ය ගැහැණියක්. ආදරණීය බිරිඳක්. සෙනෙහබර මවක්. සමහර වෙලාවට මම ලේඛිකාවක් කියන එක මටම ආගන්තුකයි. මම ජීවත්වන පරිසරය සමඟ ඒ භූමිකාවට හැම වෙලාවටම එන්න මට අමාරුයි. පුද්ගලික ජීවිතයේ ඔබ දරුවන් පස් දෙනෙකුගේ මවක්. නිවසේ කාර්යබහුල ජීවිතය සමඟින් නවකතා රචනය ජය ගන්නේ කෙසේද? ඒක මට හරිම අමාරු දෙයක්. මම හැම තිස්සෙම මුල් තැන දෙන්නේ මගේ දරුවන්ට සැමියාට නිවසේ වැඩ කටයුතුවලට. ඉතින් මට ලියන්න තියෙන කාලය හරිම අඩුයි. ඇත්තටම මට ඒක ලොකු දුකක්. උයන පිහන විට, ගේ දොර අස්පස් කරන විට මගේ හිතේ නිර්මාණ මෝදු වෙනවා. ඒ අවස්ථාවට මට ඒක ලියාගන්න කාලය නැති වෙනවා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි වේදනාවක්. ඒ නිසා මට කාලය සමඟ ලොකු සටනක් කරන්න සිදුවෙලා තියෙනවා. ඒ කොහාම වුණත් ලිවීමට මුල් තැන දෙන්න මම කැමැති නැහැ. මට අවශ්‍ය අම්මා කෙනෙක් විදියට, බිරිඳක් විදියට ගේ දොර වැඩ සමඟින් පවුලට මුල්තැන දෙන්නයි. මගේ නිර්මාණ පාඨකයා අතට යෑම විශාල වැඩ කොටසක ප්‍රතිඵලයක්. ජීවිතයේ ලොකු සටනක් අරගලයක් තුළිනුයි එය සිදු වන්නේ. පවුලේ උදවියගෙන් ලැබෙන්නා වූ සහය? ප්‍රථමයෙන්ම මගේ පොත් නොකිවීම ගැන සැමියට ස්තූතිවන්ත වෙනවා. එයා සාමාන්‍යයෙන් පොත් පත් කියවන්නේ නැති කෙනෙක්. පොත් කියෙව්වා නම් සමහරවිට මට මේ වගේ ලියන්න දෙන්නෙත් නැති වෙයි. මම පුත්තු පස් දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඔවුන් වෙනුවෙන් වගකීම් රැසක් මට පැවරිලා තියෙනවා. ලොකු පුතා ශානක අරවින්ද එයාට දැන් වයස අවුරුදු විසිදෙකක්. දෙවැනියා කසුන් මාධව. එයාට අවුරුදු දහඅටක්. තුන්වැනියාට වයස අවුරුදු පහළොවක්. එයා දසුන් මධුසංඛ. රවිඳු නිර්මාල්, තිලාන් අවිශ්ක නිවුන් සහෝදරයන්. පුතාලා තවම අධ්‍යාපනය ලබනවා. ඇත්තටම ඔවුන් කියවනවා අඩුයි. මගේ පුතාලාට මම පොත් ලියන කෙනෙක් නෙවෙයි. මම ලියනවා ඔවුන් දකින්නෙවත් නැහැ. නිතරම දකින්නෙත් ගෙදර වැඩ වෙනුවෙන් වෙහෙසෙන ඔවුන්ගේ අම්මා විතරයි. ගෙදර වැඩට මුල් තැන දීලා කටයුතු කරන නිසා පවුලේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ගැටුමක් ඇති වෙන සියලු මාර්ග මම අහුරාගෙන තියෙන්නේ. නවකතා කෘතියක කාන්තාවට හිමි විය යුතු තැන ගැන ඔබේ අදහස? මං සාමාන්‍යයෙන් කාන්තාව බොහොම නිර්භීතව එඩිතරව ඕනිම ප්‍රශ්නයක් අභියෝගයක් විදියට සළකලා ආදරය කරුණාව සමඟ සිටින කාන්තාවට කැමැතියි. හැබැයි නිර්මාණයක් කරනවිටදී අපි දකින චරිත එහෙම නෙවෙයි. මට ඒ චරිත ප්‍රතිනිර්මාණය කරන විට ඒ චරිතවල ස්වභාවය පිළිබිඹු කරන්න වෙනවා. පවතින සමාජයේ ඛේදවාචකය නිරූපණය කරනවිට අඬන දොඩන බියගුළු චරිතත් යොදා ගන්න වෙනවා. නමුත් පෞද්ගලිකව ඒ වගේ චරිතවලට මම කැමැති නැහැ. ටෙලි නිර්මාණ වෙනුවෙන් ඔබේ නිර්මාණ තෝරා ගැනීම මාතෘකාවක් බවට පත් වෙලා? ටෙලි නිර්මාණ වෙනුවෙන් කෘති රචනා කරනවා කියන චෝදනාව මට තියෙනවා. ඒක අසාධාරණ චෝදනාවක්. මගේ නවකතා ටෙලි නිර්මාණවලට ගන්නේ ඇයි කියලා ඒ අධ්‍යක්ෂවරුන්ගෙන් තමයි අහන්න ඕනි. මම කවදාවත් මගේ පොතක් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් වේවා කියන අදහසින් ලියන්නේ නැහැ. මම හැම වෙලේම වගබලා ගන්නේ අදාළ නිර්මාණයට, චරිතවලට අවංක වෙලා සාධාරණයක් ඉෂ්ඨ කරන්න. මට එල්ල වන ගැරහුම් චෝදනා කිසිවක් ගැන මම හිතන්නේ නැහැ. මම හිතන්නේ මගේ පොතවල චරිත වැඩි නිසා ටෙලි නිර්මාණවලට ගන්න අමාරු බවයි. ඒ වගේම ඒ නිර්මාණවල අතීතාවර්ජන බහුලයි. ඇත්තටම මගේ කෘති ටෙලි නාට්‍යවලට ගන්නේ ඇයි කියලා මම පුදුම වෙනවා. මම බොහෝ නිර්මාණ කරන්නේ ගොවි ජනපදය පසුබිම් කරගෙන. අනිත් කාරණාව මම මුල්තැන දෙන්නේ සිදුවීම්වලට. මගේ කතාව ඉදිරියට යන්නේ සිදුවීමෙන් සිදුවීමට. මම සාම්ප්‍රදායිකව අනුපිළිවෙලට යන කෙනෙක් නෙවෙයි. එය නාට්‍යමය අවස්ථා බහුල වෙන්න හේතුවක්. අනිත් කාරණාව නම් මම යොදා ගන්නා චරිත තුළ රඟපෑමට ඇති හැකියාවයි. එය ඉතා ඉහළ බව ඇතැම් අධ්‍යක්ෂවරු මා සමඟ පවසා තිබෙනවා. ඔබේ කෘති රූප මාධ්‍යයෙන් දකිනවිටදී සැහීමකට පත් වෙන්න පුළුවන්ද? මම මගේ පොතක් ටෙලි නාට්‍යක් හෝ චිත්‍රපටයක් කරන්න දෙන්න කැමැති නැහැ. ඒවා මම හුඟක් මහන්සි වෙලා කරන නිර්මාණ. මම ළමයි පස් දෙනෙක් එක්ක වැඩකටයුතු වගකීම් රැසක් සමඟින් බොහොම අමරුවෙන් කාලය හොයා ගෙනයි ඒ නිර්මාණ බිහි කරන්නේ. ඉතින් මගේ නිර්මාණ, පොත්, පොත් විදියටම තියෙනවා දකින්න මම කැමැතියි. ඒ වුණත් නිර්මාණයකින් තවත් නිර්මාණයක් කරන්න නිර්මාණකරුවෙකුට තියෙන අයිතියට මම ගරු කරනවා. අනිත් කාරණය මුදල්. මේ නිසා මට මුදලක් ලැබෙනවා. මගේ නිර්මාණය එලෙසින්ම ටෙලි නාට්‍යකට හෝ චිත්‍රපටයකට ගන්න බැහැ. මොකද මේ නිර්මාණ දෙක මාධ්‍යයන් දෙකක්. මට ලිවීමේදී පෑනෙන් ඕනිම දෙයක් ලියන්න පුළුවන්. හැබැයි කැමරාවකින් ඒක කරන්න හරිම අමාරුයි. ඒ නිසා මගේ නිර්මාණය එහෙම පිටින්ම ටෙලි නාට්‍යයේ තියේවි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් කාරණය මම බොහෝවිට අත්හරින්න ගොඩක් කැමැතියි. මගේ නිර්මාණත් මට දරුවෝ වගෙයි. ඒ වුණත් මගේම පොත කියලා අල්ලාගෙන ඉන්න මට වුවමනා නැහැ. මම නිර්මාණයක් කරලා සමාජ ගත කළාම ඒක සමාජය සතු නිර්මාණයක්. එවිට ඒක තවදුරටත් මගේ නෙවෙයි.
|